දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Saturday, August 29, 2015

කොල්ලන්කොළ [Kollankola] (Pogostemon heyneanus)


කොල්ලන්කොළ මීටර් 1.5 පමණ උසට වැඩෙන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. සම්මූඛව පිහිටන සරල පත්‍ර අණ්ඩාකර සිට අණ්ඩාකාර-රොම්බසාකාර හැඩයන්ගෙන් යුක්ත වන අතර තැනින් තැන බූවක් දක්නට ලැබේ. පත්‍ර තලය දිගින් සෙ.මි.14.2 සහ පළලින් සෙ.මි. 8 දක්වා වර්ධනය වේ. පත්‍ර දාරය අක්‍රමවත් ලෙස කඩතොළු සහිත ය. බහු අක්ෂ පුෂ්ප මංජරිය අග්‍රස්තීය හා කක්ෂීය වන අතර සෙ.මි. 14 දක්වා දිගු වේ. කුඩා මල් ළා පැහැති ය. කොල්ලන් කොළ  Lamiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

කොල්ලන්කොළ ශාකයෙහි සුගන්ධවත් වාෂ්පශීලී තෙල් අන්තර්ගතය. හෘද රෝග, මුඛ රෝග, ආහාර අරුචිය, කුසගිනි මදිකම, උදරයෙහි වාතය එකතු වීම, මුත්‍ර රෝග, ස්වාසනාලිකා ප්‍රදාහය, ක්ෂය රෝගය, අතීසාරය, පාචනය, වමනය, අධික පිපාසය, අක්මාවේ ආබාධ, දිවි මකුළු දෂ්ටන, සැරව ගෙඩි, පීනස ආදී රෝග අවස්ථා සඳහා යෙදේ.  මෙම ශාකයේ කොළ, දළු, මල් සහ සම්පූර්ණ ශාකයමත් ඔසු පිණිස යොදා ගනී. කොල්ලන්කොළ මුත්‍රකාරක, ස්වේදජනක ගුණ සහිත බව සඳහන්. 

වණරෝගවලට කොළ අඹරා වණයේ ගල්වයි. කුසගිනි මදිකමට කොලක්කොළ චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. එමෙන්ම චූර්ණය පීනස් රෝගයට නාසයට ඉරීමට ද භාවිතා කරයි. අසෘග්ධරයට මුල් කෂාය දෙයි. ගොනුසු විෂට කොල්ලන්කොළ, කහඹිලියා, නිදිකුම්බා මුල් සමව ගෙන අඹරා බඳුනක දමා දියකර  ළිප තබා රත්කර එයින් නැගෙන දුම් කෑ මුඛයට අල්ලා එම බෙහෙත් කෑ ස්ථානයේ අලේප කරයි. ගවයින්ගේ රෝගවලට ප්‍රතිකාර සඳහාත් කොල්ලන්කොල ශාක කොටස් භාවිතා කරයි. 

පැරණි ජනයා රෙදිපිළි කුඩා කෘමින්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් රෙදිපිළි සුවඳවත් කිරීමටත් කොල්ලන්කොල භාවිතා කර ඇත. ගැමියන් කිතුල් මල් මැදීම සඳහා මෙම ශාක කොටස් සමඟ වෙනත් ඖෂධ යෝග යොදා ගනී. මෙම තෙල් සුවඳවත් කිරීමට භාවිතා කරයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
Share:

0 comments:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support