දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Thursday, August 7, 2014

කොහිල (Lasia spinosa)

ඌෂ්ණ වියැළි, උෂ්ණ තෙත් දේශගුණයෙහි වැවෙන ශාකයකි. කොහිල ඖෂධයකට වඩා ආහාරයක් ලෙස මෙරට ජනයා අතර භාවිතා වූ අතර බොහෝ නිවෙස්වල වතුර බැස යන ස්ථානය “කොහිල වල“ සැකසීමට යොදා ගත් බව පෙනේ. මෙහි අල මෙන්ම කොළ පෝෂණ ගුණයෙන් අනූන වන අතර කොහිල කැඳ ලෙස ආහාරයට ගැනීම වඩාත් පෝෂ්‍යදායී බව විද්වත් මතයයි. මෙම ශාකය සෙ.මි. 4 ක් පමණ ඝනකම් කටු සහිත කඳකින් යුක්තය. පත්‍ර වෘන්තය මීටර් එකක් පමණ දිගය. පුෂ්ප බොහෝ විට ද්වීකලාපිකය. ඵලයේ අග්‍රයේ ඉන්නන් වැනි ව්‍යුහ දැකිය හැකිය. කොහිල ශාකය ජලජ වගුරුබිම්වල හොදින් වැඩේ. ඉන්දියාව හරහා නිව්ගිනියාව දක්වා ව්‍යාප්ත ව ඇත. 

කොහිල ප්‍රභේද කීපයක්ක දැකිය හැකිය.
කිරි කොහිල - පිටි සහිත අලවලින් යුක්තය. හොදින් තැම්බේ. බහුලව ඇත්තේ මෙම වර්ගයයි.

ගුරු කොහිල - අල විශාලය. පිටි ගතියෙන් අඩුය.

වැල් කොහිල - ගස් ගල් ආදියෙහි බැදී වැඩෙන වැල් වර්ගයකි. ආහාර ලෙස ගනුයේ මෙහි පත්‍රයි.

කළු කොහිල - මෙහි අල අනෙක් වර්ග වලට වඩා විශාලය. ඉතා  දුර්ලභ ඖෂධ පැලෑටියකි. කොළ මතුපිට, දලු හා අලවල තද කළු කොළ පැහැයක් ඇත. මෙය තෙල් බෙහෙත් සඳහා ඖෂධයක් ලෙස භාවිතා වන අතර නින්ද අඩු අවස්ථාවලදී නිද්‍රාජනක ඖෂධයක් ලෙස භාවිතා කල හැකිය.

රට කොහිල - කොළ හා අල ලොකු වර්ගයකි.

සිංහල කොහිල - අල සිහින්, දිගටි, කොළ වඩා උස නොයන වර්ගයකි.

ගොඩ කොහිල - මෙම ප්‍රභේදය පණු අල නමින්ද හැඳින්වේ. ගොඩ කොහිල ක්‍රිමිඝ්නයි. මේ නිසා කුෂ්ට ආදියට හිතයි. සෙම නසයි. අග්නිය වඩයි.

ඖෂධීය වටිනාකම

අර්ශස් රෝගයට විශේෂයෙන්ම ගුණදායකය. අක්මාවට හිතකරයි. ග්‍රහණි රෝග, මූල ව්‍යාාධි, රක්තාර්ශස්, රත් පිත් ආදී රෝගවලට ප්‍රත්‍යක්ෂය. කොහිල පත්‍ර උදර ශූල ප්‍රතිකාරය සඳහා භාවිත වේ. කොහිල අල හා දලුවල ඇති අධික කෙඳි ප්‍රමාණය නිසා මල පිටවීම ඉතා පහසු කරයි. එසෙම අන්ත්‍රවල රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මේ නිසා අජීර්ණ අතීසාර ප්‍රතිකාරයේදී යොදා ගැනෙන අංගයකි. ආහාර රුචිය ඇති කරයි. ශුක්‍ර දාහය සමනය කරයි. 

කොහිල කරටි සමග හීනටි හාල් දමා කැඳ සාදා බීමෙන් දියවැඩියාව සමනය වේ. කොහිල අල හෝ කරටි, ගොටු දඬු. අතුළුෑනු, බිංකරල්හැබ සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට දෙහි බිංදු කීපයක් දමා බීම රක්තාර්ශස් සඳහා ගුණදායකය. 

මූලාශ්‍ර_  ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 

(සරත් රණවීර සහ රේඛා රණවීර)
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:

Tuesday, August 5, 2014

කැප්පෙටියා (Croton sp.)

මෙය අඩි 4-5 අතර උසැති බහුවාර්ෂික පඳුරකි. එහි ළපටි කොටස් කහ පාට බූවකින් යුක්තය. පත්‍ර තරමක් ලොකුය. එහි දෙපැත්තේම බූව ඇත. කුඩා උප පත්‍ර සහිතය. කොළ පාටට හුරු සුදු පාට පුෂ්ප බොහෝ ඇත. පුෂ්ප එකලිංගිකය. ඵලය බූව සහිත වන අතර එහි ඇති දුඹුරු පැහැති  බීජ ගෝලාකාරය. ලංකාවේ පහතරට ප්‍රදේශවල හා තරමක් උස් ප්‍රදේශවල කැප්පෙටියා වැවේ. කැප්පෙටියා කොළ හැලීමට ආසන්න වන විට රතු පැහැයට හැරේ. පත්‍රවලින් සැර සුවඳක් නික්මේ. කැප්පෙටියා කොළ හොඳ කාබනික පොහොරකි. විශේෂයෙන් මිරිස් සහ බුලත් වගාවන් සඳහා අගනේය. කැප්පෙටියා Euphorbiaceae කුලයට අයත් ශාකයකි.

වැල් කැප්පෙටියා (Croton aromaticus) සහ ගස් කැප්පෙටියා (Croton laccifer) යයි ප්‍රභේද දෙකකි. දෙවර්ගයේම එක සමාන ගුණ ඇති බව සඳහන්. කැප්පෙටියා විෂ නාශකයි. වණ පිරිසිදු කරයි. වණවල මස ලියලවයි. නා, පොළොං, කුණකටු, පිස්සු බලු ආදී විෂට ප්‍රතිකර සදහා යොදා ගැනේ. අලුත් තුවාල, වණ, තැළුම්, ඉදිමුම්, ලාදුරු තුවාල හා දද ආදියට ප්‍රතිකාර සදහාද ගැනේ. ලේ නැවැත්වීමට හා සන්ධි ගැන්වීමට ප්‍රශස්ථ ඔසුවකි. කැප්පෙටියා හන්ධි වෙදමට අවශ්‍යම වන ඖෂධීය ශාකයකි. හදිසි සීරීම් ආදියේදී කැප්පෙටියා කිරි ආලේප කිරීමෙන් ඒවා වහා සුව වේ. පැරැන්නන් කුඹුරේ, කමතේ, හේනේ හෝ ගෙවත්තේ වැඩ කරන විට කැති උදලු ආදියෙන් සුලු තුවාල සිදුවූ විගස බොහෝ විට කලේ කැප්පෙටියා කොළ ටිකක් තලා ලේ පිටින්ම තුවාලයට තබා බැඳීමයි.

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 
සරත් රණවීර සහ රේඛා රණවීර 

Share:

Sunday, August 3, 2014

කරල්හැබ (Achiranthus aspera)

ඉතා වැදගත් ඖෂධීය ශාකයක් වූ මෙය අඩි 1-2 අතර උසට වැඩේ. එහි කඳ සෘජුය. විහිදී යන අතු කිහිපයක් මේ ශාකයට ඇත. අතුවල බූව ඇත. පත්‍ර ඇත්තේ ස්වල්පයකි. පත්‍රවල නටු කෙටිය. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාරය. ඒවා පාදයෙහිදී ක්‍රමයෙන් හීන් වේ. සාමාන්‍යයෙන් පත්‍රයක දෙපැත්තේම සිහින් බූවක් ඇත. තදබදව එක්රැස්වූ පුෂ්ප බොහෝමයක් පුෂ්ප මංජරිවල දක්නට ලැබේ. සිහින් ශුකි අඟල් 1/2 පමණ දිගය. පටලමය නිපත්‍ර කෙටිය. නිපත්‍රිකා කණටකාශ්‍රයය. එක් එක් නිපත්‍රිකාවේ පාදයෙහි පටලමය පියාපතක් ඇත. රේණු සංඛාව පහකි. වඳ රේණු ලොකුය. ඵලය ඉතා කුඩාය. එය ව්‍යාප්ත වන්නේ යම් කිසි දෙයකට ඇලීමෙනි. නිවර්තන ප්‍රදේශවල බෙහෙවින් දක්නට ලැබෙන මෙම ශාකය බොහෝ විට මෙරට මඟ දෙපස, ඇළ ඉවුරුවල හා පිට්ටනිවල වැවේ. 

බිං කරල්හැබ නම් තවත් ප්‍රභේදයක් ඇත. එය Cyathula prostrata නම් වේ. එය අඩි තුනක් පමණ දිගට වැඩේ. එහි කඳ ඉහල නොනැග බිම දිගේ දුවයි. ශාකයේ මුල ප්‍රදේශයේ ඇති වන ගැටවලින් මුල් ඇදේ. කඳේ පාදයෙන් අතු විහිදේ. පත්‍රය අඟල් දෙක් පමණ දිගය. එහි දෙපැත්ත තරමක් බූව සහිතය. කොළ පැහැති පුෂ්ප ද්වීලිංගික හෝ ඒකලිංගික විය හැකිය. මනා ඔපයකින් යුක්ත ඇට ළා දුඹුරුවන්ය. බිං කරල්හැබ ලංකාවේ පහතර ප්‍රදේශවලද වැවේ.

Pupalia lappacea යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන වෙල් කරල්හැබ නම් තවත් විශේෂයක් ඇත. එහි කඳ අඩි පහක් දක්වා දික්විය හැකිය. අණ්ඩාකාර පත්‍රක් අඟල් තුනක් පමණ දිගැතිය. ශාකයේ අග්‍රස්ථ ශුකිරූපීය. පුෂ්ප මංජරිවල පොකුරු වශයෙන් නිර්වෘන්ත පුෂ්ප දක්නට ලැබේ. පුෂ්ප කොළ පාටය. නණ්ඩු වශයෙන් පුෂ්ප හීන වී ඇත. ලංකාවේ වියළි ප්‍රදේශවල කරල්හැබ ශාකය බහුලය. ඉන්දියාව, මලයාව පිලිපීනය හා දකුණු අප්‍රිකාව යන රටවල මෙම ශාකය දක්නට ලැබේ. යටකී කරල්හැබ විශේෂ තුනම ඇමරැන්තස් (Amaranthaceae) කුලයට අයත්ය.

සංස්කෘත ග්‍රන්ථවල කරල්හැබ “අපාමාර්ග“, “ශිඛරී“ හා “ශෛඛරික“ යන නම්වලින් හැඳින්වේ. මෙම ඖෂධීය ශාකය මෙරට ජනයා සැබෝ, සෑබෝ, කරල් සැබෝ, කරල් හැබ්බ හා කරල් සැබ යන නම්වලින් හඳුන්වති. මහ කරල්හැබ හා හීං කරල්හැබ යනුවෙන් මෙහි ප්‍රභේද දෙකක ඇත. මහ කරල්හැබ ප්‍රභේදයේ මල් ළා කහ පැහැ වන අතර හීං කරල්හැබ ප්‍රභේදයේ මල රතු පාටය. මුලින් කී ප්‍රභේදය හෙළ සැබෝ යනුවෙන්ද දෙවනුව කී ප්‍රභේදය රත් සැබෝ යනුවෙන්ද හැදින්වේ. 

මහ කරල්හැබ තිත්තය, ඌෂ්ණය, මල බඳී, දිරවීම අපහසුය, වමනය ඇති කරයි. අර්ශස්, උදර රෝග, වාත හා සෙම් රෝග නසයි. 

හීං කරල්හැබ ශීතලයි, වමනය ඇති කරයි, වා සෙම් නසයි, වණ හා විෂ නසයි. මල බඳියි, පණුවන් නසයි, හිස සිසිල් කර එහි රෝග නසයි.

යටකී කරල්හැබ දෙවර්ගයම පොදුවේ වමනය ගන්වයි. ලේ බැඳීම කරයි. රක්තාතීසාරය සුව කරයි. කුසගිනි වඩවයි. හෘදරෝග, අර්ශස් හා උදරාබාධ සුව කරයි. කරල්හැබ ඇට මධුරය. දිරවීම අපහසුය. බඩ පිපුම ඇති කරයි. වාතය වඩයි. රත්පිත් සමනය කරයි.

මූලාශ්‍ර_  ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 
(සරත් රණවීර සහ රේඛා රණවීර)
සේයාරූ_ අන්තර්ජාලයෙන්  

    
Share:

Friday, August 1, 2014

රසකිඳ [Rasakida] (Tinospora cordifolia)


රසකිඳ විශාල වෘක්ෂ මත පැතිරී වැඩෙන දේශීය වැල් ශාකයකි. අළු පැහැති තුනී පිට පොත්ත වහා ගැලවී ඉවත් වන ස්වභාවයකි. ඇතුලත පොත්ත කොළ පැහැතිය. කඳෙන් පොළවට මුල් ඇදේ. හෘදයාකාරය පත්‍රයක් දිග සෙ.මි 15 දක්වා ද පළල සෙ.මි. 12 පමණ ද විය හැකිය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගැහැණු සහ පිරිමි මල් වෙන වෙනම පිහිටයි. ඵලය අෂ්ටිලයකි. එය ඉදුණු පසු දීප්තිමත් රතු පැහැයක් ගනී. රසකිඳ සඳහා යෙදෙන පර්යාය නාම රැසක් අතරින් ආමෘතා නාමය ප්‍රකට ය. ආයුර්වේදයේ සඳහන් පස්මුල් අතරින් එකක් සඳහා ද ගැනෙන රසකිඳ Menispermaceae උද්භිද කුලයට අයත්ය. 

මෙම Tinospora උද්භිද ගණයට අයත් රසකිඳ වැලට තරමක් සමාන ලක්ෂණ සහිත තවත් වැල් වර්ග තුනක් හමුවන අතර එයින් Tinospora sinensis ශාකය බූකිඳ / වල්කිඳ ලෙසත්, Tinospora crispa ශාකය තිත්ත කිඳ ලෙසත් හඳුන්වා ඇත. එමෙන්ම Tiliacora acuminata නම් සිංහල නමක් සඳහන් නොවන තවත් විශේෂයක්ද වෙයි. මීට අමතරව දික්කිඳ / වල් රසකිඳ නමින් හඳුන්වන Zanonia indica නම් වැල් වර්ගයක්ද ඇතැම් ප්‍රදේශවල රසකිඳ ලෙස භාවිතා කරයි. රසකිඳ වෙනුවට ඉහත සඳහන් කවර හෝ වැල් වර්ගයක කොටස් භාවිතා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වනු ඇති බව කිව යුතුය. 

උණ, ආහාර අරුචිය, අතීසාරය, ග්‍රහණි. පාණ්ඩු, සෙංගමාලය, ප්‍රමේහ, රක්තවාතය, වාතරක්තය, කුෂ්ඨ, රකත් පිත්ත, පාද දාහය, වාත රෝග, වමනය, අර්ශස්, හෘද රෝග, පිපාස, ස්වසන අවහිරතා, ආමවාතය, අම්ලපිත්ත ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී පිට පොත්ත ඉවත්කරගත් අමු රසකිඳ වැල, මුල්, කොළ සහ වැලෙන් ලබා ගන්නා පිටි භාවිතා කරයි. රසකිඳ ශාක කොටස් අමුවෙන් භාවිතා කිරීම වෛද්‍ය නියමය යි. රසකිඳ කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, රසායන ආදී ගුණ රැසක් සහිතයි. මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ගුණයක් රසකිඳවල පවතින බව නුතන පර්යේෂණවලින් තහවුරු වන බව සඳහන්. 

සෙංගමාලයට රසකිඳ කොළවලින් කැඳ සාදා බොන්නට දෙයි. එයටම රසකිඳ කොළ කල්කය මොරු සමඟ බීම හෝ මී පැණියෙන් යොදයි. අර්ශස් රෝගයට රසකිඳ යුෂ හෝ චූර්ණය මොරු සමඟ බීමට නියම කර ඇත. වාතරක්තයට රසකිඳ ස්වරස හෝ කෂාය දෙයි. සෙංගමාලය, අම්ලපිත්ත, බරවා, ප්‍රමේහ ආදී රෝගවලට සහ රසායනයට රසකිඳ ස්වරසය යොදා ප්‍රතිකාර කරයි. නෙල්ලි, රසකිඳ තම්බා බීමෙන් ශරීර දාහය සංසිඳී ඇඟ සිසිල් වේ. ළපටි රසකිඳ කොළ මැල්ලුමක් හෝ සලාදයක් ලෙස සකසා අහාරයට එක් කර ගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Wednesday, July 30, 2014

නෙල්ලි [Nelli] (Phyllanthus emblica)

බෙහෙත් නෙල්ලි යනුවෙන්ද ජන ව්‍යයවහාරයයේ හඳුන්වන නෙල්ලි මීටර් 15 පමණ උසට වැඩෙන දේශීය ශාකයකි. පතනශීලි හෙවත් කලකදී කොළ හැලී යන ශාකයක් වන මෙහි පිට මෙහි පොත්ත ගැලවී ඉවත් වන ස්වභාවයක් ගනී. එ්කාන්තරව පිහිටන සංයුත්ත පත්‍රයක් සෙ.මි. 20 දක්වා දිගගට වර්ධනය වේ. එක ගෘහි හෙවත් ස්ත්‍රි සහ පුරුෂ මල් එකම ශාකයේ පිහිටයි. පුෂ්ම මංජරියක පුරුෂ මල් රාශියක් සහ ස්ත්‍රි මල් 1-2 ක් වන සේ මල් හටගනී. පිරිමි මල් සුදු පැහැති වන අතර ගැහුණු මල් දුඹුරු පාටට හුරු අඳුරු පැහැයක් ගනී. ඵලය බදරියක් හෝ වියළෙන විට පැලී යන ස්ඵෝටිකාවකි.  පංච රසයෙන් යුත් වටිනා පළතුරක්ද වන නෙල්ලි Euphorbiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

ප්‍රමේහ, කැරකිල්ල, හිසරුදා, මද සරු භාවය, මුඛ රෝග, රත්පිත, අක්ෂි රෝග, පිත් වමන, පීනස, මලබද්ධය, බඩ පිපුම, කේෂ රෝග, මුත්‍ර රෝග, ස්වනස අපහසුතා, පාණ්ඩු. ගුල්ම අරුචි ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට නෙල්ලි ශාකයේ කොළ, පොතු. මුල්, මල්, ගෙඩි, ඇට මද ආදිය භාවිතා කරයි. නෙල්ලි ශාකයේ එක් එක් කොටස් විවිධ ගුණයන්ගෙන් යුක්ත බව සඳහන්. ඒ අනුව වියළි නෙල්ලි භග්න සන්ධානය කරන, ඇසට හිතකර, පිත, සෙම, පිපාසය, විෂ නසන ගුණ සහිතයි. අමු නෙල්ලි හිසකෙස් වැඩීමට, විරේචනයට හිතකර සහ අරුචිය, රත්පිත, ප්‍රමේහ, විෂ, උණ, වමනය, මලබද්දය, ඉදිමුම්, රක්ත දෝෂ ආදිය නසන ගුණ සහිත බව සඳහන්. නෙල්ලි ඇටමද ප්‍රදර රෝග, වමනය, වාතය, පිත, උණ, ඇදුම, කැස්ස නසන ගුණයන්ගෙන් යුක්ත ය. නෙල්ලි මුල වමන, අරුවි, තුන්දොස් කෝප, මලබද්ධය නසන ගුණ සහිත බව දක්වා ඇත. ත්‍රිඵලා චූර්ණය, ච්‍යවනප්‍රාශාවලේහය, ධාත්‍රි රසායනව වැනි නෙල්ලි යොදා නිපදවන ඖෂධ රැසකි. අරළු, බුළු සහ නෙල්ලි යොදා නිපදවන ත්‍රිඵලා චූර්ණය ජීර්ණ පද්ධතිය මනා සෞක්‍යයකින් පවත්වාගෙන යෑමට බෙහෙවින් උපකාර වන ඖෂධයකි. 

මලබද්ධයට  නෙල්ලි මුල් හා ගෙඩි මඳ කෂාය කර බීමට දෙයි. වමන, කුෂ්ඨ ආදී චර්ම රෝගයන්ට නෙල්ලි කෂායට සීනි හා කිර දමා පානය කළ යුතුය. විසූචිකා නම් ජීර්ණ පද්ධතියට සම්බන්ධ රෝගයේදී නෙල්ලි දලු අඹරා මෝරුවෙන් අනා කෑමට ගත යුතුය. මුඛයේ ඇති වන තුවාල සඳහා නෙල්ලි කොළ කෂායෙන් කට සේදීම හෝ එම කෂාය මුඛයේ ටික වේලාවක් රදවාගෙන සිටිම කළ යුතුය. නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරු සුවයක් ලැබේ. ප්‍රමේහයට නෙල්ලි මුලේ අමු සුඹුලක් ගෙන කස පැණියෙන් සෝදා කොටා යුෂ ගෙන ඊට කහකුඩු මී පැණි මිශ්‍ර කර දවසට දෙවරක් පානය කිරීමට නියම කර ඇත. කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගයට නෙල්ලි යුෂ පානයක් ලෙස හෝ නෙල්ලි ගෙඩි පළතුරක් ලෙස කෑමට ගැනීම ගුණදාකය. මුත්‍ර අඩස්සියට සහ පිත්තජ ප්‍රමේහයට මෙන්ම මුත්‍ර දෝෂවලටද නෙල්ලි යුෂ පානය කිරීම ගුණය. මුත්‍ර අඩස්සිය ඇති විට නෙල්ලි උණු වතුරෙන් අඹරා යටිබඩේ ගෑ විට පහසුවෙන් මුත්‍ර පිට වෙයි. ශ්වේත ප්‍රදරයට ප්‍රතිකාර ලෙස නෙල්ලි පිටි, නෙල්ලි යුෂ යන දෙකෙන් එකක් මී පැණි සමඟ දීම හෝ නෙල්ලි ඇට ඇල් වතුරින් අඹරා සීනි මිපැණි සමඟ දීම සිදු කරයි. නෙල්ලි, රසකිඳ කල්කය මොරුවෙන් දීම අර්ශස් රෝගයට ප්‍රතිකාරයකි. අක්මාවේ මේදය තැන්පත් වීමෙන් පීඩා විඳින අයට  නෙල්ලි යුෂ තේ හැන්දක් දින 25ක් පමණ සෑම උදෑසනකම පානය කිරීම බෙහෙවින් ප්‍රතිඵලදායක බව සඳහන්. 

නෙල්ලි රසායන ගුණයෙන් යුක්ත හෙයින් තරුණ බව සහ කාය ශක්තිය පවත්වාගෙන යෑමට උපකාරී වෙයි. නෙල්ලි ආහාරයට ගැනීමෙන් සම පැහැපත්වීම, හිසකෙස් ගැලවීම සහ පැසීම වැළැක්වීම, අහාර ජීර්ණය ක්‍රමවත් වීම, මලබද්ධය ඇති නොවීම ආදී ප්‍රතිලාභ රැසක් අත් විඳිය හැකිය. එමෙන්ම නිරක්තිය හෙවත් ලේ හිගකම මගහරවා ධාතු ශක්තිය වැඩි කරයි. නෙල්ලි, බඩගින්න වඩවන, මල ඇති කරන ආහාරයක් ලෙස සැලකෙන අතර අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන, හදවතට හිතකර ,රක්තපාතය වලක්වන ඔසුවක් ලෙස සැලකේ. විකිරණවලින් වන හානි වලක්වාගැනීමේ ගුණයක් නෙල්ලිවල ඇති බව පර්යේෂ මඟින් සනාථ කර ඇත. අක්මාවට, වකුගඩුවලට වන හානි නෙල්ලි ස්‍රාවයෙන් වලක්වා ගත හැකි බවත්, සිරුරට එක්වන විෂ සහිත ලවණවලට විරුද්ධව ක්‍රියා කිරීමට හැකියාවක් ඇති බවත් සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Monday, July 28, 2014

ගොටුකොළ (Centella asiatica)

අඩි 2-3 පමණ දිගට බිම දිගේ ඇදී යන ශාකයකි. එහි ඇති ගැටවලින් මුල් හටගනී. රවුම් හැඩයෙන් යුක්ත පත්‍ර කුඩාය. සෙන්ටි මීටර් 2-4 දක්වා දිගයි. පත්‍රයේ අග කොටස දන්තූරය. මල් ඉතා කුඩාය. රෝස පැහැයට හුරු රතු පාටය. ඵලය කුඩාය. ගොටුකොළ ඉන්දියාවේ සහ ලංකාවේ අඩි 7000 දක්වා උස් ප්‍රදේශයන්හි තෙතමනය සහිත බිම්වල සරුවට වැවේ. ගොටුකොළ  Apiaceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

ගොටුකොළ නැණ නුවණ වඩන, ධාරණ ශක්තිය සරු කරන, කුසගිනි වඩවන ඖෂධයක් ලෙස ආදියේ සිටම ප්‍රසිද්ධය. උගුරේ සෙම පහ කොට කටහඬ මිහිරි කරයි. හදවතට හිතකරය. රුධිරය පිරිසිදු කරයි. පීනස සුව කරයි. ඉදිමුම් හා මලබද්ධය පහ කරයි. ගොටුකොළ සංස්කෘත ග්‍රන්ථවල හැඳින්වෙන්නේ මණ්ඩුකපර්ණී යන නමිනි. මෙරට හීන් ගොටුකොළ සහ මහ ගොටුකොළ යයි දෙවර්ගයකි. මින් හීන් ගොටුකොළ වඩා ගුණදායකය. කුඩා දරුවන්ගේ පණු අමාරුවලට ගොටු දඬු හා වළඟසාල් තම්බා බොන්නට දීම මෙරට අනාදිමත් කාලයක සිට පැවති ගෘහස්ත ප්‍රතිකාරයකි. ගොටුකොළ තන කිරි වඩවයි. හොරි, වණ ආදියේ කුණ කපා මස ලියලවයි. පාණ්ඩුව හා කැස්ස සුවකරයි. ගොටුකොළ කාම ශක්තිය වඩවන ඔසුවකැයි පැවසේ. ගොටුකොළ යුෂ රතුළුෑණු හා වෙනත් ඖෂධ වර්ග සමග එකට යොදා බීමෙන් පීනස, අර්ශස් හා බාලක අතීසාරය හා තොල කට වණ වීම සුව වේ. ධාරණ ශක්තිය ලැබීමට ගොටුකොළ චූර්ණයත්, උළුක්කුවට ගොටුකොළ අමු කහ සහ මැල්ල පොතු යොදා තැනූ මැල්ලුමත්, දිවි මකුළු විෂට ගොටුකොළ යුෂයත් ප්‍රත්‍යක්ෂ ඔසු වේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන් 





Share:

Saturday, July 26, 2014

කැටකෑල [Ketakela] (Bridelia retusa)

මෙය කැටකාල, කැටැකෑල යනුවෙන්ද හඳුන්වන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. ඇතැම් ශාකවල කඳෙහි පොළවට ආසන්නව තියුණු නොවන කටු දැකගත හැකිය. ඇතැම් විට ගස කුඩා කාලයේදී පැවති කටු පරිනතියත් සමඟ අභාවයට යයි. වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාට අනුව කටු සහිත වර්ගය කටු කෑල ලෙසත් කටු රහිත වර්ගය කැටකෑල ලෙසත් ප්‍රභේද හෝ විශේෂ දෙකක් හඳුනාගත හැකිය. පොත්ත ළා කහ-අළු පැහැතිය. මලකඩ වැනි බූවක් ළපටි ශාඛා මතුපිට දැකගත හැකිය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර මතුපිට දීප්තිමත් කොළ පැහැති වන අතර යටි පැත්තෙහි සුදු පැහැති සියුම් බූවක් ඇත පතනශීලී පුෂ්ප ක්‍රමවත්, ඒකලිංගික කොළ පැහැ මිශ්‍ර රතු හා දම් මඬලකි. මල් පිපීම ජූනි, ජූලි මාස වලදී සිදුවේ. ඵලය අෂ්ටිලයකි. පොකුරු වශයෙන් දක්නට ලැබෙන කහ පැහැති ගෙඩි ඉදුනු පසු රෝස පැහැයක් ගනී. පැණිරස මුසු කසට රසයෙන් යුත් ඉදුණු ගෙඩි කෑමට ගත හැකිය. දැවමය වටිනාකමක්ද සහිත කැටකෑල ශාකය Phyllanthaceae කුලයට අයත් ය.

කැටකෑල පොතු සහ කොළ දේශීය වෙදකමෙහි, විශේෂයෙන් කැඩුම් බිඳුම් හා ගෙඩි වණ වෙදකමේ බහුලව භාවිතා කරනු ලැබේ. භග්න චිකිත්සාවෙහි අස්ථි සංධානය සඳහා බෙහෙවින් උපයෝගී කරගන්නේ කැටකෑල පොතුය. ඒ කසට හා ස්ථම්භන ගුණයෙන් යුක්ත බැවිනි. කැඩුණු ඇට සන්ධි ගන්වා කැටකෑල පොතු තබා බැඳීමෙන් ඇට පෑහිම හෙවත් අස්ථි සන්ධානය වහා සිදුවේ.කැටකෑල පොතු, මුල්, කොළ සමඟ අමුකහ සහ ලුණු දමා කොටා තලතෙලින් මළවා බැඳීමෙන් බිඳී ගිය අස්ථි ඉක්මනින් පෑහීම සිදුවේ. සන්ධි වූ තැන කටු සවිවීමට කැටකෑල පොතු, කහට පොතු, හික් පොතු, මාදං පොතු සහ කඩොල් පොතු යුෂට පොල් පැණි දමා පත්තු සිඳ ආලේප කරයි. කැටකෑල පොතු, කෑලිය පොතු, කඩොල් පොතු, දෙමට පොතු, පලු පොතු, තරණ දලු කොටා මිරිකා යුෂ ගෙන පැණි සිඳ ආලේප කිරීම සන්ධි පැනීමෙදී සිදුකරන ප්‍රතිකාරයකි. 

එමෙන්ම කුෂ්ඨ රෝග, රතගාය, ගඩු, අභිඝාත,  ආදියට ප්‍රතිකාර කිරීමේදීද කැටකෑල පොතු භාවිතා කරයි. කුෂ්ඨ රෝගවලදීකැටකෑල දලු අඹරා ආලේප කිරීම සිදු කරයි. වැටීම් තැලීම් ආදියේදී ඉලයේ ඇතිවන වේදනා වලදී බටහිර පැත්තේ පොත්තක් පහලට ගලවා යුෂ ගෙන කකරා පැණි පදමට ගෙන ශරීර ඌෂ්ණත්වයට පමණ ගෙන ආලේප කිරීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් බව සඳහන් වේ. රතගායට කැටකෑල පොතු, කැකුණ පොතු, මදටිය පොතු, රම්මානිස්ස කොළ පැන් සිඳ හීනටි බත් අඹරා ආලේප කිරීම, ගඩුවලට කැටකෑල පොතු, කැබැල්ල පොතු කොටා යුෂ ගෙන පැණි සිඳ ගඩුවල ආලේප කිරීම ආදී ප්‍රතිකාර රාශියක් සඳහා කැටකෑල දේශීය වෙදකමේදී භාවිතයට ගැනේ. 

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 
Share:

Thursday, July 24, 2014

කරඳ / මඟුල්කරඳ [Karada / Magulkrada] (Pongamia pinnata)

කරඤ්ජ නම් ප්‍රකට පර්යාය නාමයක්ද සහිත කරඳ ජලාශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව සුලභව හමුවන තරමක් විශාල දේශීය ශාකයකි. අළු පැහැති පොත්ත සිනිඳු ය. පැසුණු ලීය කහ පැහැයට හුරු සුදු පැහැති ය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර එ්කාන්තරව පිහිටයි. පත්‍රිකා යුගල වශයෙන් පිහිටා තනි පත්‍රිකාවකින් කෙලවර වේ. පත්‍ර නටුව සෙ.මි. 12.5 පමණ දිගු විය හැකි අතර පත්‍රිකා 5-9 අතර සංඛාවක් පිහිටයි. දෙපැත්තම දිළිලෙස සුලු පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර හෝ ලංසාකාර ය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල් අලංකාරවත් ය. අප්‍රේල් මාසයේදී මල් හට ගනී. ඵලය ඕවලාකාර-ආයත හැඩයෙන් යුත් නොපැලෙන කරලකි. සෙවන සඳහා ද වැවිය හැකි කරඳ ශාකය Fabaceae කුලයට අයත් ය. 

දන්ත රෝග, ග්‍රහණි රෝග, ප්‍රමේහ, ගුල්ම, ඉරුවාරදය, ආමවාතය, පණු රෝග, රුධිර දෝෂ, වණ, වාතරක්ත, කුෂ්ඨ ආදී රෝගයන්ට ප්‍රතිකාර කිරීමට මඟුල්කරඳ ශාකයේ මුල්, මුලේ පොතු, කඳේ පොතු, කොළ, දලු, ඇට ආදිය භාවිතා කරයි. කරඳ ඉදිමුම් සහ වේදනාවන් නසන, අක්මාව උත්තේජනය කරන, රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි. කරඤ්ජාදී චූර්ණය, කරඤ්ජාදී තෛලය, චිත්‍ර කරඤ්ජාදී තෛලය, කරඳ පොතු ප්‍රලේපය, කරඳ දලු තුලසී ප්‍රලේපය ආදී කරඳ යොදා නිපදවන ඖෂධ රැසකි. 

කුෂ්ඨ සඳහා කරඳ ඇට හා කෙළිඳ ඇට අඹරා ආලේප කරයි. ලේ පිටවන අර්ශස් රෝගයට කරඳ දලු අඹරා ආලේප කළ යුතුය. කල්ගිය වණ සඳහා කරඳ කොළ තම්බා සෝදා ඉන් පසු කරඳ කොළ අඹරා ආලේප කළ යුතුය. කරඳ කොළ තම්බා ගත් වතුරින් නෑමෙන් සන්ධි වේදනාවන් පහව යයි. කිටීහ රෝගයට කරඳ ඇට තෙල්, හුණු, දෙහි ඇඹුල් බාහිරව ආලේප කළ යුතු බව දක්වා ඇත. 

කළකට පෙර බෞද්ධ ශික්ෂූන්වහන්සේලා සහ ගැමියන් දත් මැදීමට දැහැටි කූරු ලෙස සුලභව භාවිතා කළේ කරඳ කෝටුය. දැහැටි ලෙස භාවිතා කළ තවත් ශාකයක් වන්නේ බෝඹු ය. තොවිල් වලදී කරඳ ප්‍රයෝජනයට ගනී. සිංහල අවුරුදු චාරිත්‍රවලදී හිසතෙල් ගෑම සඳහා කරඳ කොළ භාවිතා කරයි. කරඳ ඇටවලින් ලබා ගන්නා තෙල්වල කෘමි නාශක සහ විෂබීජ නාශක ගුණ ඇති බව සඳහන්. මෙම තෙල් හම් පදම් කිරීමට, සබන් වර්ග සෑදීමට, ලිහිසිකාරකයක් ලෙස සහ පහන් දැල්වීම ආදියට භාවිතා කළ හැකිය. කරඳ ලීය වටිනා දැවයක් නොවුන ද කරත්තවල ගොන්නු බඳින ලීය සඳහාත්, නඟුල්, කරත්ත රෝද ආදිය සෑදිමටත් යොදා ගනී. කරඳ ගසට දකුණු පසින් තුඹසක් ඇති විට ඒ අසන්නයේ නොගැඹුරු පොළවේ ජල නිධියක් ඇති බව ඉපැරණි භූමී ලක්ෂණ විශේෂඥයින්ගේ අදහසකි. කරඳ මල් දැකීම සශ්‍රිකත්වයේ පෙරනිමිත්තක් බව පැරණි පොත පතෙහි දක්වා ඇත.

ඖෂධ සඳහා භාවිතා කරන පුතිකරඤජ නම් ශාකයක් ගැන පොත්පත්වල සඳහන් කර ඇතත් එය මතභේදාත්මක ශාකයක් බව සඳහන්. පුතිකරඤජ යනු කුඹුරු වැල් (Caesalpinnia bonduce) ද ගල් කරඳ (Humboldtia laurifolia) ශාකය ද යන්න තවම නිශ්චිතව විසඳා නැති ගැටළුවකි. පෙර කළ "මඟුලේ යන්නා" යන රහස් නාමයෙන් හඳුන්වා ඇත්තේ ද මඟුල් කරඳ ශාකයයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Tuesday, July 22, 2014

සුදුහඳුන් [Suduhadun] (Santalum album)

ශ්වේත චන්දන නමින් හඳුන්වන සුදුහඳුන්  මීටර් 6-10 පමණ උසට වැඩෙන, සුගන්ධවත් ලීයක් සහිත බහු වාර්ෂික ශාකයකි. සිනිඳු පොත්තක් සහිත කඳ කළු පැහැතිය. හොඳින් මේරු ශාකයක පොත්ත රළු විය හැකිය. කඩා හැලෙන ස්වභාවයකින් යුත් අතු රාශියක් සම්මුඛව පිහිටයි. ඕවලාකාර, අණ්ඩාකාර-ඕවලාකාර හෝ ලන්සාකාර හැඩැති පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍රයක් සෙ.මි. 6 දක්වා දිගු විය හැකිය. සංයුක්ත ඒකාක්ෂමය බහු අක්ෂයක් වන පුෂ්ප මංජරියක පිහිටන ද්වීලිංගික පුෂ්ප රාශියකි. මි.මි. 5 පමණ වන කුඩා පුෂ්ප දම් පැහැති ය. ගෝලාකාර ඵලය තරමක් මාංසලය. ඉදුණු විට කළු පැහැයක් ගනී. සුදු හඳුන් Santalaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

අතීතයේ දඹදිව මියුළු නුවර සිරිවර්ධන සිටුතුමාට දාව උපන් කුමරා මව් කුසින් බිහිවන විට සුදුහඳුන් කැබැල්ලක් මිට මොළවාගෙන උපන් හෙයින් මහා ඖෂධයක් ගෙන ආ තැනැත්තා යන අර්ථයෙන් මහෞෂධ නමින් හැඳින්වූ බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. එය පුරාණයේ සිටම සුදුහඳුන් වටිනා ඖෂධයක් බව දැන සිට බවට සාක්ෂියකි. හිසෙහි වේදනා, දැවිල්ල, විසර්ප, චර්ම රෝග, මානසික රෝග, කෘෂ්ණා, අතීසාර, ප්‍රවාහිකා, පණු රෝග, රක්ත පිත්ත, හෘද රෝග, කල්ගතවූ කැස්ස, මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, පූයාමේහ, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, ශුක්‍රමේහ ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සුදුහඳුන් ශාකයේ පිටපොත්ත, දළු, අරටුව සහ තෙල් භාවිතා කරයි. සුදුහඳුන් දුඟද නසන, දාහය සමනය කරන, පණුවන් නසන, මුත්‍රකාරක, ස්වේද ජනක, රුධිරය පිරිසිදු කරන විෂ නාෂක ආදී ගුණයන් රැසක් සහිතයි. 

හික්කාවට සුදුහඳුන් තන කිරෙන් ගලගා නස්‍ය කරයි. ශුක්‍ර මේහයට සුදුහඳුන් ඵාණ්ඨ කෂාය දෙයි. වමනයට සුදුහඳුන් ගලගා නෙල්ලි ස්වරසයෙන් හෝ නෙල්ලි කෂායෙන් බීමට දිය යුතුය. සුදුහඳුන් චූර්ණය කිරි සහ සීනි සමඟ බීමෙන් මුත්‍ර අඩස්සිය සුව වෙයි. සුදුහඳුන්, ඉඟිනි ඇට, සමව ගෙන අඹරා තැඹිලි වතුරේ දියකර සහිඳ ලුණු දමා උදෑසන හිස්බඩ පානය කිරීමෙන් මුත්‍ර දැවිල්ල සමනය වෙයි. උරච්චි කරගත් සුදු හඳුන් තැඹිලි වතුරේ දියකර පානය කිරීමද මුත්‍ර දැවිල්ලට ප්‍රතිකාරයකි. හිස කැක්කුමට සුදුහඳුන් ඇල් දියෙන් ගල ගා රෙදි කඩක තවරා සඳුන් නොගෑ පැත්ත නළල ප්‍රදේශයේ එළීම සහ කෝමාරිකා යුෂින් ගලගා රෙදි කඩක තවරා නළලේ එළීම ප්‍රතිකාරයන් ය. පීනසයට සුදු හඳුන් කුඩු, වියළි ඉඟුරු කුඩු, කහ කුඩු තේ හැන්දක් බැගින් තැඹිලි ගෙඩියකට දමා රාත්‍රි පින්නේ තබා උදෑසන හිස්බඩ පෙරා පානය කළ යුතුය. සුදුහඳුන්, පොකුරු වදමල් තැම්බූ වතුර පානය කිරීමෙන් රුධිරය පිරිසිදුවේ. සුදුහඳුන් කුඩු ඇල් දියෙන් දියකර එයට සීනි, මී පැණි දමා පානය කිරීමෙන් ශරීර දාහය සමනය වෙයි.  සුදුහඳුන් ගලගා එළකිරි සමඟ මිශ්‍රකර සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙයි. එයින් සම පෝෂණය කර මුහුණේ ඇතිවන කුරුලෑ ලප කැළැල් සුවකර සම රැලි වැටීම පාලනය කරයි. සුදුහඳුන්, සැවැන්දරා මුල්, කළු අගිල්, ඉරිවේරිය කොළ යන මේවා සමව ගෙන කොටා ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර පැයකින් පසු ජලස්නානය කිරීමෙන් ශරීරයේ දුඟද නැතිවී සුගන්ධවත් වෙයි.

සඳුන් තෙල් සුවඳ විලවුන් සහ රූපළාවන්‍ය දුව්‍ය නිපදවීමටත් යොදා ගනී. සඳුන් කිරි පැන් පිරිත් මණ්ඩපවල ඇතුළු බොහෝ සුභ කටයුතුවලදී භාවිතා කරයි. ළපටි කොළ මැල්ලුමක් ලෙස හෝ සලාදයක් ලෙස අහාරයට එක් කර ගත හැකිය. මෙවැනි වටිනාකම් රැසක් සහිත සුදුහඳුන් ශාකයක් නිවසේ වවා ගැනීම ගෙඋයනේ අලංකාරය පිණිසද හේතු වනු ඇත. සුදුහඳුන් පැලයක් වැවීමේදී ඒ අසලම දාස්පෙතියා හෝ නිදිකුම්බා ගසක් වැවීම මඟින් සුදුහඳුන් ගසේ ඉක්මන් වර්ධනයට උපකාරී වෙයි. 

Erythroxylum novogranatense යන උද්භිද නාමයෙන් හඳුන්වන විදේශීය ශාකයක් මෑතක සිට සුදු හඳුන් නමින් මෙරට බොහෝ නිවෙස්වල වවා තිබෙනු දැක ගත හැකිය. කොකේන් (Cocaine) නමින් ද හඳුන්වන විෂ සහිත ශාකයක් වන එය සුදුහඳුන් වෙනුවට ඖෂධ සඳහා භාවිතා කළහොත් අහිතතර ප්‍රතිඵල අත්වනු ඇත. එම නිසා එම ශාකය සහ සුදුහඳුන් ශාකය වෙන්කර හඳුනාගෙන, එම විෂ සහිත ශාකය නිවසේ වවා ඇත් නම් විනාශ කර දැමීමට උනන්දු විය යුතුය. සුදුහඳුන් කොල පළාවක් ලෙස ආහාරයට ගන්නා විට මේ ගැන විශේයෙන් සොයා බලා සැක හැර භාවිතයට ගත යුතුය. සුදුහඳුන් ශාකයේ පත්‍ර සම්මුඛව පිහිටීමත් මෙම කොකෙන් ශාකයේ පත්‍ර ඒකාන්තරව පිහිටීමත් මෙම වර්ග දෙක පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමට ඉවහල්වන ප්‍රධානම ලක්ෂණයක් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, July 20, 2014

ගම්මාළු [Gammalu] (Pterocarpus marsupium)

ගස්වැඩුම් සහ ගම්වැඩුම් යන නම්වලින්ද හඳුන්වන ගම්මාලු මීටර් 30 පමණ උසට වැඩෙන තරමක් විශාල දේශීය ශාකයකි. පතනශීලී වෘක්ෂයක් වන මෙහි කහ අළුවන් තද ස්වභාවයකින් යුත් පොත්තක් පිහිටයි. පොත්ත තුවාල වූ ස්ථානවලින් රතු පැහැති උකු දියරයක් ගලයි. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍රයක පත්‍රිකා 5-7 දක්නට ලැබෙන අතර ඒවාද ඒකානතරව පිහිටා තිබේ. දෙපසම සිනිඳු පත්‍ර තලය සෙ.මි. 8.8 දක්වා දිගු විය හැකිය. පත්‍ර අග්‍රය දෙකට බෙදී පැවතීම විශේෂ ලක්ෂණයකි. සංයුක්ත ඒකාක්ෂයක හට ගන්නා මල්වල පිහිටීම අක්‍රමවත්ව ය. පෙති 5 ක් සහිත ද්විලිංගික මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්තය. නොපැලෙන ඵලය කුඩා හොටක් වැනි ව්‍යුහයක් සහිත සපක්ෂයකි. පියාපත් ලෙස විකරණය වූ ඵලාවරණයක් සහිත ඵලය තුල වකුගඩු හැඩැති ඒක් බීජයක් පිහිටා තිබේ. ගම්මාළු Fabaceae කුලයට අයත් ශාකයකි. 

රත්පිත, රක්තප්‍රදර, දියවැඩියාව, මධුමේහ, පිත්තජ රෝග, වණ, ගෙඩි, ප්‍රමේහ, සෝමරෝග, අජීර්ණ, අතීසාර, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, කුෂ්ඨ, දන්ත රෝග, අතීසාර, අකලට හිසකෙස් ගැලවී යාම, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී ගම්මාලු ශාකයේ කොළ, පොතු, සුඹුලු, කිරි, අරටුව හා මැලියම් භාවිතා කරයි. ගම්මාලු කිරි ලේ වහනය අවහිර කරන, වණ රෝපණය කරන, පෙනහළුවලට හිතකර, කෘමින් නසන, ශරීර ශක්කිය වඩවන ගුණ සහිතයි. ගම්මාලු කොළ වණ ශෝධනය කරන, ඉදිමුම් නසන, සන්ධානීය සහ කෙස් කළඹට හිතකර ගුණයන්ගෙන් යුක්ත ය. අසන බිල්වාදී තෛලය, ගම්මාලු තෛලය ගම්මාලු භාවිතාකර නිපදවන ඖෂධයන් ය.

කිහිරි, ගම්මාලු යන දෙවර්ගය කෂාය කර බීමෙන් සියළු කුෂ්ඨ රෝග සමනය වේ. ගම්මාළු අරටුවේ චූර්ණය දියකර කට සේදීම දත් රෝගවලට ගුණය. වණවලට ගම්මාලු චූර්ණය තුවාලවලට ඉසීම, කොළ අඹරා ආලේප කිරීම, කොළ තම්බා සේදීම ආදී ප්‍රතිකාර ලබා දෙයි. ගෙඩි විදාරණයට පත්‍ර ප්‍රලේපය ආලේප කරයි. මධුමේහයට සුඹුලු කෂාය දෙයි. ගම්මාලු ලාටු තැබීමෙන් දත් කැක්කුම සමනය වෙයි. තැලීම්වලදී අරටුව දෙහි ඇඹුලින් ගලගා ආලේප කරයි. ගම්මාලු අරටුවෙන් සාදාගත් භාජනයක සිසිල් ජලය දමා උදෑසන පානය කිරීම හෝ අරටු කැබැල්ලක් ජල බදුනක බහා තබා එම ජලය පානය කිරීම දියවැඩියාවට ගුණය. ගම්මාලු කිරි බිංදු කිහිපයක් එළකිරිවලට කලවම් කර පානය කිරීමෙන් රක්තහීනතාවය දුරු වේ යැයි මතයක් පවතී. විචිත්‍ර වෛරම් සහිත ගම්මාලු ලීය කැටයම් ආදිය කැපීමටත් ගෘහභාන්ඩ සෑදීමටත් යොදා ගත හැකි වටිනා දැවයකි. පූජනීය ස්ථානවල දැවකම්වලදී විශේෂයෙන් භාවිතා කර ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support