දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, August 31, 2015

කැහිපිත්තන් [Kehipittan] (Cyclea peltata)


කැසිපිස්සන් යනුවෙන්ද හඳුන්වන කැහිපිත්තන් පොළවට සමාන්තරව වැවෙන දේශීය වැල් ශාකයකි. ඇතැම් විට කුඩා පැළෑටි සහ පඳුරු මත වර්ධනය වේ. මෙම වැලට පාතාල ගරුඬී නම් පරයායයක් යෙදී ඇත්තේ පොළවෙහි ගැඹුරට ගමන් කරන මුල් පිහිටා ඇති හෙයිනි. මඳක් ත්‍රිකොණාකාර හැඩයෙන් යුත් පත්‍රයක් සෙ..මි. 16 දක්වා දිගට වර්ධනය වේ. පත්‍රවල යටි පෘෂ්ටය මත සියුම් බූවක් දක්නට ලැබේ. බූව වැඩිපුර ඇති ප්‍රභේදයක්ද හමු වෙයි. උඩු පෘෂ්ටය දිළිසෙන සුලු වන අතර සිනිඳු ය. එ්කාක්ෂ පුෂ්ප මංරියක හට ගන්නා කහ පැහැති මල් පොකුරු වශයෙන් දක්නට ලැබේ. කොළ පැහැති ගෙඩි ඉදුණු පසු සුදු පැහැතිය. කැහිපිත්තන් Menispermaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

සර්ප විෂ, තුවාල, දැවිල්ල, ඉදිමුම්, උණ, චර්ම රෝග, හිසරදය, පාචනය, ආහාර අරුචිය, පණු රෝග, ඔසප් දෝෂ, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ආසාදන, මුත්‍ර දැවිල්ල, පූයමේහය (මුත්‍ර සමඟ සැරව පිටවිම), කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පිත් රෝග, සෙංගමාලය, ලේ පිටවන අර්ශස්, දත් මුල් දියවීම, පීනස, ඇදුම, පිලිස්සුම්, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් යනාදියටත් තුවාලවලින් ලේ වහනය වීම පාලනය කිරීමටත් කැහිපිත්තන් ශාකයේ  කොළ, වැළ මුල් සහ සම්පූර්ණ ශාකයමත් යොදා ගනී. කැහිපිත්තන් වාතය සහ සෙම නසයි. පිත සමනය කරයි. රුධිරය පිරිසිදු කරයි. මුත්‍රා වර්ධනය කරයි. ශරීරය සිසිල් කරයි. 

කැහිපිත්තන් කොළ කුඩා කැබලි වලට කඩා ජලය ස්වල්පයක් මුසුකර හොදින් පොඩි කිරීමේන් හෝ කෙටීමෙන් සෑදෙන උකු ද්‍රාවණය මිදෙන්නට තබා මී පැණි, සීනි හෝ සීනි ස්වල්පයක් මුසුකර ගත් පොල් කිරි සමඟ කෑමට ගත හැකිය. එය අගනා අතුරුපසක් මෙන්ම මහඟු ඖෂධයකි. මෙම ජෙලි අම්ලපිත්තය, ලේ පිටවන අර්ශස් රෝගයට සහ එයින් ජනිත වේදනාවට, පූයමේහය, මුත්‍ර දැවිල්ල, සෝම රෝගය, අජීර්ණ, දරුවන්ගේ පණු රෝග ආදියට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් ඇති විට මෙම ජෙලි උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම වඩාත් ප්‍රතිඵලදායක ය. එමෙන්ම කැහිපිත්තන් ජෙලි ආහාරයට ගැනීමෙන් සෙම්රෝග, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වැනි රෝගද සමනය වෙයි. කැහිපිත්තන් ශීත බවින් යුක්ත වුවත් සෙම් රෝග වැඩි වීමක් සිදු නොවේ. කැහිපිත්තන් ජෙලි දරුවන්ට, කිරිදෙන මවුවරුන්ටත් ඉතාම ගුණදායකයි. එයින් කිරි වර්ධනය වන නිසා කිරි දෙන මව්වරු මෙම ජෙලි සතියට අවමය දෙවතාවක් හෝ ආහාරයට ගැනීම ඉතාමත් වැදගත්. එමෙන්ම වඳ බවින් පසුවන කාන්තා පුරුෂ දෙපිරිසටම වන්ද්‍යභාවය නැති කරන්නත් මේ ආහාරය ඉතා අගනා ඔෟෂධයක්.

සුව නොවී පවතින සැරව ගලන තුවාල ඇති විට කැහිපිත්තන් කොළ සහ මුල් කොටාගත් යුෂ ආලේප කිරීමෙන් තුවාලය ඉක්මනින් සුව වෙයි. පිලිස්සීමදී හෝ වෙනත් දැවිලි අවස්ථාවකදී මෙම කොළ කොටා ජෙලි පදමට ගෙන ආලේප කළ යුතුය. මෙය පැපොල රෝගය නිසා හට ගන්නා දැවිල්ලට සහ බිබිලිවලටද ප්‍රතිකාරයකි. ගින්දරට හෝ උණු වතුරට පිලිස්සුන විට තද දැවිලක් සමඟ දිය බුබුලු හට ගනී. පිලිස්සුන විගස කැහිපිත්තන් කොළ එළකිරෙන් අඹරා පිලිස්සුන ස්ථානයේ ආලේප කිරීමෙන් දැවිල්ල සමනය වන අතර දිය බුබුුලු හට ගැනීමද නවතී. වෙව්ලුම් සහිත උණ ඇති විට කැහිපිත්තන් මුල් පත 8-1ට සිඳුවා ගත් කෂායට ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීමට දීමෙන් ඉක්මන් සුවයක් ලැබෙයි. මුත්‍ර දැවිල්ල, මුත්‍ර ගල් අතුළු මුත්‍ර රෝග රැසක් සඳහා කැහිපිත්තන් මුල් කෂාය ඉතාමත් ගුණදායක ය. එය උදයට පත භාගයයි හවසට පත භාගයයි බැගින් හකුරු කෑල්ලක් සමඟ දින 7 ක් පමණ පානය කිරීමෙන් ඉහත සඳහන් කළ මුත්‍ර රෝග සියල්ලම පාහේ සුව වෙයි. නිතර උෂ්ණ බිබිලි එන සහ කුෂ්ඨ සහිත රෝගීන් මෙම කෂාය සති දෙකක් පමණ පානය කළ යුතුය. කැහිපිත්තන් කොළ සහ මුල් යෙදූ කෂාය කාන්තාවන්ගේ ඔසප් වේදනාවන්ද සමනය කරයි. නොනවත්වා බඩ බුරුරෙන් යන විට කැහිපිත්තන් මුල් තලා ගත් යුෂට මොරු ස්වල්පයක් මිශ්‍ර කර උක් හකුරු හෝ සීනි ස්වල්පයක් දමා බීමෙන් එම අපහසුතාවය මඟ හැරී යයි. මී මැසි, දෙඹර, බඹර ආදී දෂ්ටනයකදී කැහිපිත්තන් කොළ, කුප්පමේනිය, බැබිල කොළ දෙහි ඇඹුලින් අඹරා දෂ්ට ස්ථානයේ ආලේප කිරීමෙන් විෂ මර්දනය වේ. 

සෙංගමාලය, චර්ම රෝග සහ පිත අධික වීම නිසා සෑදෙන රෝග සඳහා කැහිපිත්තන් කැඳ සාදා බොන්නට දෙයි. පිත නිසා හට ගන්නා කැස්සට කැහිපිත්තන් කොළ සමඟ හීනටි හාල් යොදා කැඳ පිස බීමට ගත යුතුය. කැහිපිත්තන් මුල් තැම්බූ ජලයෙන් කට සේදීමෙන් දත් මුල් දියවීම සුව වෙයි. ඇසේ වී කරලක් වැදී එහි ඇති රළු බූවට ඇස සීරුණ විට කැපිත්තන් කොළ, අරළු, අමුකහ ටික ටික ගෙන වෙනිවැල් ගැට, කොහොඹ කොළ තැම්බූ වතුරෙන් අඹරා එම යුෂ පිරිසිදු රෙදිකඩකින් පෙරා බිංදු කිහිපයක් ඇසට යෙදිය යුතුය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ  රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
Share:

2 comments:

Unknown said...

Hi
මට පැලෑටියක් හොයාගන්න ඕන හදිසියකට? පුළුවන් ද හොයාගන්න? බදුල්ලට

Rav said...

ලදු කැලෑවල ඕව තියෙනවා ඕන තරම්

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support