දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, June 8, 2015

රත් කෑලිය [Rath Keliya] (Litsea longifolia)


රත් කෑලිය ලංකාවට ආවේනික ශාකයක් වන අතර බොහෝ විට මධ්‍යම කඳුකර ප්‍රදේශයන්හි පමණක් දැකගත හැකිය. මීටර් 5 පමණ උසට වැඩෙන ශාකයක් වන මෙහි ශාකය පුරාම සියුම් බූවක් ඇත. මෙහි දලු සහ ළපටි අතු රත් පැහැයකින් දක්නට ලැබේ. කොළ පැහැති ඵලය සෙ.මි. 0.5 පමණ විශ්කම්භයකින් යුක්ත වන අතර ඉඳුණු විට කළු පාටට හුරු තද රතු පැහැයකට හැරේ. එක් ඵලයක් තුල එක් බීජයක් පමණක් දක්නට ලැබේ. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. රත් කෑලිය Lauraceae කුලයට අයත් ශාකයකි. 

ස්නායු රෝග, ගඩු, විසප්පු ආදියට ප්‍රතිකාර කිීරීම සදහා මෙම ශාකයේ පොතු භාවිතා කරන බව සඳහන් වේ. ස්නායු උත්තේජනය කිරීමේ සහ අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධී වීමේ ගුණයන් සහිතයි.

Share:

Friday, June 5, 2015

සාදික්කා [Sadikka] (Myristica fragrans)


සාදික්කා 19 වන සියවසේදී පමණ අප රටට හඳුන්වාදුන්, ඉන්දුනීසියාව මව්බිම කරගත් ශාකයකි. ලංකාවේදී එය බොහෝ විට මධ්‍යම පළාත තුල පමණක් දක්නට ලැබේ. සාදික්කා ශාකයක් මීටර් 10 -18 පමණ උසකට වර්ධනය වන අතර ඇතැම් විට මීටර් 20 ද ඉක්මවා වර්ධය වන අවස්ථාද ඇත. මෙහි සරල පත්‍ර අඳුරු කොළ පැහැයෙන් යුක්ත වන අතර දිළිසෙන සුලුය. ඔවලාකාර හැඬයෙන් යුත් ඵලයක විශ්කම්භය සෙ.මි. 6 පමණ වේ. මාංසල බවකින් යුතු සාදික්කා ගෙඩියක් තුල  2.5 සෙ.මි. පමණ විශ්කම්භයක් සහිත ඒක් බීජයක් තිබේ. බීජය වටා, එයට තදින් බැඳුන දැලක් ආකාරයෙන් යුත් රතු පැහැති ව්‍යුහය වසාවාසිය යනුවෙන් හඳුන්වයි. සාදික්කා Myristicaceae කුලයට අයත් ශාකයකි.

සාදික්කා මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන සුළුඅපනයන භෝගයකි. මෙහි වසාවාසිය සහ බීජය තුල පිහිටා ඇති මදය ආර්ථික වටිනාකමකින් යුක්ත ය. විශේෂයෙන් විවිධ රසකාරක වර්ග සෑදීම සඳහා මේවා භාවිතයට ගනී. එමෙන්ම  විලවුන් වර්ග, සබන් වර්ග, ආලේපන ආදිය නිශ්පාදනයේදී‍ වසාවාසි සහ සාදික්කා මදය මගින් නිස්සාරණය කර ගන්නා තෙල් භාවිතා කරයි. සාදික්කා ලෙලිවලින් ජෑම් සහ බීම වර්ග නිශ්පාදනය කළ හැකිය.

උදරයෙහි වාතය එකතු වීම, ඔක්කාරය, වමනය, පාචනය, කුසගිනි මදිකම, අජීර්ණය, මුඛ රෝග, පීනස, ඉක්කා, ඇදුම ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට සාදික්කා මදය භාවිතා කරයි. එමෙන්ම පිලිකා, වකුගඩු රෝග, නින්ද නොයාම, ඔසප් දෝෂ, වේදනාව සමනය කිරීම ආදිය සදහා ද විවිධ රටවල ජනයා සාදික්කා භාවිතා කර ඇත. අජීර්ණය සෑදී මල බුරුලෙන් පිටවන විට සාදික්කා මදයක සුළු ප්‍රමාණයක් දෙහි ඇඹුලෙන් හෝ ලුණු වතුරින් උරච්චිකර පානය කිරීම ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එය වමනය, බඩේරුජා, පණු රෝග ආදියටද ගුණදායකය. සාදික්කා විෂබීජයන්ට  සහ පිලිකා සෛලවලට ප්‍රතිවිරොධී ගුණ දක්වයි. රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. සාදික්කා අධි මාත්‍රාව විෂ සහිතය. එයින් මරණය පවා සිදු විය හැකිය. 

මූලාශ්‍ර_ අන්තර්ජාලයෙන් 

Share:

Monday, June 1, 2015

අමුක්කරා / අස්ගොඳු [Amukkara] (Withania somnifera)

ඔසු ගුණයෙන් සපිරි මෙම ශාකයේ මුල අශ්වයින්ගේ මුත්‍රවල ගඳට සමාන ගඳකින් යුක්ත හෙයින් අශ්වගන්ධ යනුවෙන්ද හඳුන්වයි. අමුක්කරා යන්න ද්‍රවිඩ ව්‍යයවහාරයක් වන අතර මෙහි සිංහල නම අස්ගොඳු ය. මීටරයක් පමණ උසට වැඩෙන අමුක්කරා ශාකය අර්ධ කාෂ්ඨමය පඳුරක් ලෙස වර්නධය වේ. කඳ සහ අතු සුදු පැහැති දැඩි බූවකින් යුක්තයි. අණ්ඩාකාර හැඩයකින් යුත් සරල පත්‍රද බූව සහිත වන අතර පත්‍රවල යටි පැත්තෙහි තාරකාකාර බූවක් පිහිටයි. මල් කොළ පාටට හුරු කහ පාටය. ඵලය රතු පැහැති ගොලාකාර බදරියකි. ඒ තුල පැතලි හැඩයකින් යුක්ත කහ පැහැති බීජ රාශියක් පිහිටා ඇත. ඇතැම් මූලාශ්‍රවලට අනුව වන්‍ය (වනගත) හා ග්‍රාම්‍ය (ගැමි) යනුවෙන් අමුක්කරා ප්‍රභේද දෙකක් ඇත. දෙවර්ගයම ඔසු පිණිස ගන්නා බවත් වන්‍ය වර්ගය විශේෂයෙන් බාහිර ආලේපන සඳහාත් ග්‍රාම්‍ය වර්ගය අභ්‍යයන්තර යෙදීම් සඳහාත් සුදුසු බවත් සඳහන් කර ඇත. ඉන්දියාවට දේශීය  වන අප රටට හඳුන්වාදී වගාකර ඇති අමුක්කරා ශාකය Solanaceae කුලයට අයත් ය. 

ශුක්‍ර රෝග, ලිංගික දුර්වලතා, ක්ෂය රෝගය, ඇදුම, පාන්ඩු, උන්මාද, අපස්මාර, නාඩි දුර්වලතා, මූර්ජා, අනිද්‍රා, වාත රෝග, රක්තවාතය, ඔඩු සහිත වණ, පිළිකා,  ශරීරය කෘෂ වීම, රුධිර දෝෂ, සුදු කබර, ප්‍රතිශ්‍යාව, කැස්ස, ස්ත්‍රීන්ගේ වඳ බව, ඉදිමුම් ආදී රෝග තත්වයන් රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් අමුක්කරා අලත් අමතරව මුල් සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. අල නොමැති අවස්ථාවල මුල් භාවිතා කිරීම සුදුසු බව දක්වා ඇත. අමුක්කරා ස්නායු උත්තේජනය හා ශක්තිමත් කරයි. ඉදිමුම් සහ වේදනාවන් සමනය කරයි. මලබද්ධය නසයි. කෘෂ වූ ශරීරය පෘෂ්ටිමත් කරයි. ලේ පිරිසිදු කරයි. අකලට මහළු වීම හා ජරාවට පත්වීම වළක්වන රසායන සහ වාජීකරණ ගුණයන්ගෙන් යුක්තයි. ශුක්‍ර ධාතුව වර්ධනය කරයි. ශරීර වීර්යය හා බලය ශක්තිය වඩවයි. නිද්‍රාජනක හා මදනකාරී වුවද හෘදයට බල නොපාන බව මෙහි ඇති විශේෂත්වයක් ලෙස සඳහන් කර ඇත. 

අමුක්කරා කෂාය සෘතු කාලයේදී එළඟි තෙලෙන් පෙවීම මගින් ගැබ නිසි ලෙස ස්ථාපනය වීම සිදු වේ. එමෙන්ම කුඩු කර ගත් අමුක්කරා අල ග්‍රෑම් 6 බැගින් එළකිරි සමඟ සෘතුවීමෙන් පසු දින 5 – 6 තුළ දී බීමට දීමෙන් ස්ත්‍රීන්ගේ වඳ භාවය නැති කළ හැකි බව සදහන් වේ.   අමුක්කරා කෂාය එළඟිතෙල් මී පැණි සමඟ ලේහ කිරීම ඇදුම රෝගයට ප්‍රතිකාරයකි. අමුක්කරා චූර්ණය සීනි, ගිතෙල් සමඟ වැළඳීමෙන් නිසි ලෙස නින්ද යාම සිදු වෙයි. අමුක්කරා අල චූර්ණය උණු වතුරට දමා බීමෙන් ද නින්ද ඇතිකරයි. සීනි තිප්පිලි අමුක්කරා චුර්ණය ගිතෙල් මීපැණි සමග ලේහ කිරීමෙන් සිරුර පෘෂ්ටිමත් වේ. කුඩු කර ගත් අල ග්‍රෑම් 3 ක් බැගින් දීම ප්‍රතිශ්‍යාව හා කැස්සට ගුණදායකය. ගෙඩි සහ ඇටවල ද කැස්ස නැසීමේ ගුණයක් පවතී. අමුක්කරා අල කුඩු කර ගෙන, වරකට ග්‍රෑම් 3 බැගින් ගැනීම සන්ධි ඉදිමුම් හා වේදනා සඳහා යෝග්‍යයයි. අමුක්කරා අල චූර්ණය ග්‍රෑම් 2 බැගින් දිනපතා එළකිරි සමඟ ගැනීමෙන් ලිංගික දුර්වලතා මඟහරවා ගත හැකිය. එමෙන්ම නොයෙක් රෝග අවස්ථා සඳහා භාවිතා කිරීමට නිපදවූ අශ්වගන්ධා නාමය සහිත සංස්රිකාක ඖෂධ වර්ග ද රැසකි. මෙවැනි ඖෂධීය වටිනාකම් සහ භාවිතාවන් රැසක් සහිත අමුක්කරා ශාකයක් ගෙවත්තෙහි වවා ගැනීම ද එතරම් අපහසු නොවේ.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
අමුක්කරා අල 
Share:

Sunday, May 3, 2015

සල් [Sal] (Shorea robusta)


මෙරට බොහෝ දෙනා "සල්" ගස ලෙස හඳුනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරටට හඳුන්වාදෙන ලද Couroupita guianensis නැමැති නිවර්තන දකුණු ඇමෙරිකාව ජන්ම භූමිය කරගත් ශාකයකි. බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මෙරටදී විශේෂ අවස්ථා සිහිවීම පිණිස රෝපණය කිරීම නිසා අප රට තුල ව්‍යාප්ත වූ මේ ශාකය "කුරෝපිටා" ලෙස සිංහලෙන් නම් කර ඇති බව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතා පවසයි.

උතුරු ඉන්දියාවේ වැවෙන, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය හා සම්බුද්ධ පරිනිර්වාණය ආදි බුද්ධ චරිතයයේ විව්ධ අවස්ථා හා බැඳුනු නියම සල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Shorea robusta ය. එම ශාකය මෙරටදී සල් ලෙස ව්‍යවහාර කරන ශාකය මෙන් සෘජු කඳක් සහිතව වැඩෙන්නක් නොව තිරස්ව අතු පැතිරී වැඩෙන ශාකයකි. බුද්ධ චරිතයෙහි සිදුහත් කුමරාගේ උපත හා සම්බුද්ධ පරිනිර්වාණය ආදී සිද්ධිවල සඳහන් වන්නේ ද එවැනි ශාකයක් පිළිබඳවයි. මෙරටදී සල් ලෙස හඳුන්වන ශාකයේ පුෂ්පය ගොරහැඩි පෙනුමක් සහිත වුවද උතුරු ඉන්දියාවේ වැවෙන මෙම සල් ශාකයේ පුෂ්පය සියුමැලි පූජනීය පෙනුමකින් යුක්ත බව පෙනේ. දැනට පේරාදෙණිය උද්භිද උද්‍යාන තුලදී මෙම ශාකයක් දැක ගත හැකිය. කෙසේ වෙතත් යටත්විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විට ඉන්දියාවේදී පවා පැටලිලි සහගත ලෙස Couroupita surinamensis නැමැති ශාකයට "සල්" නාමය භාවිතා කරන බව පෙනෙන්නට තිබේ. සල් Dipterocarpaceae හෙවත් හොර කුලයට අයත් ශාකයකි.

උතුරු ඉන්දියාවේ වැවෙන මෙම සල් ශාකය වෙදකමට සම්බන්ධ දේශීය මූලාශ්‍රවල සල් / ඉන්සලු / හින්සල් ආදී නම්වලින් හඳුන්වා ඇත. උණ, කහ උණ, පාණ්ඩුව, පිලිස්සීම්, හිසරදය, ඉරුවාරදය, ඇදුම, ආසාදන, කණේ රෝග, අක්ෂි රෝග, කුෂ්ඨ, අතීසාර, රක්ත ප්‍රවාහිකා, රක්ත අර්ශස්, කැඩුම් බිඳුම් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී  සල් ශාකයේ පොතු සහ මැලියම් හෙවත් දුම්මල ඖෂධ සඳහා භාවිතා කරයි. මෙම දුම්මල විශේෂය වණ ශෝධයට සහ රොපණයට උපකාරී වේ. මෙම පොතු කෂාය සිරුරේ ඔනෑම ස්ථානයක වේදනාවන් සමනය කිරීමට භාවිතා කළ හැකිය. පුතිකණී නම් කර්ණ රෝගයේදී පොතු තම්බාගත් කෂායෙන් කණ සේදීම ප්‍රතිකාරයකි. ප්‍රදර රෝගයටද මුත්‍ර සමඟ සැරව පිටවීමටද සල් පොතු කෂාය ගුණදායකය. වේදනා සහිත ඉදිමුමට සහ චර්ම රෝග සඳහා සල් පොතු කෂාය සහ සල් පොතුවලින් සාදාගත් ලේපය යෙදීමට හැකිය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති , අන්තර්ජාලයෙන් සහ විදුසර පුවත්පතින්
Share:

Wednesday, April 29, 2015

කුකුරුමාන් [Kukuruman] (Catunaregam spinosa)



කුකුරුමාන් වියළි ප්‍රදේශයන්හි මීටර් 5ක් දක්වා උසට පඳුරක් ලෙස වැවෙන කටු සහිත දේශීය ශාකයකි. තරමක් ඕවලාකාර හැඩයකින් යුක්ත සරල පත්‍ර වලයාකාර ගොනු ලෙස පිහිටා තිබේ. මෙහි හට ගන්නා පෙති පහක් හෝ හයක් සහිත සුදු පැහැති මල පරවීමේදී ක්‍රමයෙන් කහ පැහැයට හැරේ. පේර ගෙඩියට තරමක් සමාන කුකුරුමාන් ගෙඩි මදන ඵල යනුවෙන් හඳුන්වා ඇත්තේ එවා අනුභව කිරීමෙන් මත් ගතියක් ඇතිවන හෙයිනි. කුකුරුමාන් Rubiaceae කුලයට අයත් ශාකයකි. 

කුකුරුමාන් දේශීය වෙදකමේ භාවිතා කරන ප්‍රධාන වමනකාරන ඖෂධයක් ලෙස සැලකේ. ගසේ පොතුද, ගෙඩියේ පොත්ත සහ ඇටද වමනකර්ම සඳහා භාවිතා කරයි. එමෙන්ම ප්‍රතිශ්‍යා, දද, කුෂ්ඨ, ගෙඩි, වණ, වඳ භාවය, ගර්භාෂගත ඉදිමුම්, පිත අදික වීම, රත්පිත්, රක්තඅතීසාරය, උදරාබාධ, උණ, තැලීම්, සර්ප විෂ, කැස්ස, ඇදුම, කක්කල් කැස්ස, අස්ථි වේදනා, පාචනය ආදී රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී කුකුරුමාන් ශාකයේ පොතු, මල්, ගෙඩි, ඇට සහ ඇටවලින් සිඳගත් තෙල් ආදිය භාවිතා කරයි. මෙම පොතු වේදනාව සමනය කිරීම සඳහා බාහිර ආලේපයක් ලෙස යොදා ගැනේ. කුකුරුමාන් වමනකාරක, ඉදිමුම් නසන, ලේ පිරිසිදු කරන, ආර්ථවය ඇති කරවන, ගබ්සාකාරක, කුෂ්ට නාශක ආදී ගුණයන් සහිතයි. 

උදර වේදනාවට කුකුරුමාන් ගෙඩි කාඩියෙන් (විනාකිරෙන්) අඹරා පෙකනිය අවට ආලේප කරයි. අධෝගත රත්පිතට ඇට යොදා පිසගත් කිරි හෝ කිරිකැඳ බීමට දෙයි. කැසිමූස දෙකට කුකුරුමාන්, වැල්මී, එරබදු පොතු යන මේවාගේ චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. රක්තඅතීසාරයට, හිසේ වේදනාවට ප්‍රතිකාර කිරීමට කුකුරුමාන් ගෙඩියේ ලොඳ භාවිතා කරයි. කුකුරුමාන් ඇටවලින් සිඳගත් තෙල් වාත රෝගවලදී පිටතින් ආලේප කිරීමට යොදා ගනී. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Wednesday, April 8, 2015

රත්මල් [Rathmal] (Ixora coccinea)


රත්මල් පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහුවාර්ෂික ශාකයකි. සෙ.මි. 10 ක් පමණ දිග සරල පත්‍ර සම්මුඛව පිහිටයි. මේරු පත්‍ර තද කොළ පැහැයක් ගනී.  පොකුරු වශයෙන් හට ගන්නා පෙති හතරක් සහිත රතු පැහැති මල් අලංකාරවත් ය. ගෙඩි කොළ පැහැති වන අතර ඉදුණු විට කළු පැහැයට හුරු තද රතු පැහැයක් ගනී. ඒවා පළතුරක් ලෙස කෑමට ගත හැකිය. අද වන විට විසිතුරු මල් පැළෑටි ලෙස නවීකරණය කරන ලද රත්මල් ප්‍රභේද රාශියක් හමුවන නිසා ඔෟෂධ සඳහා භාවිතා කරන රත්මල් ශාකය කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත. Ixora coccinea නමින් අන්තර්ජාලයේ සෙවූ විට ලැබෙන පින්තූර සියල්ලම පාහේ එම විසිතුරු මල් පැල වල ඒවා නිසා ඖෂධ සඳහා රත්මල් භාවිතා කිරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුය. ගෙවත්තේ අලංකාරය සඳහා ද වැවිය හැකි ඖෂධීය රත්මල් ශාකය Rubiaceae කුලයට අයත් ය. 

සමේ රෝග, ළදරුවන්ගේ රත ගාය, රත කුෂ්ඨ, අක්ෂි රෝග, සමෙහි ඇතිවන දිලීර ආසාදන, අවිධිමත් ඔසප්වීම, ආහාර අරුචිය, උගුර වණ වීම, කැස්ස ආදී රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ මල්, පොතු සහ කොළ යොදා ගනී. රත්මල් පිත සහ සෙම ඉවත් කිරීමට උපකාර වේ. මෙරට ජනයා පුරාණයේ සිට කුඩා දරුවන් නාවන ජලයට මෙම මල් එක් කිරීම සිදුකර ඇත. එය ග්‍රාමීය ප්‍රදේශවල අනිවාර්ය අංගයක් ලෙස අදටත් සිදු කරයි. ඒ මෙම මල්වල පවතින සමේ රෝග සුවකිරීමේ හැකියාව සහ විශබීජ නාශක ගුණය පෙර කල සිටම ගැමියන් දැන සිටි නිසා විය යුතුය.

රත්මල් කොළ සහ පොතු තම්බා ගත් වතුරට සීනි දමා බීමට දීම, රත්මල් පොතු ක්වාතය දීම සහ වදමල් කැකුළු, රත්මල්, රත් හඳුන්, වැල්මී තම්බා ගත් වතුරට සීනි, මී පැණි දමා බීමට දීම රත ගායට ප්‍රතිකාරයන්ය. රත කුෂ්ඨ සඳහා රත්මල් කොළ, උඳුපියලි, කැකුළු හාල් ස්වල්පයක් වතුරින් අඹරා රත කුෂ්ඨයේ ගෑමෙන් සුවය ලැබෙයි. එමෙන්ම මල් අබ කොළ, රත්මල් කැකැළු අඹරා තල තෙලින් ගෑම, රත්මල් කැකුළු පමණක් අඹරා ගෑමද ඒ සඳහා ප්‍රතිකාරයන් ය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්  



Share:

Wednesday, February 4, 2015

දිවුල් (Limonia acidissima)


විශනාශක ගුණයෙන් ඉහළ දිවුල් මීයන් සපා කෑ වීට මී විෂ නැසීමට දිවුල් පංචාංගය කැඳ පානය කිරීටම දී තිබේ. මී මැස්සන් දෂ්ඨ කල විටත්, කෘමී දෂ්ඨ යන්හි විෂ නැසීමටත් දිවුල් මඳ කහ ඉස්ම අමුකහ සමඟ මිශ්‍රකර භාවිතා කෙරේ. මේ සඳහා දිවුල් මද වෙනුවට දිවුල් කොළ ඉස්මද භාවිතා කල හැකිය. කුඩා දරුවන්ට ආහාර නොදිරවන අවස්ථාවේදීත්, පණු රෝග ඇති අවස්ථාවේදීත්, ‍‍ඖෂධයක් වශයෙන් මෙන්ම පළතුරක් වශයෙන්ද දිවුල් ලබාදීම අතීතයේ සිටම සිදුව තිබේ. හොදින් ඉදිණු දිවුල් පළතුරු භාවිතයෙන් ශ‍රී‍රයේ විකෘති  සෛල නිර්මාණය වීම වැලකෙන අතර දිවුල්වල අඩංගු රසායනික ද්‍රව්‍ය හේතු‍වෙන් ශරීරයේ සෛල බෙදීමේදී මුල් සෛලම නිර්මාණය වේ. එම නිසා ශරී‍ර සෛල විකෘති වීමෙන් ඇතිවන පිලිකා කාරකයන්, විශේෂයෙන්ම අක්මගත පිළිකා රෝගයෙන් ඇති වීමේ ප්‍රවනතාව අඩු කිරීමේ හැකියාවක්ද ඉදුණු දිවුල් සතුව පවතී. 

රුධිර පීඩනය, කොලොස්ට්‍රෝල්, දියවැඩියාව (මධූමේහය) ඇල්සයිමර්, ඩීසීස්, නැමති ස්නායුගත රෝගී තත්වයන්ට හෙවත්, බෝ නොවන රෝග වැලැක්වීමටත් දිවුල් පලතුර, භාවිතය ඉහළ ‍ඖෂධීය ඖෂධීය ගුණයෙන් යුක්තවේ. පාලනය නොවනා මධුමේහය (දියවැඩියා) අවස්ථාවේදී දිවල් ශාකයේ මැලියම් ‍ඖෂ්‍ධයක් ලෙස භාවිතා කර තිබේ. නොනවතින වමනය සඳහාද  ඉදුණු දිවුල් මද ඉස්ම ලබා දෙන අතර, ඉක්කාවට දිවුල් කොළ ඉස්ම මී පැණිත්, තිප්පිලි කුඩුත් සමග මිශ්‍රකර වරින් වර පානය කිරීමට දේ. දිවුල් කොළ ඉස්ම පීනස් රෝගීන්ට ‍ඖෂධ ගුණයෙන් ඉහළ ඖෂධයක් වන අතර, සෙම සහිත කැස්ස අවස්ථාවන්හි දිවුල් ‍කොළ ඉස්ම, මී පැණි දමා පානය කිරීම ගුණදායකය. ආමාශගත තුවාල සුවකිරීමේ ඉහළ ගුණයක්ද දිවුල් සතුවේ. සුදු කබර ඇති අවස්ථාවන්හි දී ද පංචාංගයෙන් කැඳ සදා ‍‍ඖෂධයක් වශයෙන් දී ඇත. කාන්තාවන්ගේ සුද යාම පාලනයට කිරීමටද පණු රෝග පාලනය කිරීමටද දිවුල් භාවිත කෙරේ. 

දිලීර බැක්ටීරියා ආසාදන වැලැක්වීමේ ඉහළ ගුණයක් ඇති දිවුල්, රසායනාගාරයන්හි ක්‍ෂුද්‍ර ජීවීණ් වර්ධනය කිරීමේ මාධ්‍යක් ලෙසටද දිවුල් ඵලය භාවිතා කෙරේ. ‍සමේ දිළීර ඇති අවස්ථාවන් හිදී පත්‍ර සහ පොතු ඖෂධ වශයෙන් භාවිතා  කර ඇත. දිවුල් හා බැදුනු තවත් වැදගත්ම කරුණක් වනුයේ ඩෙංගු මදුරු කීට මර්දනය කරීම සඳහා දිවුල් කොළ ඉස්ම ඉස ඇති බවය. ඩෙංගු මදුරුවන් සේම මැ‍ලේරියා, බරවා මදුරුවන් බෝවීම වැළැක්වීමට දිවුල් කොල වේලා දුම් ඇල්ලූ බවද පැරණි ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත. පිපාසය සංසිදුවීමේ ඉහළ ගුණයක් ඇති දිවුල් ඵලය අක්‍ෂි රෝග සදහා ද අතීතයේ දී භාවිත කර තිබේ. 


http://wanawadula.blogspot.com හි පලවූ ලිපියක් ඇසුරිනි. 



Share:

Wednesday, January 21, 2015

ඉඟිනි [Igini] (Strychnos potatorum)


ඉඟිනි මීටර් 5 -15 අතර උසට වැඩෙන දේශීය බහුවාර්ෂික ශාකයකි. කළු පැහැති ඉරිතැලී ගිය පොත්ත රළු ස්වභාවයක් ගනී. සම්මුඛව පිහිටන සරල පත්‍ර දිළිසෙන සුලුය. පොකුරු වශයෙන් හට ගන්නා මල් සුදු පැහැතිය. සෙ.මි. 0.5 පමණ විශ්කම්භයක් සහිත කොළ පැහැති ඵලය ඉදුණු පසු කහ පැහැයක් ගනී. බීජ ළා කහ පාටට හුරු සුදු පැහැයකින් යුක්තය. ඉඟිනි Loganiacea කුලයට අයත් ශාකයකි. 

ඉඟිනි ඇට ප්‍රධාන වශයෙන් අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. එමෙන්ම දාහය, කල්ගිය පාචනය, මුත්‍රා අඩස්සිය, වකුගඩුවල සහ මුත්‍රාශයේ හටගන්නා ගල්, ස්වාසනාලිකා ප්‍රදාහය, වණ ශෝත, කුෂ්ට රෝග, දියවැඩියාව ආදී රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ මුල්, පොතු, ගෙඩි, ඇට ආදිය භාවිතා කරයි.

ඉඟිනි ඇට යෙදීමෙන් මඩ සහිත ජලය පිරිසිදු කර ගැනීමට ආසියාතිකයින් බොහෝ කලක සිට පුරුදුව උන්හ. තවද ටැන්සානියාව වැනි අප්‍රිකානු රටවල මෙම ශාකයේ කොල ඇස් රෝග සඳහා ද, මෙහි මුල යොදා සකස් කරන පාන වර්ග ලිංගාශ්‍රිතව බෝවන රෝග සඳහා ද, මෙම කොළ යොදා සකස් කරන පාන වර්ග අපස්මාර රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිත කරයි. එමෙන්ම ඔවුන් මෙහි මුල තැම්බූ වාෂ්ප සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ද, මුල යොදා සකස්කරන ඖෂධ කාමවර්ධකයක් ලෙස ද, කැස්සට ප්‍රතිකාර කිරීමට ද යොදා ගනී. විරේක ඖෂධ වර්ග සෑදිමට, සර්ප දෂ්ඨන සඳහා ප්‍රතිකාර කිරීමේදී විෂ ඉවත් කිරීමටත් භාවිතා කරයි.  ශරීරය සිසිල් කරයි. අක්ෂි රෝග තෛලය, චන්ද්‍රකාන්ති තෛලය, රාජතරංගණී තෛලය වැනි ඖෂධ වර්ග නිපදවීම සඳහා ඉඟිනි ඇට යොදා ගනී.  ඉඟිනි මුත්‍රකාරක, වමනකාරක, විෂබීජ නාශක ආදී ගුණ සහිතයි. 


මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, December 21, 2014

නිල් අවරිය [Nil Awariya] (Indigofera tinctoria)

නිල් අවරිය මීටර් 2 ක් පමණ ඉහලට වැඩෙන කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් ලෙස ද දැක ගත හැකිය. ශාකයේ ළපටි කොටස් සුදු පැහැති බූවකින් වැසී පවතී. අසමපක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටන අතර පත්‍රිකා සම්ම්ඛව පිහිටයි. පත්‍රිකාවන්ගේ ඉහල පෘෂ්ඨය දීප්තිමත් කොළ පැහැතිය. යටි පෘෂ්යඨ රිදීවන් සියුම් බූවකින් වැසී පවතී. කක්ෂීය පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල් අලංකාරවත්ය. පොකුරක පෙති 5 ක් සහිත ද්වීලිංගික මල් රාශියක් හට ගනී. ඵලය සෘජු හෝ මදක් වක්‍ර වූ කරලකි. කරලක් තුල බීජ 8-12 සංඛාවක් පිහිටයි. මෙහි අඩංගු නිල් වර්ණකය නිසා වඩාත් ප්‍රසිද්ධ නිල් අවරිය ශාකය Fabaceae කුලයට අයත් ය.   

වාතරක්ත, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ගල්, විසර්ප, සර්ප විෂ, කම්බුල්ගාය, පිස්සු බල්ලන් සපා කෑම, අකලට හිසකෙස් වැටීම, උඳුගොව්වා කෑම නම් චර්ම රෝගය, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමට නිල්අවරිය සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. නිල්අවරිය මුත්‍රකාරක, විෂ නසන, වණ රෝපණය කරන, කුෂ්ඨ නසන, කේෂකලාපය වර්ධනය කරන ආදී ගුණ රැසක් සහිතයි. ශීර්ෂ රෝගයන්ට මෙන්ම රත කුෂ්ඨ ආදියට ද මහඟු ගුණ දෙන නීල්‍යාදී තෛලය නිල් අවරිය යොදා නිපදවන ප්‍රකට ඖෂධයකි. නිල් අවරිය අමුවෙන් භාවිතට ගත යුතු ඖෂධයක් ලෙස දක්වා ඇත. 

ක්ෂය රෝග, ඇදුම, පෙහැල්ල ඉදිමීම ආදී ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලදී නිල් අවරිය මුල් චූර්ණය එළ කිරි සමඟ පානය කිරීමට දෙයි. දඬුව භාවිතා කර දත් මැදීමෙන් දන්ත ආසාදන සුව වෙයි. මුත්‍ර ගල් හා මුත්‍ර අඩස්සියේදී පත්‍ර ලේපය යටි බඩේ ආලේප කිරීමෙන් මුත්‍ර පිටවීම පහසු කරයි. වාතරක්ත, කුෂ්ඨ සහ වණවල මස ලියලීමට නිල් අවරිය කොළ ඇල් දියෙන් අඹරා ආලේප කරයි. රක්ත කුෂ්ඨ සඳහා අවරිය කොළ තැම්බූ ජලයෙන් සෝදා ඇල් දියෙන් අඹරාගත් කොළ ආලේප කළ යුතුය. සර්ප විෂට නිල් අවරිය මුල් සහල් සේදූ වතුරින් ගලගා ආලේප කිරීමෙන් දෂ්ඨ ස්ථානයේ දැවිල්ල සහ ප්‍රදාහ සමනය වේ. නිල් අවරිය කොළ කෂාය බීමෙන් මී විෂ නැසෙන බව සඳහන්. උඳුගොව්වා කෑමට නිල් අවරිය කොළ හා වරා කොළ උණු දියෙන් අඹරා ගෑම හෝ නියඟලා අල නිල් අවරිය යුෂින් අඹරා ගෑම කළ යුතුය. නිල්අවරිය, කීකිරිඳිය , කහ සහ කෙළිඳ සහල් එකට අඹරා ගෑමෙන් අකලට හිසකෙස් වැටීමට නවතී. නිල් අවරිය කොළ යුෂ යොදා සිඳ ගත් තෙල් හිස ගැල්වීමෙන් කේෂ වර්ධනය මෙන්ම මනා කළුවන් කෙස් කළඹක්ද ලබා ගත හැකිය.

තද නිල් පැහැය නිසා තෙල් වර්ග වර්ණ ගැන්වීමේ උපාදානයක් ලෙස නිල් අවරිය භාවිතා කරයි. එමෙන්ම  අතීතයේ විහාරවල සිතුවම් ඇඳීමේදීත්, රෙදි සහ සිවුරු වර්ණ ගැන්වීමේදීත්, බලි රූප ආදිය ඇඹීමේදීත් ස්වභාවික වර්ණකයක් ලෙස නිල් අවරිය භාවිතා කර ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
සේයාරූ_ අන්තර්ජාලයෙන්

Share:

Friday, December 12, 2014

කාමරංගා [Kamaranha] (Averrhoa carambola)


දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ශරීරය ප්‍රසාදනය කිරීමේ මනස ප්‍රබෝධවත් කිරීමේ මහඟු ගුණයක් පවතින කාමරංගා අයත් වන්නේ වාංගේරි (Oxalidaceae) කුලයට. වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ පල හටගන්නා කාමරංගා ශාකය පැණි කාමරංගා සහ ඇඹුල් කාමරංගා වශයෙන් ප්‍රභේද දෙකකින් හඳුන්වනවා. දාර සහිත පලතුරක් වන කාමරංගා අමුවෙන් කොළ පැහැති පලතුරක්. නමුත් ඉදුණු පසු රන්වන් කහ පැහැයක් ගන්නා මේ පලතුර එයටම ආවේණික මිහිරි රසින් යුත් රසායනික සංයෝගයකින් සමන්විතයි.

පුරාණයේ රජවරුන් අතීතයේ විවිධ පලතුරු පානයන් භාවිත කරලා යුද ජයග්‍රහණය ලබන්න කාය ශක්තිය අපේක්ෂා කරලා තිබෙනවා. ඒ අතර රජවරුන් බහුල වශයෙන් භාවිත කළ පලතුරක් තමයි කාමරංගා කියන්නේ. ශරීරය පුෂ්ටිමත් කිරීමටත්, නව ජීවයක් ලබාගැනීමටත් භාවිත කළ හැකි කාමරංගා පලතුර පිළිබඳ අපේ දේශීය ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා.

ඇත්තටම කාමරංගා කියන්නේ නිකම්ම නිකම් සාමාන්‍ය පලතුරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද ශාස්ත්‍රයට අනුව වටිනා ඔෟෂධයක්. රෝග රැසක් සඳහා ගුණදෙන ඔෟෂධයක් වන කාමරංගා දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව පීිත ඵල, රුජාකර, ධාරා ඵල ආදී නම්වලිනුත් හඳුන්වනවා. විශේෂ ගුණ සපිරි කාමරංගා රෝග රැසක් සුව කිරීම සඳහා යෝග්‍ය ඔෟෂධයක් වුණත් සමාජයේ මුල් බැසගත් විවිධ මිථ්‍යා මත පවතිනවා. ඉන් එකක් තමයි කාමරංගා ආහාරයට ගත්තොත් රුධිරය සහිතව මල පිට වෙනවා යන මිථ්‍යා මතය. ඇත්ත වශයෙන් එම මතය වැරැදියි. කාමරංගා කියන්නේ අතුරු ආබාධ නැති හොඳ රසවත් ගුණවත් පලතුරක්. නමුත් එක් දෙයක් මෙහිදී සිතට ගත යුතුයි. දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් කාමරංගා වැඩි වශයෙන් ආහාරයට ගැනීමත්, සීනි සමඟ කාමරංගා ආහාරයට ගැනීමත් උචිත නෑ.

සාමාන්‍ය ජීවිතයේදී අපි ජෑම්, කෝඩියල්, සිරප් වගේම අච්චාරු, සලාද, වෑන්ජන සෑදීමට කාමරංගා ගෙඩි භාවිත කරනවා. නමුත් මෙම ශාකයේ පවතින ඔෟෂධීය ගුණ සහ විවිධ රෝගවලදී කාමරංගා ඔෟෂධය භාවිත කරන ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලැබේවි.

විස නසන කාමරංගා
අතීතයේ මිනිස්සු ශාක, සත්ත්ව, ඛනිජ ආදී ද්‍රව්‍ය මඟින් හෙළ වෙදකම කිරීමේදී ඇතැම් ඔෟෂධ විස තත්ත්වයකට පරිවර්තනය වීමේ අවදානමක් තිබුණා. එවන් අවස්ථාවලදී ශරීරයේ හටගත් එම විස තත්ත්වය මකන්න අතීත වෙදැදුරන් භාවිත කළ ප්‍රධානතම ඔෟෂධයක් තමයි කාමරංගා.

අද සමාජයේ අප ගන්නා වතුර, එළවළු, පලතුරු වැනි දෑවල අඩංගු විස තත්ත්වයන් නිසා උදරය, ආමාශය, වකුගඩු ආශ්‍රිතව විස හටගැනීමේ අවදානමක් පවතිනවා. එවන් විස තත්ත්වයකදී දිනකට ඇඹුල් කාමරංගා ගෙඩියක් බැගින් දිනපතා ආහාරයට ගත්තොත් ශරීරයේ තැන්පත් වී පවතින අහිතකර විස විනාශ වෙනවා.

වැහැරුණු සිරුර පුෂ්ටිමත් කරන්න
ඇතැම් අයට වයස් භේදයකින් තොරව විවිධ ලෙඩ රෝග වැලැඳුණු පසු සති කිහිපයක් එක්තැන් වී සිටීම නිසා ශරීරය දුර්වල වෙන්න පුළුවන්. පුෂ්ටිමත් ශරීරය දිරාපත් වන ස්වභාවයකට පත්වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී කෘශ ශරීරයෙන් නහර ඉල්පී පෙනෙන ස්වභාවයක් මතු වෙනවා. එය හොඳ නෑ. මොකද නහර ගැටගැසීම් ඇති වී රුධිර සම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා ඇති වී තව තවත් රෝගියා දුර්වල වීමට ඉඩ තිබෙනවා. එවන් දුර්වල රෝගීන් ප්‍රාණවත් කිරීමටත්, ශරීරය කෘශ අය මහත් කිරීමටත්, නහර පද්ධතියේ ප්‍රතිප්‍රාණයක් ඇති කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවල නිරත වන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමටත් සුදුසු අතුරුපසක් වගේ ඔෟෂධයක් කාමරංගාවලින් සාදා ගන්න පුළුවන්. එය සාදාගන්නේ මෙහෙමයි. මුලින්ම ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් පෙති කපා හොඳින් වියළා ගන්න. තාරකා පෙති සේ අලංකාර ලෙස වියළාගත් කාමරංගා පෙති, සීනි උණු කර පැණි පදමට සාදාගත් සීනි පැණියකට මිශ්‍ර කර ඒ තුළ සතියක් පමණ පැසීමට ඉඩ හැර වීදුරු බෝතලයකට දමා වසා තබන්න. ඉන්පසු දිනකට දෙවරක් බැගින් දිනපතා මේ ඔෟෂධීය අතුරුපස ආහාරයට ගන්න. එය ඔබට ඉතාමත්ම ගුණදායක ආහාරයක් වේවි. මෙම ඔෟෂධීය අතුරුපස බොහෝ කාලයක් කිසිදු අහිතකර බවකින් තොරව තබා ගන්නත් ඔබට පුළුවන්.

කොන්දෙ අමාරුවට හා හන්දිපත් රුදාවට
අද බහුතරයක් ලංකාවේ ඉන්න කාන්තාවන්ට වැලැඳී පවතින රෝගයක් තමයි කොන්ද අමාරුව. හන්දිපත් වේදනාව. ඒ වගේම ස්නායු ආබාධ නිසා ශරීරය පණනැති වීම්, ශරීරයේ අඩක් හිරිවැටීම් වැනි අවදානම් තත්ත්වයන් පවා හටගත් උදවිය ඉන්නවා. මේවා කාන්තාවන්ටම පමණක් සීමා වුණු රෝග ලක්ෂණ නෙවෙයි. පිරිමි අය අතරත් මේ රෝග නිසා පීඩාවිඳින අය සිටිනවා. එවන් හන්දිපත් වේදනා, කොන්දෙ අමාරු, ස්නායු රෝග සහ ශරීරය හිරිවැටීම් ඇති අය දිනපතා කාමරංගා යුෂ වීදුරුවක් ගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න. පුරා සති දෙකක් පමණ දෛනිකව මෙය කළොත් ඔබේ ශරීරයේ පෙර සඳහන් කළ රෝග තත්ත්වයන් සමනය වේවි.

හෙම්බිරිස්සාවටත් සෙමටත් හොඳයි
ඇතැම් අවස්ථාවල වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් හෝ දේශගුණය වෙනස්වීම හේතුවෙන් සෙම තත්ත්වයත් සමඟ තද සෙම්ප්‍රතිශ්‍යා හටගැනීමේ අවදානමක් පවතිනවා. එවිට උගුර වේදනාව, නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔබට දවස අසහනකාරී ලෙස ගතකරන්නට එමඟින් සිදුවෙනවා. එවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකදී ඇඹුල් කාමරංගා ආහාරයට ගන්නවා නම් ශරීරයේ රැඳී පවතින සෙම විශාල වශයෙන් බැහැර වෙනවා.

අර්ශස් නසන කාමරංගා
රුධිරය වහනය වන අර්ශස් රෝගය නිසා අද බහුතරයක් පිරිස දැඩි පීඩාවකටත් මානසික ව්‍යාධියටත් පත්ව සිටිනවා. ඉදුණු හෝ අමු කාමරංගා ගෙඩියක් අරගෙන සියුම්ව ගලේ අඹරා ඒ මිශ්‍රණය රුධිරය වහනය වන අර්ශස් ගෙඩිවල ආලේප කරන්න. දින කිහිපයක් මේ ප්‍රතිකාරය කළොත් ඔබට අර්ශස් රෝගය නිශ්චිතවම සුව කර ගන්නත් පුළුවන්.

මලකඩ විස නසන කාමරංගා ප්‍රලේහය
අවි ආයුධවලින් රැකීරක්ෂා කරන අයගේ අත් පා කැපීම් තුවාලවලට ලක්වෙනවා. කැපීම් තුවාල සිදුවූ අවස්ථාවේ අයිස් වතුර ස්වල්පයක් දමා රුධිරය පිටවීම වැළැක්වූවාම රෙදි කඩකින් ආවරණය කළාම සියල්ල නිම වෙන්නේ නෑ. මොකද මල බැඳුණු ආයුධවලින් කුඩා තුවාලයක් සිදු වුවත් එය පිටගැස්ම රෝගය දක්වා ඔඩු දුවන්න පුළුවන්. මල බැඳුණු ආයුධකියන් සිදුවුණු එවන් කැපීමකදී මලකඩ විස නැති කර තුවාලය ඉක්මනින් සුව කරන්න ඔෟෂධයක් කාමරංගාවලින් සාදාගන්න පුළුවන්. එහි නම තමයි කාමරංගා ලවණ ප්‍රලේහය. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු කාමරංගා ගෙඩියක් අරගෙන වෙන් නොවෙන්න හරි මැදින් අඩක් දෙකට පලන්න. ඉන් පසු ඒ පැල්මට ලුණු කැට ස්වල්පයක් දමා කෙසෙල් කොළයක කාමරංගා ගෙඩිය ඔතා උණු අළු පල්ලේ එය තම්බා ගන්න. කෙසෙල් කොළය දැවී යන පදනමට තැම්බුණු කාමරංගා ගෙඩිය තෙත් ගතියෙන් මිදී වියළි දර කැබැල්ලක් වැනි පදනම එනවා. ඉන් පසු එය අඹරා හොඳින් කුඩුකර නිවුණු පසු යකඩ ආයුධයෙන් තුවාලය සිදුවුණු ස්ථානයේ ආලේප කරන්න. අඹරා ගත් එම චූර්ණය සුළං නොවදින ඇසුරුමකට දමා තබා දින කිහිපයක් එසේ ආලේප කරන්න. මලකඩ විස විනාශ කොට එමඟින් තුවාලයත් ඉක්මනින් සුව කරගන්න ඔබට පුළුවන්.

මානසික රෝග නසන්නත් කාමරංගාවලට පුළුවන්
කාමරංගා ඔෟෂධය මඟින් පක්ෂාගාත රෝගය සුව කරන්නත් මානසික ආකූලතා දුරු කරන්නත් පුළුවන් බව පර්යේෂණ මට්ටමෙන් තහවුරු කරගත් දෙයක්. ඒ අනුව ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන අඩක් වන පරිදි මැදින් පලා ඒ හිඩැසට ලුණු ස්වල්පය බැගින් දමා අව්වේ වියළා ගන්න. ඉන්පසු අව්වේ අඩක් තම්බා ගත් කාමරංගා අව පැහැ ගැන්වෙන පදමට ආ පසුව එය වීදුරු බෝතලයකට දමා සතියක් පමණ නිසොල්මනේ තබන්න. ඉන්පසු එය ලුණු දෙහි මෙන් රසවත් පදමට ආ පසු බත් හෝ වෙනත් ආහාර සමඟ ඔබට දෛනික අතුරු ආහාරයක් ලෙස එය ආහාරයට ගන්න පුළුවන්. මනස නිරවුල් කිරීමේ විශේෂ ගුණයක් වගේම පක්ෂාගාත වැනි රෝග සුව කිරීමටත් හැකි ඔෟෂධීය රසායනික ගුණයක් කාරමංගා සතුව පවතිනවා. එබැවින් ඉහත සඳහන් කළ රෝග සඳහා මෙන්ම සාමාන්‍ය අය සඳහාත් ඒ ඔෟෂධීය අතුරු ආහාරය සුදුසුයි.

ආහාර රුචිය වැඩි කරන්න
බොහෝ දෙනකුට දිනපතා කාර්යබහුල ජීවිතයේ ආහාර පමා වී ගැනීම නිසා කලක් ගතවන විට බඩගින්න දැනෙන්නෙ නෑ. කෑම අරුචිය නිසා පීඩාවට පත්ව සිටින අයට කෑම රුචිය වැඩි කරන්නත් උෂ්ණ අධික කාලවලදී ශරීර දාහය නිවාලන්නත් සුදුසු ඔෟෂධීය රසවත් පලතුරු පානයක් කාමරංගා වලින් සාදාගන්න පුළුවන්.
ප්‍රථමයෙන් කළ යුත්තේ හොඳින් ඉදුණු කාමරංගා ගෙඩි කිහිපයක් අරගෙන හොඳින් පිරිසුදු කර කුඩා කැබලිවලට කපාගෙන බ්ලෙන්ඩර් කරගෙන එහි යුෂ මිරිකා වීදුරුවකට දමා ගන්න. එයට අවශ්‍ය ප්‍රමාණයට වතුර ස්වල්පයක් මිශ්‍ර කර සීනි ස්වල්පයක් එක් කර (දියවැඩියා රෝගීන්ට සීනි නුසුදුසුය.) ලුණු සහ දෙහි ස්වල්පය බැගින් එයට මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න. ශීතකරණයට දමා හෝ සාමාන්‍ය ලෙස එසේ සාදාගත් ඔෟෂධීය පලතුරු බීම පානය ඔබට රසවිඳිය හැකිය. එමඟින් කෑම රුචිය වැඩිකරනවා සේම ශරීර දාහයද දුරු කර හරියි.

බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන් ඔසු
කාමරංගා ඔෟෂධයද ඇතුළත් විවධ ඔසු වර්ග ඔබට දේශීය ඔෟෂධ ශාලාවලින් ලබා ගන්න පුළුවන්. ඉහත සඳහන් කළ සියලු රෝග සඳහා වුවත් එකී ඔෟෂධ නියමිත මාත්‍රාවට ඔබට ලබාගන්න පුළුවන්. ඒ අතර වාත රාක්ෂ්‍ය තෛල, සත්තවාදී තෛල ර්ණීර්ථීච් මට්ටමෙන් තිබෙන කාරමංගා ඔසු සම්පාදිත ඔෟෂධ අතරින් කිහිපයක්.
නාසය බරවීම, සොටු දියර ගැලීම නිසා ඔබේ කායික සුවයට මෙන්ම මානසික සුවයටත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

මූලාශ්‍ර_ රාජගිරිය දේශීය වෛද්‍යයාතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support