වඳුරු මෑ ප්‍රබල වාජීකරණ ගුණ සහිත ඖෂධයක් ලෙස සැලකේ. ලිංගික දුබලතා, වේදනාකාරී ආර්ථවය, වාත රෝග, පණු රෝග, වකුගඩු රෝග, උදරාබාධ, ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ ඇට, මුල්, මල්, බූව ආදිය භාවිතා කරයි. වඳුරු මෑ සිරුර පෘෂ්ඨිමත් කර ශරීර ශක්තිය වර්ධනය කරයි. වාජිකරණ, මුත්‍රකාරක, ආර්ථවය ජනනය කරන, පණුවන් නසන ආදී ගුණයන් සහිතයි. වානරී ගුටිකා, මාෂබලාදී ක්වාතය, මහා මාෂ තෛලය, වානරී සෘතය, අගස්ති අවලේහය ආදී ඖෂධවල වඳුරු මෑ අඩංගුය.
වාජීකරණය සඳහා වඳුරු මෑ ඇට චූර්ණය, උඳු, සුදුලූණු සමව ගෙන ගිතෙල් මිශ්‍රකර කෑමට ගත යුතුය. ශරීර ශක්තිය වර්ධනය කිරීමට එළ කිරිනේ තම්බා ශුද්ධකරගත් ඇට දූන්තෙලින් බැද මී පැණි සමඟ කෑමට ගනී. වටපණු සහ කිරිපණු රෝග වලදී වඳුරු මෑ බූව මි.ග්රෑ. 125 ක් සීනි, මී පැණි හෝ බටර් සමඟ පලමු දින කෑමට ගෙන පසු දින විරේචනයක් කළ යුතුය. එවිට පණුවන් පහව යයි. ලපටි කරල්වල ඇට ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. ප්‍රථමයෙන් මෙම ඇට උණුදියේ දමා (තම්බා) දිය හැර ගත යුතුය. එසේ නොවුන හොත් මත්වන ස්වභාවයක් ඇති වී වමනය යෑමට ඉඩ තිබේ. ගැමියන් ශරීර ශක්තියට සහ ලිංගික හැකියාවන් වර්ධනය කර ගැනීමට වඳුරු මෑ ඇට එළ කිරෙන් තම්බා පොතු හැර වියළා පිටි කර ගිතෙල් මිශ්‍ර කර රොටී සාදා ගෙන මී පැණි සමඟ කෑමට ගනී. වියළි වඳුරු මෑ ඇට ඖෂධ සඳහාත්, විෂ ඉවත්කළ ඇටවලින් ලබා ගන්නා පිටි ආහාරයක් ලෙසත් භාවිතා කරයි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය