දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, August 17, 2015

වඳුරු මෑ [Wanduru Mea] (Mucuna pruriens)

වඳුරු මෑ ආධාරක ශාකයක් මත පැතිරී වැඩෙන දේශීය වාර්ෂික වැල් ශාකයකි. වැලෙහි සියලූ කොටස් බූවකින් යුක්තය. මලේ සහ බීජවල පැහැය අනුව වර්ග කිහිපයක් හමුවෙයි. ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර පිහිටා ඇති අතර ඒවා සුදු පැහැති රෝම වලින් යුක්ත ය. සෙ.මි. 30 දක්වා දිගට වර්ධනය වන පුෂ්පමංජරියක හට ගන්නා මල් දම් හෝ සුදු පැහැති ය. පොකුරු වශයෙන් හට ගන්නා කරල් බොහෝ සේ බූව සහිතය. කරලක බීජ 2-8 සංඛාවක් පිහිටයි. කරල්වල ඵලාවරණය වඳුරකගේ සමෙහි රෝම පවතින්නාක් මෙන් කළු / දුඹුරු පැහැති බූවක් පිහිටා ඇති නිසා වඳුරු මෑ ලෙස හඳුන්වයි. වඳුරු මෑ Fabaceae කුලයට අයත් ශාක විශේෂයකි.

වඳුරු මෑ ප්‍රබල වාජීකරණ ගුණ සහිත ඖෂධයක් ලෙස සැලකේ. ලිංගික දුබලතා, වේදනාකාරී ආර්ථවය, වාත රෝග, පණු රෝග, වකුගඩු රෝග, උදරාබාධ, ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ ඇට, මුල්, මල්, බූව ආදිය භාවිතා කරයි. වඳුරු මෑ සිරුර පෘෂ්ඨිමත් කර ශරීර ශක්තිය වර්ධනය කරයි. වාජිකරණ, මුත්‍රකාරක, ආර්ථවය ජනනය කරන, පණුවන් නසන ආදී ගුණයන් සහිතයි. වානරී ගුටිකා, මාෂබලාදී ක්වාතය, මහා මාෂ තෛලය, වානරී සෘතය, අගස්ති අවලේහය ආදී ඖෂධවල වඳුරු මෑ අඩංගුය. 

වාජීකරණය සඳහා වඳුරු මෑ ඇට චූර්ණය, උඳු, සුදුලූණු සමව ගෙන ගිතෙල් මිශ්‍රකර කෑමට ගත යුතුය. ශරීර ශක්තිය වර්ධනය කිරීමට එළ කිරිනේ තම්බා ශුද්ධකරගත් ඇට දූන්තෙලින් බැද මී පැණි සමඟ කෑමට ගනී. වටපණු සහ කිරිපණු රෝග වලදී වඳුරු මෑ බූව මි.ග්‍රෑ. 125 ක් සීනි, මී පැණි හෝ බටර් සමඟ පලමු දින කෑමට ගෙන පසු දින විරේචනයක් කළ යුතුය. එවිට පණුවන් පහව යයි. ලපටි කරල්වල ඇට ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. ප්‍රථමයෙන් මෙම ඇට උණුදියේ දමා (තම්බා) දිය හැර ගත යුතුය. එසේ නොවුන හොත් මත්වන ස්වභාවයක් ඇති වී වමනය යෑමට ඉඩ තිබේ. ගැමියන් ශරීර ශක්තියට සහ ලිංගික හැකියාවන් වර්ධනය කර ගැනීමට වඳුරු මෑ ඇට එළ කිරෙන් තම්බා පොතු හැර වියළා පිටි කර ගිතෙල් මිශ්‍ර කර රොටී  සාදා ගෙන මී පැණි සමඟ කෑමට ගනී. වියළි වඳුරු මෑ ඇට ඖෂධ සඳහාත්, විෂ ඉවත්කළ ඇටවලින් ලබා ගන්නා පිටි ආහාරයක් ලෙසත් භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
පුෂ්ප මංජරියෙහි සේයාරුව_ අන්තර්ජාලයෙන් 
Share:

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support