බෝමි මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. පොත්ත තුනීය. අළු හෝ අඳුරු ළා දුඹුරු පාටය. පොත්ත සෙවල සහිත බැවින් සෙවල බෝමී ලෙසද හඳුන්වයි. පත්‍ර සෙ.මි 15 දක්වා වරධනය වන අතර මේරු පත්‍ර තද කොළ පැහැයක් ගනී. පත්‍ර, ආයත-අණ්ඩාකාර හෝ ඉලිප්සාකාර හැඬයන්ගෙන් යුක්තය. ළපටි පත්‍රවල ඉතාමත් සියුම් බූවක් දක්නට ලැබේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් කොළ කහ පැහැතිය. මි.මි 6 පමණ විශ්කම්භයකින් යුත් කොළ පැහැති ඵලය ඉදුණු විට තද දම් පැහැයක් ගනී. ගුණ අතින් සමාන වන ලොකු බෝමි නම් වර්ගයක්ද ඇති බව සඳහන් වේ. හඳුන්කූරු නිශ්පාදනය සඳහා මෙම ශාකයේ පොතුවලින් ලබාගන්නා සෙවල භාවිත කරන නිසා එය මෙහි පැවැත්මට තර්ජනයක් වී ඇත. බෝමි ශාකය Lauraceae කුලයට අයත්ය.අභිඝාත (වැටීම්, පහර දීම් ආදියේදී ශරීරයට සිදුවන තැලීම්, මස්පිඩු ඉරීම් වැනි හානි), විෂ ශරීරගත වීම, ශරීර දාහය, ශරීරය ක්ෂය වීම, අතීසාරය, හිසේ රුදා, සන්ධි රුදා, උගුරේ සහ ආහාර මාර්ගයේ ඇතිවන ආබාධ අාදියට ප්‍රතිකාර කිරීමේදී බෝමි ශාකයේ කඳෙහි පොතු, මුලෙහි පොතු සහ කොළ භාවිතා කරයි. උළුක්කුවට, තැල්මට, මස්පිඩු ඉරීම ආදී අවස්ථාවකදී බොමි පොතු ලුණු වතුරින් උරගා කකාරවා මද උණුසුම් ලෙස පැලස්තරයක් යෙදීම ඒකීය ප්‍රතිකාරයකි.
බොමි ගසේ පොතු දේශීය වෙදකමේ බිඳුණු ඇට පෑස්සීමට ගන්නා ප්‍රධාන ඖෂධයක් බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" සදහන් වේ. මෙම පොතු අමු කහ සමග අඹරා ගෑමෙන් සීරීම් සහ තුවාල සුව වන බවත් අතීසාරයට සහ ස්නායු දුර්වලත්වයට දෙන ඖෂධ සංයෝග වලටද බොමි පොතු ඇතුළත්ව ඇති බවත් එහි සඳහන්. බොමි කාමොද්දීපක, ශුක්‍ර වර්ධක, වේදනා නාශක ආදී ගුණයන් සහිතයි.
මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඖෂධීය ශාක සංග්‍රහය කෘති















