එක්තරා ගමකට වින කරන ලද යක්ෂයකුගෙන් එම ගම්වැසියන් බේරා ගැනීම සඳහා මෙම ගස් සහිත කැළෑ ප්‍රදේශයකදී පූජා පැවැත්වූ බවත්, ටික දිනකට පසු යකා මියගොස් සිටි අතර පසු කලෙක එම ප්‍රදේශය යකා නැසූ ගස් සහිත ප්‍රදේශය නමින් හැදින්වූ බවත්, යකාවැනසූ යන අර්ථයෙන් එම ගස් යකවනස්ස නමින් හැඳින්වූ බවත් ජනප්‍රවාදයෙහි සඳහන් වේ. යකුහනස්ස, රුචිරෝම යන නම්වලින්ද හඳුන්වන යකවනස්ස සෘජු කඳක් සහිතව වර්ධනය වන දේශීය වාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම බූවක් දක්නට ලැබේ. ඩෙල්ටාකාර හැඩයෙන් යුක්ත පත්‍රවලින් සැර සුවඳක් වහනය වෙයි. පුෂ්ප මංජරියක හට ගන්නා මල් දම් හෝ සුදු පැහැතිය. යකවනස්ස Lamiaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
අජීර්ණය, උණ, බඩවැලෙහි ඇති වන රෝග, කුසගිනි මදිකම, සන්ධි වාතය, වකුගඩු ගල් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, ඇට සහ සම්පූර්ණ ශාකයමත් භාවිතා කරයි. බුද්ධරාජ කල්කය සහ සර්වවිෂාදී තෛලය යකවනස්ස යොදා නිපදවන ඖෂධයන් ය. මීට අමතරව යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදී ගුරුකම් වැඩ සඳහා ද, ගවයින්ට වැලඳෙන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා ද යකවනස්ස යොදා ගනී. මෙම පැළෑටිය පිළිස්සීමෙිදී ඇති වන දුම් මඳුරුවන් පලවා හැරීමට උපයෝගී කර ගත හැකිය.
අජීර්ණ, උණ, බඩවැලේ වේදනාවන් සහ බඩවැලේ වාතය එකතු වීම ආදියට යකවනස්ස පත්‍ර ස්වරසය, ක්වාතය, පත්‍රවලින් සකසාගත් ඵාණ්ඨ කෂාය දීම (මාත්‍රාව ග්‍රෑම් 15-30) ප්‍රතිකාරයකි. එයටම යකවනස්ස බීජ චූර්ණය දිය හැකිය. චීන ජතිකයින් මෙම ශාක කොටස් සෙම්ප්‍රතිශ්‍යාව, උදර වේදනාව, සමේ හට ගන්නා තුවාල, සර්ප දෂ්ට, අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බව සඳහන්.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment