දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, July 13, 2015

පත්පාඩගම් [Pthpadagam] (Oldenlandia corymbosa)

ඉන්දියානු ආයුර්වේදයේ එන "පර්පටක" සඳහා මෙරටදී භාවිතා කරන ප්‍රමුඛ ශාක දෙකෙන් එකක් වන්නේ පත්පාඩගම්ය. දේශීය ශාකයක් වන මෙය වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල පත්පාඩගම් යනුවෙන් හඳුන්වා තිබුන ද මෙරට උද්භිද විද්‍යා මූලාශ්‍රවල හඳුන්වා ඇත්තේ "වල් පත්පාඩගම්" නිමිනි. පැපිළිය යනුවෙන්ද හඳුන්වන පත්පාඩගම් පොළවට සමාන්තරව වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. බිම දිගේ සෙ.මි. 50 පමණ දුරට වර්ධනය වන මෙහි සම්මුඛව පිහිටන සරල පත්‍රයක් සෙ.මි. 3 ක් පමණ දිගුය. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් සුදු පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. පත්පාඩගම් Rubiaceae කුලයට අයත් ශාකයකි. 

පර්පටක ලෙස මෙම ශාකයට අමතරව උද්භිද විද්‍යා මූලාශ්‍රවල පත්පාඩගම් යනුවෙන් හඳුන්වන Mollugo cerviana නම් දේශීය ශාකය ද මෙරටදී භාවිතා කරයි. එමෙන්ම සුළුනයි (Rungia repens) මයාණි (Justicia procumbens) Polycarpaea corymbosa නම් දේශීය ශාකය සහ Hedyotis corymbosa නම් මෙරට වැවෙන ශාකයක් ද පර්පටක වෙනුවට භාවිතා කිරීමට සුදුසු බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන් කර ඇත. 

සෙංගමාලය, රක්තපිත්ත, වාතරක්ත, කුෂ්ඨ ආදී චර්ම රෝග, උණ, මානසික අවපීඩනය, මුත්‍ර අඩස්සිය, කරකැවිල්ල, සිහිමඳ වීම ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී දේශීය සහ ඉන්දියානු වෙදකමේදී මෙම සම්පුර්ණ ශාකයම භාවිතා කරයි. එමෙන්ම වෙනත් රටවල වෛද්‍යක්‍රමවල වෛරස් ආසාදන, පිළිකා, තුවාල, කුරුලෑ, ගෙඩි, ඇපෙන්ඩිසයිටිස්, ස්වාසනාළිකා ප්‍රදාහය, බඩවැල් ආශ්‍රිත රෝග, සෙංගමාලය අතුළු අක්මා රෝග, අක්ෂි ආබාධ, රුධිර වහනය, දත් කැක්කුම ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගන්නා බව ද සඳහන් වේ. පත්පාඩගම් උණ සමනය කරන, මුත්‍රකාරක, කුසගිනි වඩවන, විෂබීජ නසන, රුධිර වහනය වලක්වන ගුණ සහිතයි. වාර්ෂික පැළෑටියක් හෙයින් ශාකයම ගලවා වියළා සංරක්ෂණය කර තබා භාවිතයට ගත යුතුය.

පත්පාඩගම් කෂාය පිත නිසා හට ගන්නා උණට බෙහෙවින් ගුණදායකය. එය උදරාබාධ සඳහා ද ප්‍රතිකාරයකි. පත්පාඩගම් ඒකීය ඖෂධයක් ලෙස ස්වරස, කල්ක, ක්වාත, ශීතකෂාය, චූර්ණ හා තරලසාර ලෙස නොයෙක් රෝගයන්හි භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
විශේෂ ස්තුතිය_ ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය සචින් ජයනෙත්ති මහත්මාට
Share:

Thursday, July 9, 2015

රතු කිඹුල්වැන්න [Ratu Kibulwenna] (Persicaria barbata)

මෙම Persicaria barbata ශාකය හරුණු විට රතු කිඹුල්වැන්න නමින් හඳුන්වන තවත් ශාක ඇත. මෙය සුදු කිඹුල්වැන්න ශාකයට යම් තරමකින් සමානකමක් පෙන්වයි. බොහෝ විට තෙතමනය සහිත පරිසරයක පොළවට සමාන්තරව වැවෙන වාර්ෂික පැළෑටියකි. කුඹුරු ආශ්‍රිතව බහුලව හමුවේ. මෙහි කඳ රතු / දුඹුරු පැහැයක් ගන්නා අතර කොළවල පැහැදිළි මධ්‍ය නාරටියක් දැතගත හැකිය. පුෂ්පමංජරියක හට ගන්නා මල් රතු සුදු පැහැයෙන් යුක්ත ය. බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය සිදුවේ. රතු කිඹුල්වැන්න Polygonaceae කුලයට අයත් ශාකයකි.

වණ, තුවාල, මුත්‍රා අඩස්සිය, රක්තවාතය, අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ කොළ, මුල්, ඇට ආදිය භාවිතා කරන බව සඳහන්. විරේචක, වමනකාරක, විෂබීජ නාශක ආදී ගුණ සහිතයි.

සේයාරුව_  අන්තර්ජාලයෙන්







Share:

Monday, July 6, 2015

හීං තඹල [Heen Tabala] (Ehretia microphylla)

හීං තඹල මීටර් දෙකක් පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහුවාර්ෂික ශාකයකි. බෙදීගිය කුඩා කෙටි අතු රාශියකින් සමන්විත ශාකයේ රළු බුවකින් යුක්ත දිළිසෙන සුළු කුඩා පත්‍ර රැසක් හටගනී. සරල පත්‍ර ගොණු වශයෙන් පිහිටා තිබේ. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාර සිට අායත-ප්‍රත්‍යණ්ඩාකාර වේ. පත්‍රයක් සෙ.මි. 3-6 පමණ දිගු ය. පත්‍ර දාරය දැති සහිත හෝ බෙදුණු ස්වරූපයකි. කක්ෂීය පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් සුදු පැහැතිය. අෂ්ටිලයක් වන ඵලය කොළ පැහැයෙන් යුක්ත වන අතර ඉඳුණු පසු තැඹිලි, රෝස රතු පැහැයන්ට හැරේ. එක් ඵලයක් තුල බීජ 4 පමණ පිහිටයි. හීංතඹල Boraginaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

උදරාබාධ, අස්වාභාවික ආන්ත්‍රික චලන, පාචනය, අතීසාරය, කැස්ස, උණ, දියවැඩියාව, පිලිස්සුම් තුවාල, සමේ රෝග, ලිංගික රෝග, අස්ථි භග්න, උපදංශය, පොළොන් විෂ, දරු ප්‍රසූතියෙන් පසු මවගේ සිරුර පිරිසිදු කිරීම ආදියට මෙම ශාකයේ කොළ, මුල්, පොතු භාවිතා කරයි. හීං තඹල ප්‍රතිඔක්සිකාරක, විෂබීජ නාශක, වේදනා නශක, උණ නසන ගුණ සහිත බව සඳහන්. 

පිළිස්සුම් තුවාල සේදීම සඳහා මෙම කොළ තැම්බූ ජලය යොදා ගනී. එය කඩුවේගන්, පණු හොරි වැනි සමේ රෝග සඳහා ද ප්‍රතිඵලදායක ප්‍රතිකාරයකි. හීං තඹල ශාකයේ කොළවල සහ මුල්වළ සාරය බහු මුත්‍ර රෝගය (දියවැඩියාව) ට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් වේ. දියවැඩියාව සඳහා මුල් හෝ කොළ කෂාය යෙදිය හැකිය.  හීංතඹල චූර්ණය කාන්තාවන්ගේ අක්‍රමවත් ඔසප් චක්‍රයට සහ වඳ භාවයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි. එයින් සුළු මාත්‍රාවක් කුඩා දරුවන්ගේ උදරාබාධ සඳහා යොදා ගත හැකි බව සඳහන්. මහ මාත්තු පහ ආදී දේශීය ගුලි වර්ග ඇඹරීම පිණිස අනුපාන වශයෙන් ද, ගුලි අනුපාන වශයෙන් ද භාවිතා කරයි. මුල් ක්වාතය එළවලු වර්ග විෂ වීම්වලදී ප්‍රතිකාර සඳහා යොදා ගනී. එය දන්ත රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස කට සේදීමට භාවිතා කළ හැකි ය. කොළ කෂාය උදර වේදනා, අතීසාරය, කැස්ස ආදියට යොදා ගනී. එය දරු ප්‍රසූතියෙන් පසු මවගේ සිරුරේ විෂබීජ නැසීමට ද යොදා ගනී. පිලිපීන රජය මෙම ශාකය පිලිබඳ පූර්ණ පරීක්ෂාවකින් පසු සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල ගෘහ භාවිතාවන්ට සුදුසු  ඔසුවක් ලෙස නිර්දේශ කර ඇත. තේවලට ආදේශකයක් ලෙස මෙම කොළ යොදා ගත හැකි අතර ඉදුනු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකි ය. 

මූලාශ්‍ර_ වෛද්‍ය ශබ්ද කෝෂය, ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Wednesday, July 1, 2015

හීංබෝවිටියා [Heen Bovitiya] ( octandra)

හීංබෝවිටියා බොහෝ සේ අතු බෙදී පඳුරක් ලෙස වර්ධනය වන අප රටට ආවේනික කුඩා බහුවාර්ෂික ශාකයකි. අතු ශක්තිමත් බවින් අඩු අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති පහකින් යුක්ත ලා දම්පැහැති මල අලංකාරවත්ය. කුඩා ගෙඩි තුල හට ගන්නා බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය සිදුවේ. දම් පැහැති ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. මෙහි කොළ සහ ළපටි දඬු ආහාරයට ගනී.  හීං බෝවිටියා Melastomataceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

දියවැඩියාව, අර්ශස්, සෙංගමාලය, අක්මාවේ රෝග, රුධිරයේ අධික මේදය පැවතීම යන රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ, පොතු, මුල් ආදිය යොදාගනී. රුධිරයේ මේදය අධික පුද්ගලයින්ට සහ සෙංගමාල රොගීන්ට හීං බෝවිටියා කැඳ බොහෝ සේ ගුණදායකය. එමෙන්ම  සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක්‌ ලෙස ආහාරයට ගැනීමද නිර්දේශ කෙරේ. බඩේ රිදීමකින් තොරව කීප වරක්‌ බඩඑලියේ යන විට හීන් බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය සුව වෙයි. තරමක මේරූ පත්‍ර කොටා පොල්, කැකුළු හාල් සමඟ කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමඟ බීමෙන් ශරීරයේ අධික උෂ්ණය නැති වී යන බව සඳහන්. හීං බෝවිටියා පිළිකාවන්ට ප්‍රතිවිරෝධීතාවයක් දක්වයි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර වීෂබීජ වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහල නංවන බව ද සඳහන්. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්   


Share:

Sunday, June 28, 2015

සුදු කිඹුල්වැන්න [Sudu Kibulwenna] (Persicaria attenuata)

මෙය බොහෝ විට තෙතමනය සහිත පරිසරයක පොළවට සමාන්තරව වැවෙන පැළෑටියකි. කුඹුරු ආශ්‍රිතව බහුලව හමුවේ. මෙහි දිගැටි පත්‍රයක් සෙ.මි. 20 දක්වා දිගට වර්ධනය වේ. බෙදී ගිය ශාඛාවන්ගේ අග්‍රස්ථයන්ගෙන් සුදු පැහැති මල් සහිත පුෂ්පමංජරියක් හට ගනී. එයින් ඇතිවන ඉතා කුඩා ඵලයන් තුල ඇති බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය සිදුවේ. මෙහි ළපටි දළු පළාවක් ලෙස ආහාරයට ගත හැකිය. සුදු කිඹුල්වැන්න Polygonaceae කුලයට අයත් ශාකයකි. 

අමාශයික රෝග, සිපිලීස් නැමැති සමාජ රෝගය, පිලිස්සුම් තුවාල, උණ, අතීසාරය ආදී රෝග සඳහා මෙහි කොළ භාවිතා කරන බව සඳහන් වේ. රුධිරය පිරිසිදු කරන සහ විෂබීජ නාශක ගුණ සහිතයි. 
Share:

Thursday, June 25, 2015

සාරණ / පිටසුදු සාරණ [Sarana] (Boerhavia diffusa)


මෙය පොළවට සමාන්තරව වැවෙන වාර්ෂික වැල් ශාකයකි. පැතුරුණු මූල පද්ධතියක් සහිතව බෙහෝ සේ අතුබෙදෙමින් වර්ධනය වේ. ඔවලාකාර හෝ මඳක් වටකුරු සරල සම්මුඛ පත්‍ර පිහිටා ඇත. පුෂ්ප ද්වීලිංගිකය. මල් දීප්තිමත් දම් පැහැයට හුරු රෝස පැහැයකින් යුක්තය. වසර පුරාම මල් හටගනී. ඵලය සෙ.මි. 0.3 පමණ වන අතර පටලමය වේ. මෙම පැළෑටිය ඖෂධයකට වඩා ආහාරයක් ලෙස ප්‍රකටය. සුදු හා රතු යනුවෙන් ප්‍රභේද දෙකකි. සාරණ Nyctaginaceae කුලයට අයත්ය.

මුත්‍ර අඩස්සිය, මුත්‍රා ගල්, උණ, ඉදිමුම්, අක්ෂි රෝග, කුෂ්ට, නින්ද නොයාම, මී විෂ, ගෝනුසු විෂ, සෙංගමාලය, උදරාබාධ, පාණ්ඩුව, අක්මා‍වේ රෝග, අර්ශස්, අතීසාරය, පණු රෝග, ලාඳුරු ආදී රෝගාබාධ බොහෝමයක් සදහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් සාරණ මුල් හා ඇතැම්ව්ට සම්පූර්ණ ශාකයමත් ඔසු සෑදීම සඳහා භාවිතා කරයි. සාරණ විෂ නාශක, සෙම් නාශක, වේදනා නාශක, කුසගිනි වඩවන, මුත්‍රකාරක, විරේචක, ලේ වඩවන, වාජීකරණ ආදී ගුණයන්ගෙන් සමන්විතයි.


Share:

Monday, June 22, 2015

බිංතල් [Bintal] (Curculigo orchioides)

බිංතල් භුගත කඳක් (අලයක් / ආකන්දයක්) සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. මාංසල වූ පාර්ශවික මුල් දරන කෙටි හෝ දික් වූ අලටියක් දරයි. නිර්වෘන්ත හෝ කෙටි වෘන්තයක් සහිත සරල පත්‍ර පිහිටා ඇත. පත්‍ර රේඛීය හෝ රේඛීය-ලන්සාකාරය. මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්තයි. ඵලය ස්ඵෝටිකාවකි. එක් ඵලයක් තුල බීජ හතරක් පිහිටා ඇත. ඉන්දියානු උප මහද්වීපය පුරා ව්‍යාප්තව ඇති බිංතල් ශාකය Hydrocharitaceae නම් උද්භිද කුලයට අයත්ය. 

මුෂලි යනුවෙන්ද හඳුන්වන බිංතල් ප්‍රබල වාජීකරණ ගුණයෙන් යුක්ත ඖෂධයක් හා ශක්තිජනක ආහාරයක් බව මෙරට ජනයා බොහෝ කලක සිට හඳුනාගෙන සිට ඇත. මුත්‍ර පද්ධතියේ රෝග, අක්ෂි රෝග, ලිංගික දුබලතාවය, වාත රෝග, පාණ්ඩුව, අජීර්ණය, චර්ම රෝග, ක්ෂය රෝගය, සෙංගමාලය, වමනය, අර්ශස් ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී බිංතල් අල සහ මුල් යොදා ගනී. බිංතල් වේදනා නාශක, මුත්‍රකාරක, උෂ්ණ පහකරන, කාමෝද්දීපක, රුධිරය පිරිසිදුකරන, ධාතු වඩවන ආදී ගුණයන්ගෙන් සමන්විතයි. 

ආක්ෂේප හෙවත් වලිප්පුව, හෘද වේදනා, මූලරෝග, කිලාස (සම තුලින් මතුවන ගෙඩි), ප්‍රමේහ, වණ ආදියට බිංතල් අල චූර්ණය සීනි සමඟ කෑමට දෙයි. බිංතල් අල චූර්ණය කෑමට ගැනීමෙන් අනතුරු කිරි පානය කිරීමෙන් ධාතු වර්ධනය වේ. අස්ථි ක්ෂය වීම, කලක් පවතින වාත රෝග, ප්‍රමේහ, ලිංගික දුබලතාවය ආදී රෝග සඳහා බිංතල් අල චූර්ණය, රසකිඳ පිටි, හාතාවාරිය අල පිටි සමව ගෙන සීනි මිශ්‍රකොට එළකිරි හෝ ගිතෙල් සමඟ දිය යුතුය. මුහුණේ පෙනුම වැඩි කර ගැනීම සඳහා බිංතල් අල එළු කිරෙන් අඹරා ගෑම පැරණි ගැමි ලියන් මෙන්ම පුරුෂයන්ද සිදුකර ඇති බව ජවප්‍රවාදවල සඳහන්ව ඇත. පැරැන්නන් විසින් බිංතල් අල දූන්තෙලින් අඹරා දින 7 ක් වී ගොඩක් යට තබා රැගෙන කන්පෙත්තේ ගෑවේ කන්පෙති වණ වූ විටය. කන් ඇසීම අඩුකමට සන්නියානම් සමඟ බිංතල් අල අඹරා බීමට දී ඇත. පෙර කල ප්‍රජනන පද්ධතියේ දුර්වලතා සඳහාත් මුත්‍ර මාර්ගය සම්බන්ධ රෝගාබාධ සඳහාත් බිංතල් විශේෂයෙන් භාවිතා කර ඇත. 

පැරණි නිගණ්ඩුවල සුදු බිංතල් සහ කළු බිංතල් යනුවෙන් ප්‍රභේද දෙකක් ගැන සඳහන්ව ඇත. මීට අමතරව හීං බිංතල් හා මහ බිංතල් යනුවෙන්ද වර්ගීකරණයකි. කළු බිංතල් Curculigo විශේෂයක් නොව හාතාවාරිය අයත්වන Asparagus ගණයට අයත් Asparagus adscendens නම් ශාකයක් බව හඳුනාගෙන ඇත. එය මුත්‍ර මාර්ගය ආශ්‍රිත රෝග සඳහා විශේෂයෙන් ගුණදායක බව සඳහන් වේ.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

Friday, June 19, 2015

හීං නිදිකුම්බා [Heen Nidikumba] (Biophytum reinwardtii)


පෙර කල දඩින්නරු යන නාමයෙන් හඳුන්වා ඇති  හීං නිදිකුම්මා සෙ.මි. 15 ට වඩා උසට නොවැඩෙන, කෙටි සෘජු රත්පැහැ කඳක් සහිත වාර්ෂික පැළෑටියකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර කඳ අග්‍රයේ ගොනුවී කිරීටයක් මෙන් විහිදී ඇත. පත්‍ර ඉක්මවා ඉහලට වැඩෙන ප්‍ුෂ්ප මංජරියක හට ගන්නා ද්වීලිංගික පුෂ්ප කහ පැහැතිය. ඵලය ඉතා කුඩා වටකුරු ඔවලාකාර ස්ඵෝටිකාවකි. මෙම ශාකය සඳහා සුලභව ව්‍යවහාර කළ තවත් නමක් වන්නේ "ගස් නිදිකුම්බා" යන්නයි. එහෙත් වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාට අනුව ගස් නිදිකුම්බා යනු මෙම උද්භිද ගණයටම අයත් වෙනත් ශාක විශේෂයකි. එහි විශේෂත්වය වන්නේ අතු බෙදී පැවතීමයි. මෙම ශාකය ද අතුළුව මේ හා සමාන ලක්ෂණ සහිත මෙම උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 5 ක් ලංකාවෙන් වාර්තා වී ඇත. Biophytum විශේෂ Oxalidaceae උද්භිද කුලයට අයත්ය. 

උදරාබාධ, අතීසාර, අර්ශස්, ග්‍රහණි, දියවැඩියාව, ඇඳුම,පීනස, මෟත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග, සැරව ගෙඩි, තුවාල, නාග විෂ, සමේ රෝග, මුත්‍ර ගල්, නින්ද නොයාම, ගොනෝරියාව, පුයාමේහ, ආදී රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධීය පැළෑටිය භාවිතා කරන බව සඳහන්. හීං නිදිකුම්බා කඵ සමනය කරන, ආමපාචක, ශ්ලේෂ්මලහර, වෙදනා නසන, වණ ශෝධනය කරන, වාතය නසන ගුණ සහිතයි. 

පීනසට මෙම ශාකය කැපූ විට ගලන ස්‍රාවය නස්‍ය කරයි. හීංනිදිකුම්බා ශාකය සහමුලින් ගෙන තැම්බූ වතුරින් සේදීමෙන් කුෂ්ඨ, කරප්පන් ආදී සමේ රෝග සුව වෙයි. සම්පූර්ණ ශාකය වියළා කෂාය කර බීම අධික රුධිර පීඩනයට ප්‍රතිකාරයකි. මෙම ශාක කොටස් යෙදූ කෂාය ළදරු අතීසාරයට බොහෝසේ ගුණදායක බව කියැවේ. ලේ අතීසාරයට සහ මුත්‍ර පිටකිරීම පහසුකිරීමට ද හීං නිදිකුම්බා යොදා ගනී. හීං නිදිකුම්බා දළු රසවත් ගුණවත් ව්‍යංජනයක් ලෙස පිසගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත්
පහල සේයාරුව_ වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාගෙන් 
ගස් නිදිකුම්බා 
Share:

Wednesday, June 17, 2015

කටුපිල [Katupila] (Flueggea leucopyrus)

කටුපිල මීටර් 4 දක්වා ඉහලට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කටු සහිත කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ සුදු පැහැතිය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්‍ර ඔවලාකාර හැඬයක් ගනී. මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගසේ කක්ෂවල මල් කලඹ සේ හට ගනී. මි.මි 3 ක පමණ විශ්කම්භයක් සහිත කුඩා ගෙඩි කොළ පැහැති වන අතර ගෙඩි ඉඳුන විට සුදු පැහැයක් ගනී. කටුපිල ශාකය Euphorbiaceae කුලයට අයත් ය.

කටුපිල බඩවැලේ සෑදෙන රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. පිළිකා සඳහා කටුපිල කොළවලින් සාදා ගන්නා කැඳ ගුණදායකය. ස්ත්‍රින්ගේ ගර්භාෂයේ හටගන්නා ගෙඩි දියකර හැරීමේ ශක්තියක් කටුපිලවල ඇති බව සඳහන් වේ. එමෙන්ම දත්කැක්කුම, යටිපතුලේ හට ගන්නා කටුපිළිකා, කුඩා දරුවන්ගේ රතගාය, පිලීහාවේ සහ අක්මාවේ හට ගන්නා රෝග, මී විෂ, සර්ප විෂ, කැස්ස, ඇදුම, අණ්ඩ වෘද්ධිය, රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කටුපිල යොදා ගනී. කටුපිල ශාකයේ කොළ, පොතු, මුල් සහ පංචාගයම එකවරත් ඔසු සඳහා භාවිතා කරයි. 

කටුපිල කොළ, ගස් කරල්හැබ කොළ එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ නිමෙන්නට හැර මී පැණි අනුපාන වශයෙන් යොදා උදේට පානය කිරීම බඩවැලේ සෑදෙන ගෙඩි, වණ, තුවාල, ලප සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. කටුපිල කොළ මෙන් අඩක් කංසා කොළ ගෙන චූර්ණය කර හෝ මී කිරි සමග මුල් චූර්ණය දීම රක්ත අර්ශස් රෝගයට ප්‍රතිකාරයකි. යටිපතුලේ් හට ගන්නා පිළිකාවන්ට කටුපිල ගසේ පංචාංගය කහ සහ ලුණු සමග කොට මලවා බැඳීම සිදු කරයි. කටුපිල කොළ පොතු, දිවුල් ලාටු, කුකුරුමාන් කොළ පොතු සහ ලණු දමා කොටා බැඳීමෙන් කටුපිලිකය සුව වෙයි. කටුපිල විශබීජ නාශක සහ රුධිරය පිරිසිදු කරන ගුණයන්ගෙන් යුක්තයි.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය 




Share:

Friday, June 12, 2015

දත්කැටිය [Dathketiya] (Ophiorrhiza mungos)


තෙත් කලාපයේ සුලභව හමුවන දත්කැටිය ශාකය සෙ.මි. 30 පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා පැළෑටියකි. සෘජු සිලින්ඩරාකාර කඳ කොළ පැහැතිය. අඳුරු කොළ පැහැති සරල පත්‍ර සම්මුඛව පිහිටයි. සෙ.මි. 8-15 පමණ වන පත්‍ර ලංසාකාර හැඩැති ය. පත්‍ර තලයේ යටිපස ළා කොළ පැහැති ය. තිරස්ව විහිදෙන බහු අක්ෂ මත අග්‍රස්ථයෙන් පුෂ්ප මංජරියක් හට ගනී. කුඩා ද්වීලිංගික පුෂ්ප සුදු පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. ඒ තුල ළා දුඹුරු පැහැති බීජ රාශියකි. මුගටියකු සහ නාගයකු අතර ඇතිවන සටනකදී නාගයා පැරදුණු පසු, මුගටියා තම ශරීරයට ඇතුල්වූ නාග විෂ මර්ධනය කර ගැනීම සඳහා දත්කෑටිය ගස් සොයමින් ඒවායෙහි මුල් සපමින් යන බව ජනප්‍රවාදවල සඳහන් වේ. දත්කැටිය Rubiaceae උද්භිද කුලයට අයත් ශාකයකි.  

සර්ප දෂ්ට කිරීම්, පාචනය, පිස්සු බලු විෂ, අතීසාර, කුසගිනි මදිකම, ගෙඩි, වණ, පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල්, පොතු සහ එකවර සම්පුර්ණ පැළෑටියමත් භාවිතා කරයි. සියළු සර්ප විෂ සඳහා ශාකය සහමුලින් ගෙන කොටා යුෂ ගෙන හීනටි හාලෙන් කැඳ පිස එළඟිතෙල් දමා බොන්නට දෙයි. මෙහි මුලෙහි පිළිකා මර්ධනය කළ හැකි රසායනික සංඝටක අඩංගු බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇති බව සඳහන්. ජීවරත්ත මහ අඳුන, බ්‍රහ්ම ලෝක තෛලය අත්කැටිය යොදා නිපදවන ඖෂධයන් ය. දත්කැටිය පණුවන් නසන, කුසගිනි වඩවන, මෘදු විරේචක, බලකාරක, පිත්ත නිස්සාරක ගුණ සහිතයි.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support