දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, September 21, 2015

තෙබු [Tebu] (Cheilocostus speciosus)

මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. තෙබු ශාකයේ හරිත පැහැයෙන් යුතු පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. තෙබු ශාකයට සමාන Costus afer නම් කඳ සුදු පැහැති විදේශීය වර්ගයක්ද ඇති අතර එහි කොළ තද ඇඹුල් රසකින් යුක්තය. එමෙන්ම Costus dubious නම් තවත් මෙවැනිම විදේශීය ශාකයක් ලංකාවෙන් හමුවන අතර එහි මල් (පුෂ්ප මංජරිය) ශාකයේ මුල හට ගනී. ආහාර සහ ඖෂධ සඳහා සුලභව භාවිතා කරන්නේ කඳ රතු පැහැති වර්ගයයි. පුෂ්ප මංජරියක හට ගන්නා මෙහි සුදු පැහැති මල අලංකාරවත්ය. ලපටි තෙබු කොළ මැල්ලුම් සහ සලාද ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. තෙබු ශාකයේ නවීකරණය කරන ලද ප්‍රභේද විසිතුරු ශාක ලෙස ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරනු දැක ගත හැකිය. තෙබු Zingiberaceae කුලයට අයත් ශාකයකි.

තෙබු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සමත් බව නිසා මෑත කාලයෙදී වඩාත් කතාබහට ලක්වූ ශාකයකි. එමෙන්ම පණු රෝග, ඇස් රෝග, දැවිල්ල, අර්ශස්, අම්ලපිත්තය, මලබද්ධය, සෙංගමාලය, අධි රුධිර පීඩනය, සුදු කබර ආදී රෝගයන්ට ගුණදායකය. තෙබු අක්මාවේ දෝෂ නැසීමට ද උපකාරී වෙයි. මුත්‍රා අඩස්සිය සෑදුණු විට තෙබු කොළ කොටා රෙදි කඩක අතුරා පෙකණිය මත පැලැස්තර දැමු විට මුත්‍රා පිටවන බව සඳහන්. ඉඟුරු නොමැති අවස්ථාවලදී ඒ වෙනුවට මෙම ශාකයේ අල ඖෂධ සඳහා භාවිතා කළ හැකි බව ඖෂධීය ශාක සංග්‍රහයෙහි දක්වා තිබේ.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්


Share:

Friday, September 18, 2015

කෝන් [Koon] (Schleichera oleosa)

කෝන් මීටර් 25 දක්වා ඉහලට වර්ධය වන හොඳින් අතු පැතීරී වැඩෙන විශාල ගසකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල වියළි කළාපීය වනාන්තර ආශ්‍රිතව සුලභව හමුවේ. වැඩුණු ගසක අළු දුඹුරු පැහැති ඝණකම් පොත්ත ඉරිතැළුණු ස්වභාවයකින් යුක්තය. සංයුක්ත පත්‍රවල පත්‍රිකා දිළිසෙන සුලු ස්වභාවයකින් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් කොළ පැහැතිය. වෙරළු ගෙඩියකින් අඩක් තරම් වන ගෝලාකාර ඵලය ඉදුණු පසු පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. එක් ඵලයක් තුල බීජ එකක් හෝ දෙකක් පිහිටා තිබේ. කෝන් Sapindaceae කුලයට අයත් ශාකයකි.

අතීසාරය, කොළරාව, කුෂ්ඨ රෝග, වාත වේදනා, හිසරදය, ආමවාතය, උණ, සෙංගමාලය ආදී රෝග සඳහා කෝන් ශාකයේ කොළ, පොතු, මල්. ඇට, මුල් ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරන බව සඳහන් වේ. කෝන් ඇටවලින් සිඳ ගන්නා තෙල් කේෂවර්ධන ආලේපයක් ලෙස යොදා ගන්නා අතර ම මෙම තෙල් සමග කෝන් ශාකයේ පොත්ත මිශ්‍ර කොට කුෂ්ඨ රෝග සදහා ආලේපයක් ලෙස භාවිතා කරයි. කෝන් කොළ කැඳ සෙංගමාල රෝගය සඳහා ගුණදායකය. කෝන් කාමෝද්දීපක ගුණ සහිතයි.


මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Monday, September 14, 2015

කදුරු / දිවිකදුරු [Kaduru / Divikaduru] (Pagiantha dichotoma)


දේශීය කදුරු විශේෂ කීපයෙන් එකක් වන මෙය මීටර් 6 පමණ උසට වැඩෙන බහුවාර්ෂික ශාකයකි. සම්මුඛව පිහිටා ඇති පත්‍ර සෙ.මි. 8-21 දක්වා දිගය. දිගු නටුවක් සහිත වතුසුදු මලට සමාන සුදු පැහැති මල් සුවඳවත් ය . පොකුරක මල් 5-6 පමණ පිහිටයි. දිග නටුවකින් එල්ලෙමින් පවතින කොළ පැහැති ඵලය ඉදුණු පසු තැඹිලි පාටට හුරු කහ පැහැයක් ගනී. එය තිරස් අතට පෘෂ්ඨය හා උදරීය දාර දිගට ද දෙකට ද බෙදී ඇත. රතු පැහැති පල්පයක් තුල බීජ පිහිටා තිබේ. මෙම බීජ මගින් ව්‍යප්ති සිදුවේ. දිවිකදුරු Apocynaceae කුලයට අයත් ශාකයකි.

දිවිකදුරු ශාක කොටස් විෂ සහිත හෙයින් ඖෂධ සඳහා අභ්‍යන්තරව භාවිතා නොකරයි. තුවාල, සර්ප දශ්ඨන, දිවිමකුළු විෂ, පත්තෑ විෂ, බල්ලන් සපා කෑ තුවාල, ඔඩු සහිත වණ, දත් කැක්කුම, ඇස් රෝග, සන්ධිගත රෝග, ඇතැම් ස්නායු රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ, පොතු , මුල් ආදිය බාහිරව භාවිතා කරන බව සඳහන් වේ. මෙම කොළ පොල්තෙල් පහනකින් රත්කර තැවීමෙන් සන්ධිගත රෝගවලට සහනය ලැබේ. කකුලෙහි කටුවක් ඇණුන පසු දිවිකදුරු කොළයක් කඩා එයින් වෑස්සෙන කිරි දැමූවිට කටුව පිටතට ඇදී එයි. මෙහි බීජ මිනිසාට විෂ සහිතය වන අතර ඒවා මත්වන ස්වභාවයෙන් සහ විරේචක ගුණයෙන් යුක්තයි. 

තවද ශාන්කි කර්ම, විෂ කැපිලි ආදියට දිවිකදුරු අතු භාවිතා කරයි. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් ආදී ගුරුකම් කටයුතු හඳහා ද මෙම ශාකයේ කොටස් යොදා ගනී. දිවිකදුරු ගස් යටින් යකුන්, සර්පයින් ගමන් නොකරන බව ගැමියන් විශ්වාස කරයි. දිවිකදුරු ලීය උඩරට නැටුම් ශීල්පීන්ගේ වෙස් පළඳනා සෑදීමේදී යොදා ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 



Share:

Friday, September 11, 2015

කැබැල්ල [Kebella] (Aporosa cardiosperma)

Aporosa නම් උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ කීපයක් පොදුවේ කැබැල්ල ලෙස හඳුන්වයි.  Aporosa cardiosperma මාපත් කැබැල්ල ලෙසත්, Aporosa lindleyana කැබැල්ල ලෙසත් මීට පෙර හඳුන්වා තිබුණු අතර නූතන උද්භිද විද්‍යා වර්ගීකරණවලට අනුව එම විශේෂ දෙකම එකක් ලෙස සලකා  Aporosa cardiosperma ලෙස නම් කර ඇත. මීට අතරව Aporosa lanceolata නම් අප රටට ආවේනික ශාකය හීං කැබැල්ල නම් වේ. එය ඖෂධ සඳහා භාවිතා නොකරන බව සඳහන්.

කැබැල්ල විශේෂ මීටර් 15 දක්වා වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ ශාකයන් වන අතර සිහින් අතු රැසක් සහිතය. ඇතැම් විට පඳුරු වශයෙන් දක්නට ලැබේ. මෙහි පොත්ත දුඹුරු පැහැතිය. සිනිඳුය. පත්‍ර පටලමය වන අතර අණ්ඩාකාර සිට ඔවලාකාර දක්වා හැඩයන්ගෙන් පිහිටයි. පත්‍ර වියළීයාමේදී ළා කහ කොළ පාට වේ. මල් 1 සිට 4 දක්වා පොකුරු වශයෙන් පිහිටයි. ඩිම්බකෝෂය කොටස් දෙකකි. රතු දුඹුරු පැහැති ඵලය ගෝලාකාර සිට අණ්ඩාභය ය. බීජ තනි තනිව පිහිටා ඇත. ඵලය මේරීමත් සමඟ ඵලාවරණය පුපුරා බීජ පිටතට විවෘත වන අතර බීජ වටා කහ පැහැති ද්‍රව්‍යයක් පිහිටයි. මෙම ගෙඩි පළතුරක් ලෙස කෑමට ගනී. එමෙන්ම කැබැල්ල දළු ඇඹුලක් ලෙස, තෙල් දැමීමෙන් හෝ පළාවක් ලෙස ආහාරයට සකස්කර ගත හැකිය. කැබැල්ල Phyllanthaceae කුලයට අයත් ශාක විශේෂයන් ය. 

ඇස් රෝග සඳහා භාවිතා කරන දේශීය බෙහෙත් වට්ටෝරු රැසක කැබැල්ල ශාක කොටස් ඇතුලත්ව ඇත. ඇස් රතු වීම, ඇසෙහි ඇති වන සුද, ඉදිමුම්, කඳුලු ඒම, දැවිල්ල, ඇස් පෙනීම අඩුකම, ඇසෙහි ඇණුනු යමක් ඉවත් කිරීමට, ඇසේ තැල්ම, නගන ආදී ඇස සම්බන්ධ රෝග අයස්ථා රැසකට කැබැල්ල යොදා ගනී. එමෙන්ම කුෂ්ට රෝග, ගඬු, අජීර්ණය, පාණ්ඩු රෝග, අතීසාරය, නියඟලා විෂ නැති කිරීමට, කැපුම් තුවාලවල ලේ නැවැත්වීමට,  ගවයින්ගේ රෝග ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී ද කැබැල්ල ශාකයේ කොළ, දළු, පොතු ආදිය භවිතා කරයි. කැබැල්ල දළු අැඹුලට උයා බත් සමග වැළඳීමෙන් අජීර්ණය සුව වේ. එමෙන්ම එය දියවැඩියාව සහ රුධිරයේ මේදය වැඩි අයටද ගුණදායක ය. 

පිහියක් වැනි ආයුධයකින් කැපුණු පසු ලේ නැවැත්වීමට කැබැල්ල දළු තලා තුවාලය මත තැබීම සරල ප්‍රතිකාරයකි. ගඩුවලට කැබැල්ල පොතු, කැටකෑල පොතු කොටා පැණි සිඳ ආලේප කරයි. ඇස්රතට කැබැල්ල දළු උණු අළුවෙන් තම්බා කුරුම්බා ලෙලි යුෂින් අඹරා ඇස වටා ආලේප කරයි. මෙවැනි ඖෂධීය භාවිතාවන් රැසක් සහිත කැබැල්ල මුත්‍රකාරක සහ රුධිරය පිරිසිදුකරන ගුණයන්ගෙන් යුක්ත ය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
සේයාරූ _ Surangi Madumali සොයුරියගෙන් 
Share:

Monday, September 7, 2015

ගිරිතිල්ල [Giritilla] (Argyreia populifolia)


මෙරටට ආවේනික ශාකයක් වන ගිරිතිල්ල ආධාරක ශාකයක් මත එතී වර්ධනය වන කාෂ්ඨීය වැලකි. තද කොළ පැහැති පත්‍ර 7-15 සෙ.මි. දක්වා වර්ධනය වේ. පුෂ්පමංජරියක හට ගන්නා පුනීලාකාර මල් දම් පැහැතිය. ගෙඩි කොළ පැහැති වන අතර ඉඳුණු විට කහ තැඹිලි පැහැයක් ගනී.  ළපටි ගිරිතිල්ල කොළ පලාවක් ලෙස ලෙස ආහාරයට ගත හැකිය. ළපටි දඬු සහ ගෙඩිවල බීජ ඉවත්කර ගත් පසු ඉතිරි වන ලෙල්ල ව්‍යංජනයක් ලෙස සකසා ගත හැකිය. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. ගිරිතිල්ල Convolvulaceae කුලයට අයත් ශාකයකි. 

ආහාර අරුචිය, කුසගිනි මදිකම, අර්ශස්, රක්තවාතය, හෘද රෝග, කැස්ස, ඇදුම, දියවැඩියාව, ස්නායු ආබාධ,සන්ධි ගත වාත රෝග, ශ්වේත ප්‍රදර, ගර්භාෂයේ රෝග, බල්ලන් සපාකෑම්, විදුරුමසෙහි ඇති වන තුවාල  ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට මෙම වැලේ කොළ, මුල්, කිරි ආදිය භාවිතා කරයි. ගිරිතිල්ල දළු තම්බා දියකර පිළියෙල කර ගත් ව්‍යංජනය ආහාරයට ගැනීම හෘද රෝගීන්ට ගුණදායක ය. මහා සර්ව විෂදී තෛලය සඳහා ගිරිතිල්ල යොදා ගනී. ගිරිතිල්ල, ආහාර රුචිය ඇති කරවන, කුසගිනි වඩවන, කාමොද්දීපක ආදී ගුණ සහිතයි. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
Share:

Monday, August 31, 2015

කැහිපිත්තන් [Kehipittan] (Cyclea peltata)


කැසිපිස්සන් යනුවෙන්ද හඳුන්වන කැහිපිත්තන් පොළවට සමාන්තරව වැවෙන දේශීය වැල් ශාකයකි. ඇතැම් විට කුඩා පැළෑටි සහ පඳුරු මත වර්ධනය වේ. මෙම වැලට පාතාල ගරුඬී නම් පරයායයක් යෙදී ඇත්තේ පොළවෙහි ගැඹුරට ගමන් කරන මුල් පිහිටා ඇති හෙයිනි. මඳක් ත්‍රිකොණාකාර හැඩයෙන් යුත් පත්‍රයක් සෙ..මි. 16 දක්වා දිගට වර්ධනය වේ. පත්‍රවල යටි පෘෂ්ටය මත සියුම් බූවක් දක්නට ලැබේ. බූව වැඩිපුර ඇති ප්‍රභේදයක්ද හමු වෙයි. උඩු පෘෂ්ටය දිළිසෙන සුලු වන අතර සිනිඳු ය. එ්කාක්ෂ පුෂ්ප මංරියක හට ගන්නා කහ පැහැති මල් පොකුරු වශයෙන් දක්නට ලැබේ. කොළ පැහැති ගෙඩි ඉදුණු පසු සුදු පැහැතිය. කැහිපිත්තන් Menispermaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

සර්ප විෂ, තුවාල, දැවිල්ල, ඉදිමුම්, උණ, චර්ම රෝග, හිසරදය, පාචනය, ආහාර අරුචිය, පණු රෝග, ඔසප් දෝෂ, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ආසාදන, මුත්‍ර දැවිල්ල, පූයමේහය (මුත්‍ර සමඟ සැරව පිටවිම), කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පිත් රෝග, සෙංගමාලය, ලේ පිටවන අර්ශස්, දත් මුල් දියවීම, පීනස, ඇදුම, පිලිස්සුම්, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් යනාදියටත් තුවාලවලින් ලේ වහනය වීම පාලනය කිරීමටත් කැහිපිත්තන් ශාකයේ  කොළ, වැළ මුල් සහ සම්පූර්ණ ශාකයමත් යොදා ගනී. කැහිපිත්තන් වාතය සහ සෙම නසයි. පිත සමනය කරයි. රුධිරය පිරිසිදු කරයි. මුත්‍රා වර්ධනය කරයි. ශරීරය සිසිල් කරයි. 

කැහිපිත්තන් කොළ කුඩා කැබලි වලට කඩා ජලය ස්වල්පයක් මුසුකර හොදින් පොඩි කිරීමේන් හෝ කෙටීමෙන් සෑදෙන උකු ද්‍රාවණය මිදෙන්නට තබා මී පැණි, සීනි හෝ සීනි ස්වල්පයක් මුසුකර ගත් පොල් කිරි සමඟ කෑමට ගත හැකිය. එය අගනා අතුරුපසක් මෙන්ම මහඟු ඖෂධයකි. මෙම ජෙලි අම්ලපිත්තය, ලේ පිටවන අර්ශස් රෝගයට සහ එයින් ජනිත වේදනාවට, පූයමේහය, මුත්‍ර දැවිල්ල, සෝම රෝගය, අජීර්ණ, දරුවන්ගේ පණු රෝග ආදියට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් ඇති විට මෙම ජෙලි උදෑසන හිස්බඩ ආහාරයට ගැනීම වඩාත් ප්‍රතිඵලදායක ය. එමෙන්ම කැහිපිත්තන් ජෙලි ආහාරයට ගැනීමෙන් සෙම්රෝග, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වැනි රෝගද සමනය වෙයි. කැහිපිත්තන් ශීත බවින් යුක්ත වුවත් සෙම් රෝග වැඩි වීමක් සිදු නොවේ. කැහිපිත්තන් ජෙලි දරුවන්ට, කිරිදෙන මවුවරුන්ටත් ඉතාම ගුණදායකයි. එයින් කිරි වර්ධනය වන නිසා කිරි දෙන මව්වරු මෙම ජෙලි සතියට අවමය දෙවතාවක් හෝ ආහාරයට ගැනීම ඉතාමත් වැදගත්. එමෙන්ම වඳ බවින් පසුවන කාන්තා පුරුෂ දෙපිරිසටම වන්ද්‍යභාවය නැති කරන්නත් මේ ආහාරය ඉතා අගනා ඔෟෂධයක්.

සුව නොවී පවතින සැරව ගලන තුවාල ඇති විට කැහිපිත්තන් කොළ සහ මුල් කොටාගත් යුෂ ආලේප කිරීමෙන් තුවාලය ඉක්මනින් සුව වෙයි. පිලිස්සීමදී හෝ වෙනත් දැවිලි අවස්ථාවකදී මෙම කොළ කොටා ජෙලි පදමට ගෙන ආලේප කළ යුතුය. මෙය පැපොල රෝගය නිසා හට ගන්නා දැවිල්ලට සහ බිබිලිවලටද ප්‍රතිකාරයකි. ගින්දරට හෝ උණු වතුරට පිලිස්සුන විට තද දැවිලක් සමඟ දිය බුබුලු හට ගනී. පිලිස්සුන විගස කැහිපිත්තන් කොළ එළකිරෙන් අඹරා පිලිස්සුන ස්ථානයේ ආලේප කිරීමෙන් දැවිල්ල සමනය වන අතර දිය බුබුුලු හට ගැනීමද නවතී. වෙව්ලුම් සහිත උණ ඇති විට කැහිපිත්තන් මුල් පත 8-1ට සිඳුවා ගත් කෂායට ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීමට දීමෙන් ඉක්මන් සුවයක් ලැබෙයි. මුත්‍ර දැවිල්ල, මුත්‍ර ගල් අතුළු මුත්‍ර රෝග රැසක් සඳහා කැහිපිත්තන් මුල් කෂාය ඉතාමත් ගුණදායක ය. එය උදයට පත භාගයයි හවසට පත භාගයයි බැගින් හකුරු කෑල්ලක් සමඟ දින 7 ක් පමණ පානය කිරීමෙන් ඉහත සඳහන් කළ මුත්‍ර රෝග සියල්ලම පාහේ සුව වෙයි. නිතර උෂ්ණ බිබිලි එන සහ කුෂ්ඨ සහිත රෝගීන් මෙම කෂාය සති දෙකක් පමණ පානය කළ යුතුය. කැහිපිත්තන් කොළ සහ මුල් යෙදූ කෂාය කාන්තාවන්ගේ ඔසප් වේදනාවන්ද සමනය කරයි. නොනවත්වා බඩ බුරුරෙන් යන විට කැහිපිත්තන් මුල් තලා ගත් යුෂට මොරු ස්වල්පයක් මිශ්‍ර කර උක් හකුරු හෝ සීනි ස්වල්පයක් දමා බීමෙන් එම අපහසුතාවය මඟ හැරී යයි. මී මැසි, දෙඹර, බඹර ආදී දෂ්ටනයකදී කැහිපිත්තන් කොළ, කුප්පමේනිය, බැබිල කොළ දෙහි ඇඹුලින් අඹරා දෂ්ට ස්ථානයේ ආලේප කිරීමෙන් විෂ මර්දනය වේ. 

සෙංගමාලය, චර්ම රෝග සහ පිත අධික වීම නිසා සෑදෙන රෝග සඳහා කැහිපිත්තන් කැඳ සාදා බොන්නට දෙයි. පිත නිසා හට ගන්නා කැස්සට කැහිපිත්තන් කොළ සමඟ හීනටි හාල් යොදා කැඳ පිස බීමට ගත යුතුය. කැහිපිත්තන් මුල් තැම්බූ ජලයෙන් කට සේදීමෙන් දත් මුල් දියවීම සුව වෙයි. ඇසේ වී කරලක් වැදී එහි ඇති රළු බූවට ඇස සීරුණ විට කැපිත්තන් කොළ, අරළු, අමුකහ ටික ටික ගෙන වෙනිවැල් ගැට, කොහොඹ කොළ තැම්බූ වතුරෙන් අඹරා එම යුෂ පිරිසිදු රෙදිකඩකින් පෙරා බිංදු කිහිපයක් ඇසට යෙදිය යුතුය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ  රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
Share:

Saturday, August 29, 2015

කොල්ලන්කොළ [Kollankola] (Pogostemon heyneanus)


කොල්ලන්කොළ මීටර් 1.5 පමණ උසට වැඩෙන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. සම්මූඛව පිහිටන සරල පත්‍ර අණ්ඩාකර සිට අණ්ඩාකාර-රොම්බසාකාර හැඩයන්ගෙන් යුක්ත වන අතර තැනින් තැන බූවක් දක්නට ලැබේ. පත්‍ර තලය දිගින් සෙ.මි.14.2 සහ පළලින් සෙ.මි. 8 දක්වා වර්ධනය වේ. පත්‍ර දාරය අක්‍රමවත් ලෙස කඩතොළු සහිත ය. බහු අක්ෂ පුෂ්ප මංජරිය අග්‍රස්තීය හා කක්ෂීය වන අතර සෙ.මි. 14 දක්වා දිගු වේ. කුඩා මල් ළා පැහැති ය. කොල්ලන් කොළ  Lamiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

කොල්ලන්කොළ ශාකයෙහි සුගන්ධවත් වාෂ්පශීලී තෙල් අන්තර්ගතය. හෘද රෝග, මුඛ රෝග, ආහාර අරුචිය, කුසගිනි මදිකම, උදරයෙහි වාතය එකතු වීම, මුත්‍ර රෝග, ස්වාසනාලිකා ප්‍රදාහය, ක්ෂය රෝගය, අතීසාරය, පාචනය, වමනය, අධික පිපාසය, අක්මාවේ ආබාධ, දිවි මකුළු දෂ්ටන, සැරව ගෙඩි, පීනස ආදී රෝග අවස්ථා සඳහා යෙදේ.  මෙම ශාකයේ කොළ, දළු, මල් සහ සම්පූර්ණ ශාකයමත් ඔසු පිණිස යොදා ගනී. කොල්ලන්කොළ මුත්‍රකාරක, ස්වේදජනක ගුණ සහිත බව සඳහන්. 

වණරෝගවලට කොළ අඹරා වණයේ ගල්වයි. කුසගිනි මදිකමට කොලක්කොළ චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. එමෙන්ම චූර්ණය පීනස් රෝගයට නාසයට ඉරීමට ද භාවිතා කරයි. අසෘග්ධරයට මුල් කෂාය දෙයි. ගොනුසු විෂට කොල්ලන්කොළ, කහඹිලියා, නිදිකුම්බා මුල් සමව ගෙන අඹරා බඳුනක දමා දියකර  ළිප තබා රත්කර එයින් නැගෙන දුම් කෑ මුඛයට අල්ලා එම බෙහෙත් කෑ ස්ථානයේ අලේප කරයි. ගවයින්ගේ රෝගවලට ප්‍රතිකාර සඳහාත් කොල්ලන්කොල ශාක කොටස් භාවිතා කරයි. 

පැරණි ජනයා රෙදිපිළි කුඩා කෘමින්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් රෙදිපිළි සුවඳවත් කිරීමටත් කොල්ලන්කොල භාවිතා කර ඇත. ගැමියන් කිතුල් මල් මැදීම සඳහා මෙම ශාක කොටස් සමඟ වෙනත් ඖෂධ යෝග යොදා ගනී. මෙම තෙල් සුවඳවත් කිරීමට භාවිතා කරයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු 
Share:

Thursday, August 27, 2015

වැල් කෑලිය [Wel Keliya] (Grewia orientalis)

වැල් කෑලිය මීටර් 3 දක්වා පඳුරක් ආකාරයට වැවෙන කාෂ්ඨීය වැල් ශාකයකි. ඇතැම්විට විශාල ශාක ආධාරකරගෙන ඉහලට වර්ධනය වේ. වියළි කළාපයේ සුලභව දැකගත හැකිය. පැහැදිලි නාරටි සහිත පත්‍ර ඉලිප්සාකාර හැඩයෙන් යුක්තය. පුෂ්ප මංජරියක හට ගන්නා සුදු පැහැති මල් පරවන විට කහ පැහැයට හැරේ. කොළ පැහැති ඵලය තුල බීජ 4 ක් පිහිටයි. ඉදෙන විට කහ තැඹිලි පැහැයක් ගනී. ඉඳුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. බීජ මගින් මෙහි ව්‍යාප්තිය සිදුවේ. වැල් කෑලිය Tiliaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

කැඩුම් බිඳුම්, උදරාබාධ, ඉදිමීම්, රක්තවාතය, සරම්ප, සමෙහි හට ගන්නා ආසාදන, ඔසප් චක්‍රයේ දෝෂ ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් මෙම ශාකයේ පොතු භාවිතා කරයි. වේදනා නාශක සහ ගබ්සාකාරක ගුණ සහිතයි. 

Share:

Monday, August 24, 2015

ඉඟුරුපියලි / හිඟුරුපියලි [Igurupiyali] (Kaempferia galanga)

මෙය පොළව මතුපිටට ඇලී පඳුරක ආකාරයට වැවෙන කුඩා පැළෑටියකි. පත්‍ර තලය පළල් වන අතර එක් ශාකයක පිහිටා ඇත්තේ පත්‍ර කිහිපයක් පමණි. පුෂ්ප මංජරියක හට ගන්නා අලංකාර මල් දම් මිශ්‍ර සුදු පැහැයෙන් යුක්තය. වැලි සහිත පොළො‍වෙහි සරුවට වැවෙන මෙහි කුඩා අල එක් පැලයකට එකක් බැගින් පොකුරු වශයෙන් සෑදේ. අල පමණක් සුවඳැති වර්ගයක් සහ අල මෙන්ම කොළද සුවඳැති වර්ගයක් ලෙස වර්ග දෙකක් ඇතැයි දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි දැක්වේ. වඩා හොඳ වර්ගය කොළත් අලත් සුවඳැති වර්ගය බව එහි සඳහන් වේ. ඉඟුරුපියලි ශාකය Zingiberaceae කුලයට අයත්ය.

ආහාර අරුචිය, කුසගිනි මදිකම, උදරාබාධ, අතීසාරය, වමනය, හෘදයේ දුබල බව, ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම, හික්කා, ආමවාතය (ආතරයිට්ස්), හිස්හොරි, උගුරේ ආසාදන, ඉදිමීම්, අක්ෂි රෝග, මුඛ රෝග, තුවාල, හිසරදය, දැවිල්ල, උණ නිසා ඇතිවන සීතල පහ කිරීමට ආදී ලෙස රෝග බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී ප්‍රධාන වශයෙන් ඉඟුරුපියලි අලත් ඇතැම් අවස්ථාවල කොළත් භාවිතයට ගනී. මෙම අල සැපීමෙන් මුඛ දුර්ගන්ධය පහව යයි. මෙරට ජනයා කලක සිට ඉඟුරුපියලි අල සුගන්ධ ද්‍රව්‍යයක්ලෙස බුලත් විටට එක්කර ගැනීමට ද පුරුදුව උන්හ. එමෙන්ම හිසකෙස් සහ රෙදිපිළි සුවඳවත් කිරීමට මෙම අල භාවිතා කර ඇත. ඉඟුරුපියලි මුත්‍රකාරක, උත්තේජක සහ වා සෙම් නසන ගුණ සහිතයි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය, ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්


Share:

Friday, August 21, 2015

ඇහැළ [Ehela] (Cassia fistula)


ඇහැළ මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන අළු පැහැති පොත්තක් සහිත බහුවාර්ෂික ශාකයකි. වියළි කලාපයේ බහුලව හමු වෙයි. තද කොළ පැහැති පක්ෂවත් සංයුක්ත පත්‍ර පිහිටා ඇත. පහලට එල්ලා වැටෙන දිග කිනිත්තක් ලෙස සැකසුණු අලංකාර පුෂ්ප මංජරියක දීප්තිමත් කහ පැහති මල් හට ගනී. ගස පුරාම මල් හටගන්නා බැවින් මල් පිපෙන සමයේ සම්පූර්ණ ගසම කහ පැහැයකින් යුක්තව අතිශය චමත්කාර ජනකව දර්ශන වේ. ඵලය කරලකි. වියළුණු බීජ කළු පැහැතිය.  ඇහැළ ශාකය උද්‍යාන හා නගර අලංකාරකිරීමට ද බහුලව යොදා ගනී. බීජ මගින් ව්‍යාප්තිය සිදු වේ. ඇහැල Fabaceae කුලයට අයත් ශාකයකි.

ස්නායු රෝග, චර්ම රෝග, වණ, කැස්ස, ස්වසන රෝග, උණ, මලබද්ධය, හෘද රෝග, ආහාර නොදිරවීම, වාතරක්තය ඇතුළු වාත රෝග, කහ උණ හෙවත් සෙංමාලය, මුත්‍ර අඩස්සිය ඇතුළු මුත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග, සර්ප දෂ්ටන, මුඛ රෝග ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට අහැල ශාක කොටස් භාවිතා කරයි. මෙම ශාකයේ කොළ, දළු, පොතු, මල්, ඇට, මුල්, මුලේ පොත්ත ආදී සෑම කොටසක්ම පාහේ ඔසු පිණිස ගනී. පැසුණු ඇහැල කරල් භාවිත කොට සිඳගනු ලබන ඇහැල පැණිය කුඩා දරුවන්ගේ විරේචනය සඳහා භාවිතා කළ හැති මහඟු ඖෂධයකි. ඇහැළ රුධිරය පිරිසිදු කරන, මුත්‍ර කාරක, කුෂ්ඨ නාශක, විරේචක ආදී ගුණයන් සහිතයි.

කැසීම හා දැවිල්ල ඇති කුෂ්ඨවලට ඇහැල කොළ පොතු සමව ගෙන අමුකහ සමඟ මදක් තලා කහට එනතුරු තම්බා පෙරා සේදීම ද, කැසීම අධික අවස්ථාවක නම් ඇහැල දළු දෙහි ඇඹුලින් අඹරා ගෑම, දැවිල්ල අධික අවස්ථාවක නම් ඇහැළ දළු එළගිතෙලින් අඹරා ගෑම ද සිදු කරයි. ඇහැළ කොළ අබ තෙලින් බැද රෑ බත් සමඟ කෑම අහාර නොදිරවීමට ප්‍රතිකාරයකි.    

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති

Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support