රත් නිටුල් ඈත අතීතයේ සිටම ආයුර්වේද සහ දේශීය වෙදමේ භාවිතා වී ඇති ඖෂධයකි. රත් නිටුල්වලට "අග්නි" නම් පර්යායක් යෙදී ඇත්තේ කුසගිනි වඩවන ඖෂධ අතර ප්රමුඛස්ථානයක් ගන්නා නිසා ය. ස්නායු දුර්වලතා, අංශභාගය, අර්දිත, නිදි උලුක්කු, ගෘධ්‍රසි, වෙවිලීම, අපතන්ත්‍රක, කුසගිනි මදිකම, බඩ පිපුම, ගුල්ම, උදර ශූල, විබන්ධතා, පණු රෝග, ග්‍රහණි, අර්ශස්, පාණ්ඩු, අක්මා රෝග, අජීර්ණ, ගුද ශෝථ, අක්මාව සහ ප්ලීහාව ඉදිමීම, වාතය නිසා හට ගත් හෘද රෝග, කල්ගිය කැස්ස, ඇදුම, පෙනහලු ඉදිමීම, ප්‍රතිශ්‍යා, වාතික මුත්‍රඝාත, මුත්‍රාශයේ ඇති වන වේදනා, අශ්මරී රෝග, ඔසප් දෝෂ, ප්රසූතිවිකාර, දරුවන් බිහිකල අලුත මව්වරුන්ට ඇතිවන අධික වේදනා සහිත සංකූලතාවයන්, වේදනාකාරී ආර්ථවය, සුදු කබර, කුෂ්ඨ, ආදි රෝග රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට රත් නිටුල් ශාකයේ මුල් (අල), කොළ සහ කිරි භාවිතා කරයි. දශමූලාරිෂ්ටය, චිත්රකාදී චූර්ණය, අග්නි සෘතය ආදී රත් නිටුල් යොදා නිපදවන ඖෂධ රැසකි.
බරවා රෝගය නිසා හටගත් ඉඳිමුම් වලට රත්නිටුල් දේවදාර සමඟ අඹරා ආලේප කරයි. මෙහිදී රෙදිකඩක මතුපිට ලේපය තවරා පිට පැත්තට සිටින සේ ඉදිමුම මත ඇතිරිය යුතුය. සුදු කබර රෝගයේදී රත් නිටුල්, ගව මුත්‍ර, ගිතෙල්, මී පැණි සමව ගෙන කළගෙඩියක බහා තබා පානය කළ යුතුය. අර්ශස් රෝගයට රත් නිටුල් මුලේ පොතු අඹරා, මැටි භාජනයක් තුල ගා වියලුණු පසු එ තුල එළකිරි දමා මුදවා ගත් දධියෙන් කළ මෝරු වැළඳිය යුතුය. අතීසාරයට පවනේ වියළාගත් රත් නිටුල් මුල් චූර්ණය ස්වල්පයක් භාවිතා කිරීමට නියම කර ඇත. රසායනයට සහ බුද්ධි වර්ධනයට සම්මත ක්රමයන්ට ශෝධනය කර ගත් රත් නිටුල් මුලේ චූර්ණය ස්වල්පයක් එළකිරි, එළඟිතෙල් හෝ මී පැණි පානය කළ යුතුය.
රත් නිටුල්වල ස්වභාවයෙන් යම් විෂ සහිත බවක් පවතින අතර එය ඉවත් කිරීමට පැරැන්නන් අනුදත් පිළිවෙලකට අනුව ශෝධනය කර ගත යුතුය. ඒ සඳහා සෝදා පිරිසිදු කර සිහින්ව කපා ගත් රත්නිටුල් මුල් පොල් වතුරෙන් හෝ පොල් කිරිවලින් හෝ ගව මුත්රවලින් තම්බා ගත යුතුය. එළකිරෙන් තම්බා වේලා ගැනීමද ඇතැම් දේශීය වෛද්‍යවරු අනුගමනය කරන පිළිවෙලකි. මේ සෑම අවස්ථාවකම මැද නාරටිය ඉවත් කළ යුතුය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය