
කලකට පෙර Stereospermum suaveolens යන උද්භිද නාමයෙන් හඳුන්වා තිබූ පළොල් මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි පත්‍රිකා යුගල 3-4 සහිත අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍රයක් සෙ.මි. 30-60 පමණ දිගින් යුක්ත. ඉලිප්සාකාර හැඩැති පත්රකාවක දිග සෙ.මි 15 සහ පළල සෙ.මි. 7.5 පමණ දිගු විය හැකිය. පත්‍ර සහ ළපටි කොටස්වල සියුම් බූවක් සහිතයි. පුෂ්ප මංජරියක හට ගන්නා සුවඳවත් මල් රෝස පාටට හුරු දම් පැහැයක් ගනී. ඵලය සෙ.මි 30-60 පමණ දිගු, හීනි කරලකි. පටලමය පියාපත් සහිත බීජයක් සෙ.මි. 3 පමණ දිගින් යුක්ත වේ. පලොල් Bignoniaceae උද්භිද කුලයට අයත් ශාකයකි. (පළොල් උද්භිද විද්‍යා මූලාශ්රවල දේශීය ශාකයක් ලෙස හඳුනාගෙන තිබුන ද ලංකාවේ ජනාවාස ආශ්‍රිතව මිස ස්වභාවික වනාන්තර තුල හමු නොවන හෙයින් විදේශීය ශාකයක් දැයි උද්භිද විද්‍යාඥයින් සැල පල කර ඇත)
ලංකාවේදී පළොල් ශාකය සොයා ගැනීමට අපහසු විට එ් වෙනුවට භාවිතා කිරීමට කිරීමට සුදුසුම ශාකය එම උද්භිද ගණයටම අයත් දුනුමඩලා බවයි විද්වතුන්ගේ අදහස. එය ඉන්දියාවේ පවා පළොල් වෙනුවට භාවිතා කරන ශාකයකි. එහෙත් මෙරට දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරුන්ද ඇතුළුව වෙදකමට සම්බන්ධ බොහෝ පිරිසක් Fernandoa adenophylla නම් විදේශීය ශාකයක් පළොල් ලෙස භාවිතා කිරීම කණගාටුදායක කරුණකි. තොටිල ශාකයට පෙනුමෙන් සමාන, කහ පැහැති මල් සහ විශාල කරල් හැදෙන මෙය විසිතුරු ශාකයක් ලෙස මෙරටට හඳුන්වා දෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එය කිසිදු පිලිගත් මූලාශ්‍රයක පළොල් වෙනුවට භාවිතා කිරීමට සුදුසු යැයි නිර්දේශ කර නැත. ආදේශක ලෙස භාවිත කළ හැකි දේශීය ශාක තිබියදී දසමූල අරිෂ්ටය, දසමූල ක්වාතය වැනි ප්‍රකට ඖෂධවල පවා ප්රමුඛ උපාදානයක් වන පළොල් සඳහා මෙවැනි වැරදි ශාකයක් භාවිතා කිරීම දේශීය වෛද්‍ය ප්‍රතිකාරවල ගුණාත්මක භාවය අඩු වීමට ප්‍රබල ලෙස බලපානු ඇත. මෙම වැරදි භාවිතය කෙතරම් දුර දිග ගොස් ඇත්දැයි කිවහොත් විහාරස්ථානවල අටවිසි බෝධීන්වහන්සේලා රෝපණය කිරීමේදී පවා මෙම විදේශීය ශාකය යොදා ගෙන තිබෙනු දැක ගත හැකිය.
ශුක්‍ර දුර්වලතා, මධුමේහ, වාත රෝග, ප්‍රමේහ, කරප්පන්, ඇස් දැවිල්ල, වණ, පිලිකා, ආගන්තුක මූල රෝග, කිලාස, උන්මාද, අම්ලපිත්ත, උදර වේදනා, පිලිස්සුම්. කැස්ස ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී පළොල් ශාකයේ කොල, දලු, පොතු, මුල්, මල්, සුඹුලු ආදිය යොදා නිපදවූ ඖෂධ භාවිතා කරයි. පළොල් වෙදනාස්ථාපන, ශක්තිජනක, කුසගිනි වඩවන, වණ රෝපණය කරන, අක්මාව උත්තේජනය කරන, වාජීකරණ, මුත්‍රකාරක, හෘදයට හිතකර ආදී ගුණයන් රැසක් සහිතයි. දසමූල අරිෂ්ටය වැනි දසමූල යෙදෙන ඖෂධ, පාටලී තෛලය ආදිය පළොල් යොදා නිපදවයි.
අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිට්ස් රෝගයට පළොල් පොතු කෂාය බොන්නට දෙයි. ශුක්‍ර දුර්වලතාවයට සහ ඉක්කාවට මල් කල්කය සේවනය කළ යුතුය. පිළිස්සුම්වලට පලොල් දලු යුෂ ආලේප කරයි. මධුමේහයට පළොල් කොළ සුවඳැල් හාල් සමඟ කොටාගත් පිටි තම්බා උදය හවස තෙ දිනක් කෑමට ගත යුතුය. උදර වේදනාවට මුල් කෂාය දෙයි. තදබල කැස්සට පළොල්මල් යුෂට මී පැණි දමා බීමට දෙයි. පළොල් මුල් එළකිරෙන් අඹරා එම කිරෙන්ම දියකොට සීනි දමා දිනපතා බීමට දීම හා උතුරට වැඩුනු මුලක් ගෙන දෙහි ඇඹුලින් අඹරා එළකිරි දමා බීම මව්කිරි වර්ඩවන ප්‍රතිකාරයකි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වනස්පති ෆේස්බුක් සමූහයේ ඇතිවූ සංවාදයක් ඇසුරින්