දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Friday, August 21, 2015

ඇහැළ [Ehela] (Cassia fistula)


ඇහැළ මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන අළු පැහැති පොත්තක් සහිත බහුවාර්ෂික ශාකයකි. වියළි කලාපයේ බහුලව හමු වෙයි. තද කොළ පැහැති පක්ෂවත් සංයුක්ත පත්‍ර පිහිටා ඇත. පහලට එල්ලා වැටෙන දිග කිනිත්තක් ලෙස සැකසුණු අලංකාර පුෂ්ප මංජරියක දීප්තිමත් කහ පැහති මල් හට ගනී. ගස පුරාම මල් හටගන්නා බැවින් මල් පිපෙන සමයේ සම්පූර්ණ ගසම කහ පැහැයකින් යුක්තව අතිශය චමත්කාර ජනකව දර්ශන වේ. ඵලය කරලකි. වියළුණු බීජ කළු පැහැතිය.  ඇහැළ ශාකය උද්‍යාන හා නගර අලංකාරකිරීමට ද බහුලව යොදා ගනී. බීජ මගින් ව්‍යාප්තිය සිදු වේ. ඇහැල Fabaceae කුලයට අයත් ශාකයකි.

ස්නායු රෝග, චර්ම රෝග, වණ, කැස්ස, ස්වසන රෝග, උණ, මලබද්ධය, හෘද රෝග, ආහාර නොදිරවීම, වාතරක්තය ඇතුළු වාත රෝග, කහ උණ හෙවත් සෙංමාලය, මුත්‍ර අඩස්සිය ඇතුළු මුත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග, සර්ප දෂ්ටන, මුඛ රෝග ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට අහැල ශාක කොටස් භාවිතා කරයි. මෙම ශාකයේ කොළ, දළු, පොතු, මල්, ඇට, මුල්, මුලේ පොත්ත ආදී සෑම කොටසක්ම පාහේ ඔසු පිණිස ගනී. පැසුණු ඇහැල කරල් භාවිත කොට සිඳගනු ලබන ඇහැල පැණිය කුඩා දරුවන්ගේ විරේචනය සඳහා භාවිතා කළ හැති මහඟු ඖෂධයකි. ඇහැළ රුධිරය පිරිසිදු කරන, මුත්‍ර කාරක, කුෂ්ඨ නාශක, විරේචක ආදී ගුණයන් සහිතයි.

කැසීම හා දැවිල්ල ඇති කුෂ්ඨවලට ඇහැල කොළ පොතු සමව ගෙන අමුකහ සමඟ මදක් තලා කහට එනතුරු තම්බා පෙරා සේදීම ද, කැසීම අධික අවස්ථාවක නම් ඇහැල දළු දෙහි ඇඹුලින් අඹරා ගෑම, දැවිල්ල අධික අවස්ථාවක නම් ඇහැළ දළු එළගිතෙලින් අඹරා ගෑම ද සිදු කරයි. ඇහැළ කොළ අබ තෙලින් බැද රෑ බත් සමඟ කෑම අහාර නොදිරවීමට ප්‍රතිකාරයකි.    

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති

Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support