දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, August 1, 2016

මාංශභක්ෂක ශාකවල ඖෂධීය භාවිතාවන්

කඳුලැස්ස
ඇතැම් ශාක ස්වභාදහමින් උරුම වී ඇති විශේෂ උපක්‍රම භවිතා කර තම පොෂණ අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම සඳහා සතුන් ගොදුරු කර ගන්නා අතර එවැනි ශාක විශේෂ මාංශභක්ෂක ශාක ලෙස හඳුන්වයි. ලෝකයේ ඇතැම් වනාන්තර තුල එලෙස විශාල ක්ෂීරපායී සතුන් පවා ග්‍රහණය කර ගත හැකි ශාක විශේෂ ඇති බව හඳුනාගෙන ඇතත් මෙරටින් හමුවන්නේ කුඩා කෘමින් ගොදුරු කරගන්නා ශාක විශේෂ කිහිපයක් පමණි. උද්භිද විද්‍යා මූලාශ්‍රවලට අනුව දේශීයව උද්භිද කුල 3 කට අයත් ශාක ගණ 3ක් යටතේ වර්ගීකරණය කර ඇති විශේෂ 19 ක් මාංශභක්ෂක ශාක ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව Droseraceae කුලයේ Drosera ගණයට අයත් දේශීය ශාක 3 ක්ද, Nepenthaceae කුලයේ Nepenthes ගණයට අයත් මෙරටට ආවේනික එක් ශාකයක්ද Lentibulariaceae කුලයේ Utricularia ගණයට අයත් දේශීය ශාක විශේෂ 14 ක් සහ මෙරටට ආවේනික එක් ශාකයක් ද, මේ යටතට ගැනේ. 

බාඳුරා කෙන්ඩිය
Drosera ගණයට අයත් මාංශභක්ෂක ශාක වන්නේ වටැස්ස (Drosera burmannii), කඳුලැස්ස (Drosera indica) සහ අඩහඳඇස්ස (Drosera peltata) යන ශාක විශේෂයි. 

මෙරටින් හමුවන Nepenthes ගණයට අයත් එකම මාංශභක්ෂක ශාකය වන්නේ  මෙරටට ආවේනික විශේෂයක් වන බාඳුරා (Nepenthes distillatoria) ය.

බාඳුරා මල්
Utricularia ගණයට අයත් මාංශභක්ෂක ශාක අතරින් Utricularia caerulea, Utricularia reticulata සහ Utricularia scandens යන ශාක සිංහලෙන් නිල් මොනරණස්ස ලෙසත් Utricularia aurea ශාකය දිය පාසි හෙවත් කහ මොණරැස්ස ලෙසත් හඳුන්වා ඇත. එම ගණයට අයත් Utricularia australis, Utricularia bifida, Utricularia gibba, Utricularia graminifolia, Utricularia hirta, Utricularia minutissima, Utricularia polygaloides, Utricularia stellaris, Utricularia striatula සහ Utricularia uliginosa යන දේශීය විශේෂ සඳහාත් මෙරටට ආවේනික ශාකයක් වන Utricularia moniliformis  සඳහාත් භාවිතා වන සිංහල නම් ගැන සඳහනක් නැත. 

දිය පාසි / කහ මොණරැස්ස
මේ ශාක අතුරින් කඳුලැස්ස (Drosera indica) ශාකය ගැන ඔසුතුරු විසිතුරු 4 වන කෘතියෙහි මෙලෙස සඳහන් වේ. "කඳුලැස්ස සත්වභක්ෂක කුඩා පැළෑටියකි. කොළ වැනි කොටස් හීනි දිග රැහැන් සේ පෙනේ. මේ රැහැන් සමාන කොළයේ කුඩා ගැට පවතී. ගැට  සහිත මේ කොළ හැම පැත්තටම විහිදී යයි. මේ ගැටවල එක්තරා ආමිලික ශ්‍රාවයක් තිබේ. එය හිරු එළියට බබලයි. කුඩා සතුන් ඇදී එ්ම පිණිස එසේ වේ. යම් විටෙක කුඩා සතෙකු ගැටිත්ත මත වැසුවොත් ආම්ලික මැලියම නිසා ඉගිලී යා නොහැකි වේ. මේ අතරේ පැළෑටියේ සියළුම කොළ සතා වසාගෙන නැමී ගුලි වෙයි. එයින් සතා කොළ ගොන්නේ හිර වේ. ඒ අතර කොළවල පවතින සාරයෙන් සතා පැළෑටියට ජීර්ණ වේ. කාර්ය නිමාවූ පසු පෙර පරිදි කොළ දිගහැරේ."

නිල් මොණරැස්ස
"මෙම පැළෑටිය සහමුලින් ගෙන ගෙඩි පැසවීමට, වණ තුවලවල කොස්ස කැපීමට, වණ සුද්ද වීමට ඖෂධයක් වශයෙන් යොදා ගනී. මෙහි මුදුනේ ඇති පිණි බිදු තනිකර පණුකැවිල්ලකට දැමූ විගස පනුවන් වඳවී යයි. ඇස් වෙදකමට, ගෙඩි වණ හා සර්ප විෂට ගනී. පැළෑටිය මුදුනේ ළා රතු පැහැති මල් හා කොත්තමල්ලි ගෙඩි වැනි කුඩා ගෙඩි ඇත. ශ්වේත කුෂ්ඨ (ශවිත්‍ර) වලදී හමේ වරණය ඇති කිරීමට ආලේප සඳහා යොදා ගනී."

"කඳුලැස්ස හෝමියෝපති වෙදකමේ ශ්වසන පද්ධතියේ විශ්ෂ්ඨ ලෙස ක්‍රියා කරන ඖෂධයක් ලෙස දක්වා ඇත. දිගට පවතින කැස්ස, උගුරේ ඇවිලිල්ල, ඉක්කාව, පීනස ආදියේදී ද යෙදේ".

වටැස්ස
මෙරටට ආවේනික මාංශභක්ෂක ශාකයක් වන බාඳුරා (Nepenthes distillatoria) කාෂ්ඨීය පත්‍ර සහිත වැලකි. මෙහි ඇතැම් පත්‍රවල විකරණයක් ලෙස ස්වභාවිකව නිර්මාණය වූ කෙන්ඩියක් පිහිටා ඇත. මෙහි ඇති දර්ශනීය බව, ශ්‍රනිථිමය ශ්‍රාව හෝ කුතුහලය හේතුවෙන් කෙන්ඩිය දෙසට ඇදී එන කෘමීන් එ් තුලට ලිස්සා වැටෙන අතර ඔවුන් ජීර්ණය කර ශාකයේ ඇතැම් පොෂණ අවශ්‍යතා සපුරා ගනී.

පාද ඉදිමීම, ගෙඩි වෙදකම, කක්කල් කැස්ස ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට බාඳුරා ශාකයේ දළු, වැල් සහ කෙන්ඩියෙහි අඩංගු දියරය භාවිතා කරන බව සඳහන් වේ. පියන නොඇරැණු බාඳුරා කෙණ්ඩියේ වතුර කපුටා හඬලන්නට පෙර ගෙන උදේ හිස් බඩ දින 7 ක් පානය කිරීම කක්කල් කැස්සට ප්‍රතිකාරයක් ලෙස දක්වා ඇත. බාඳුරා දළු විට කන හුණු සමඟ අඹරා ආලේප කිරීමෙන් ගෙඩි පිපිරෙන බව සඳහන් කර ඇත. 

නිල් මොණරැස්ස (Utricularia reticulata) ශාකය අක්ෂි රෝග, සර්ප විෂ සහ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතාකරන බවත් එම ශාකය සොයා ගැනීමට නොමැති විටෙක (ප්‍රතිනිධිය ලෙස) කඳුලැස්ස ශාකය භාවිතා කළ හැකි බවත් ඔසුතුරු විසිතුරු කෘතීන්හි දක්වා ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ 2012 රතු දත්ත ලැයිස්තුව
විශේෂ ස්තුතිය_ තොරතුරු රැස්කර ගැනීමෙදී සහය වූ Tharanga Wijewickrama මහත්මයාට 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
අඩහඳඇස්ස 








Share:

Monday, July 25, 2016

දවුල් කුරුඳු / කුඩුදවුලා [Kudu Daula / Daul Kurundu] (Cinnamomum cassia)


කුඩුදවුලා සෘජු කඳක් සහිතව වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. සුලබව හමුවන්නේ පහතරට තෙත් කලාපයේ ය. පත්‍ර ලංසාකාර වන අතර සර්පිලාකාරව පිහිටයි. පත්‍ර අග්‍රය අති තීව්‍ර වේ. නම්‍යශීලී දළු රීදී පැහැති බූවකින් යුක්තය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් කහ කොළ පැහැතිය වන අතර සුවඳවත් ය. කොළ පැහැති ඵලය සෙ.මි. 1 පමණ විශ්කම්භයකින් යුක්ත වේ. ඒවා ඉඳුණු පසු තද දම් පැහැයක් ගනී. මෙම ශාකයේ කොළ කැබලිවලට කඩා ජලය ස්වල්පයක් මිශ්‍රකර කළවම් කල විට සෑදෙන යුෂ (නානු) දේශීය රස කැවිලි වර්ගයක් වන ආස්මී සෑදීමට භාවිතා කරයි. දේශීය දැව අවශ්‍යතා සඳහා ද යොදා ගන්නා දවුල් කුරුඳු ශාකය Lauraceae කුලයට අයත් ය. 

හොරි, දද වැනි චර්ම රෝග සඳහා ප්‍රතිකාර කීරීමේදී බාහිර ආලේපන ලෙස දවුල් කුරුඳ ඇට වලින් සිඳ ගන්නා තෙල් භාවිතා කරන බව සඳහන් වේ. තවද කාන්තාවන්ගේ නිසියාකාරව ඔසප් නොවීම සහ ඔසප් නොවීම නිසා ඇති වන සංකූලතාවයන්ට ප්‍රතිකාර කිරීමේදී ඖෂධ තැනීමට දවුල් කරුඳ පොතු චූර්ණය භාවිතා කරයි. අසථි භග්න සඳහා සිදු කරන දේශීය ප්‍රතිකාර වලදී දවුල් කුරුඳ පොතු, අඹ පොතු, මී ඇට සමග කොටා අඹරා, ඇඹුල් දොඬම් යුෂින් කකාරා භග්න ස්ථානවල ගැල්වීම සිදු කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
Share:

Monday, July 18, 2016

බදුල්ල [Badulla] (Semecarpus sp.)

Semecarpus නම් උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 12ක් ශ්‍රි ලංකාවෙන් වාර්ථා වී ඇති අතර ඒ සියල්ල අප රටට ආවේණික වේ. එ් අතරින්  Semecarpus acuminata සහ Semecarpus walkeri බදුල්ල ලෙසත්,  Semecarpus coriacea හම් බදුල්ල ලෙසත්,  Semecarpus gardneri උයන් බදුල්ල ලෙසත් Semecarpus nigro-viridis ගැට බදුල්ල  ලෙසත්  Semecarpus obovata කළු බදුල්ල ලෙසත්, Semecarpus subpeltata මහ බදුල්ල ලෙසත් හඳුන්වා ඇත. ඊට අමතරව ඉන්දියාවට දේශීය වූ මෙරට වගා කර ඇති Semecarpus anacardium හෙවත් කිරි බදුල්ල ශාකය සෙංකොට්ටං නමින් ප්‍රචලිතය. එයද අතුළුව බදුල්ල වර්ග සංස්කෘත භාෂාවෙන් හල්ලාතක යනුවෙන් හඳුන්වයි. Semecarpus coriacea හෙවත් හම් බදුල්ල ශාකය ගැන ඖෂධීය ශාක සංග්‍රයෙහි විස්තර දක්වා ඇත. බදුල්ල විශේෂ කිහිපයක් තර්ජනයට ලක්විය හැකි අවස්ථාවක ඇති අතර ඇතැම් විශේෂ තර්ජිත සහ අතිශයින් තර්ජිත ශාක ලෙස වර්ගීකරණය කර ඇත. 

බදුල්ල ශාකයෙහි පොත්ත සිනිඳු සහ ඝණකම් වන අතර සරල එ්කාන්තර පත්‍ර ලංලංව පිහිටා ඇත. කෙටි නටුවක් සහිත ඝණකම් පත්‍රයක් සෙ.මි. 10-16 පමණ දිගින් යුක්තය. බොහෝ සේ බෙදුනු බහු අක්ෂ පුෂ්ප මංජරියක සුදු කහ පැහැති කුඩා මල් හට ගනී. ආවේනික හැඩයකින් යුක්ත කොළ පැහැති බදුල්ල ගෙඩි ඉදුණු පසු රතු පැහැයක් ගනී. මෙම ශාකයේ කිරි මිනිස් සමට ප්‍රබල ආසාත්මිකතාවයක් දක්වන නිසා ගෙවතුවල වැවීමට ඉඩ නොතබා විනාශ කර දැමීමට ඇතමුන් පෙළඹී ඇත. එලෙස තර්ජනයටද ලක්වී ඇති බදුල්ල ශාක Anacardiaceae කුලයට අයත් ය.


අර්ශස්, උඳුගොව්වා කෑම, මස්තිෂ්ක දුබලතා, නාඩි දුබලතා, අපස්මාරය, ගුල්ම රෝග, උදර රෝග, ඉදිමුම්, පක්ෂඝාත, ආමවාත, පණු රෝග, ලාඳුරු, ඇදුම, ක්ෂය රෝගය, ලිංගික දුබලතා, ක්ෂය රෝග, වණ, කාන්තා රෝග, දියවැඩියාව ආදී රෝග බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ සැකසීමේදී බදුල්ල ශාකයේ ඇට, ඇටවලින් ලබා ගන්නා තෙල් සහ ගෙඩි භාවිතා කරයි. මෙම බදුල්ල ශාක කොටස් ඖෂධ සඳහා භාවිතා කිරීමට පෙර පොතපතෙහි සඳහන් සම්මත ක්‍රමයන්ට අනුව විෂ ඉවත්කර ශෝධනය කර ගත යුතු බව අවධාරණය කර ඇත.


ශෝධනය කරගත් බදුල්ල ඇට හෝ ලෙලි පුලුස්සා දුං ඇල්ලීම අර්ශෂ් ගෙඩිවලට ප්‍රතිකාරයකි. උඳුගොව්වා කෑම නම් චර්ම රෝගයට බදුල්ල ගෙඩි යුෂ මිපැණි සමඟ ආලේප කරයි. ශරීර ශක්තිය වර්ධනය වීමට බදුල්ල ඇට තෙල් බිංදු 2ක් හෝ 3ක් එළකිරි සමඟ මසක් පුරා පානය කිරීමට නියම කර ඇත. මේ ආදී ලෙස බදුල්ල ශාක කොටස් භාවිතා කර සිදුකරන ප්‍රතිකාර රැසක් ගැන දේශීය වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වේ. එමෙන්ම හල්ලාතකී නාමය යටතේ නිශ්පාදිත ඖෂධ වර්ගද රැසක් ඇත.


මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, සිරි ලක ගස්කොළන් අත් පොත සහ 2012 රතු දත්ත පොත

බදුල්ල ගෙඩිවල සේයාරුව_ වක්කඩ ෆේස්බුක් සමූහයෙන්



Share:

Monday, July 11, 2016

සේපාලිකා [Sepalika] (Nyctanthes arbor-tristis)


සේපාලිකා මීටර් 10 දක්වා උසට වැඩෙන කුඩා බහුවාර්ෂික ශාකයකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන්ද වර්ධනය වේ. සරල සම්මුඛ පත්‍ර රළු ස්වභාවක් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා තැඹිලි පැහැ නටුවක් සහිත සුදු පැහැති මල් ඉතා අලංකාරවත් මෙන්ම සුවඳවත් ය. රාත්‍රියට පිපෙන මෙම මල් උදැසන වන විට හැලී යයි. ගෙවතු අලංකරණය සඳහා ද  වැවිය හැකි සේපාලිකා ශාකය Nyctanthaceae කුලයට අයත් ය.

චර්ම රෝග, පණු රෝග, උණ, වාත රෝග, උදරාබාධ, බඩවැල්වල රෝග, පිත් රෝග, අර්ශස්, කෘමි රෝග, ආමවාතය, කැස්ස, ඇදුම, ක්ෂය රෝගය, මාංශපේෂිවල දැඩි බව, හිස්හොරි ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සේපාලිකා ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ඇට අැතුලු සියළු කොටස් භාවිතයට ගනී.

සේපාලිකා ඇට ජලයෙන් අඹරා හිස ගැල්වීමෙන් හිස් හොරි, කොරපොතු, අකලට හිස කෙස් වැටීම ආදි රෝග තත්වයන් සුවවී හිස කෙස් වර්ධනය වීම සිදු වේ. ඇදුම, ක්ෂය රෝගය ආදියේදී සේපාලිකා මුලේ පොතු චූර්ණය රක්තිකා (මංචාඩි / මඩතිය ඇටයක ප්‍රමාණය) 2 ක් බුලත් කොළ යුෂයෙන්  බීමෙන් ඝන වූ සෙම බුරුල් වී පිටවීමෙන් සහනයක් ලැබෙ යි. චර්ම රෝගවලදී සේපාලිකා පොතු චූර්ණය දෙහි ඇඹුලෙන් අනා බාහිර ව ආලේප කිරීමෙන් ගුණ ලැබේ. සර්ප විෂට මෙම චූර්ණය අරත්ත අල යුෂින් යෙදීමට නියම කර ඇත. සේපාලිකා කොළ යුෂ මී පැණි සහ ලුණු සමග බීමෙන් වට පණුවන් හා කිරිපණුවන් ඉවත් වෙයි. එම යුෂ ළදරුවන්ට ද දිය හැකි ප්‍රවේසම් සහිත මෘදු විරේචනයකි. ආමවාතය හෙවත් ආතරයිට්ස් රෝගය නිසා සිදුවන සන්ධි ඉදිමුමේදී කොළ අඹරා පැලැස්ර දැමීමත් කොළ යුෂ අවුස දෙකක් (60ml) බොන්නට දීමත් වේදනාව සමනය කරන ප්‍රතිකාරයන් ය.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්

Share:

Monday, July 4, 2016

තොලබෝ [Tolabo] (Crinum asiaticum)


සිංහලෙන් විෂමණ්ඩල යනුවෙන්ද හඳුන්වන තොලබෝ විශාල බල්බයක් සහිතව වර්ධනය වන දේශීය බහු වර්ෂික ශාකයකි.   තරමක් මාංසල සරල පත්‍ර මීටර් 1.5 දක්වා වර්ධනය වේ. පුෂ්ප මංජරිය ද්වීලිංගික විශාල පුෂ්ප සහිත ඡත්‍රයකි. අලංකාර පුෂ්ප සුගන්ධවත් ය. ඡත්‍රයක පුෂ්ප 10-50 අතර සංඛ්‍යාවක් හට ගනී. පෙබරවාරි සිට මැයි දක්වා කාලයෙහි මල් හට ගනී. උප ගෝලාකාර ඵලයක් තුල බීජ 1-2 දරයි. මෙම ලක්ෂණ සහිත මීට වඩා කුඩා ශාකයක් ඇති අතර එය හීං තොලබෝ (Crinum defixum) යනුවෙන් හඳුන්වයි. විසිතුරු ශාකයක් ලෙස ගෙවතු අලංකරණය සඳහා ද වැවිය හැකි තොබෝ ශාක Amaryllidaceae කුලයට අයත් ය.

ක්ෂය රෝගය, ඇදුම, ගෙඩි, අභ්‍යයන්තර තුවාල, වණ, අජීර්ණ, උදරාබාධ, පණු රෝග, ප්ලීහා රෝග, වරින්වර ඇතිවන උණ, ශාරීරික දුබලතා, මුත්‍රඅඩස්සිය, සියළු ආකාරයේ විෂ, මේදෝ රෝග, අක්මා රෝග, ගුල්ම රෝග, වේදනා, කාන්තා ලිංගික ප්‍රදේශය ආශ්‍රිත රෝග, රක්ත දෝෂ, වාත රෝග, ආහාර අරුචිය, හිසරුදා, ඉදිමුම්, දන්ත රෝග, වකුගඩු රෝග, චර්ම රෝග ආදී විවිධ රෝගබාධ රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට තොලබෝ ශාකයේ කොළ සහ අල භාවිතා කරයි.

නියපිරිත්ත කෑවිට, සන්ධි ඉදිමුමට සහ උලුක්කුවට තොබෝ කොළ එඬරු තෙල් සමඟ අඹරා මදක් රත්කර ප්‍රලේප කරයි. කණ්කැක්කුමට මඳ ගින්නෙන් කකාරාගත් තොලබෝ කොළ ඉස්මට ලණු ස්වල්පයක් මිශ්‍රකර බිංදු 1-2 කණට දමයි. මෙම පත්‍ර තැම්බූ කෂාය කැස්සට ප්‍රතිකාරයකි. ගල් තැල්මට ප්‍රතිකාරයක් ලෙස තොලබෝ අලයක් දෙකට පලා ගෙන්දගම් කැබැල්ලක් එයට දමා උණු අළුවේ පුලුස්සා අඹරා ගෑම සිදු කරයි. අත්පා ඇඟිලි අග ඇතිවන කුඩා බිබිලි හා චර්ම රෝග ආදියට පොඩි කරන ලද පත්‍ර එඬරු තෙල් හා මිශ්‍රකර ආලේප කරයි. ග්‍රහ දෝෂ, ශාන්තිකර්ම, බලිතොවිල්, හදිහූනියම් කිරීමට සහ ඒවා කැපීමට ආදී ගුප්ත විද්‍යා කටයුතු බොහෝමයක් සඳහා ද මෙම අලය භාවිතා කරයි. තොබෝ ශාකය බුද්ධිවර්ධක, වාජීකරණ, විරේචක, බලකාරක, මුත්‍රකාරක ආදී ගුණයන් රාශියක් සහිතයි.

තවද කමතේ ගොයම් පාගන විට තොලබෝ කොළ වලල්ලක් මෙන් රවුමට හකුලා කොළය මැදින් තබනු ලබන අතර මෙය මුත්තා ලෙස හඳුන්වයි. එමෙන්ම හිසතෙල් ගෑමේ සිංහල අවුරුදු චාරිත්‍ර සඳහාත්, මඟුල් පොරුවේ අටමල සැදීමටත් යොදා ගනී. භවභෝග සම්පත් ලබාදිය හැකි සුවිශේෂි ශාකයක් ලෙස මතයක් ඇති නිසා ඇතමුන් නිවෙස අසල මෙම ශාකයක් වවා ගැනීමට උනන්දුවක් දක්වයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
හීං තොලබෝ (Crinum defixum) 
Share:

Monday, June 27, 2016

බක්මී [Bakmee] (Nauclea orientalis)

බක්මී විශාල පත්‍ර සහිතව අතු පැතිරී වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. ඕවලාකාර හැඩයෙන් යුත් විශාල පත්‍ර සම්මුඛව පිහිටයි බක්මී මල් අලංකාරවත් මෙන්ම ඉතා සුවඳවත් ය. ඉඳුණු බක් මී ගෙඩි පළතුරක් ලෙස ආහාරයට ගත හැකි ය. සිංහල ගීත සාහිත්‍යයෙහි බක්මී මල පාදක කර ගත් නිර්මාණ රැසක් හමු වෙයි. බක් මී Rubiaceae කුලයට අයත් ශාකයකි.

ඇතමුන් බක්මී සහ බකිනි එකම ශාකය ලෙස සලකතත් එය නිවැරදි නොවන බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් වේ. එහි මෙසේ සඳහන් වේ " බක්මී සහ බකිනි දෙකම එකම වර්ගයක් වශයෙන් ඇතැම් පළාත්වල සලකති. එහෙත් වචන දෙකේ මිස ගස් දෙකේ කිසිම සමානකමක් නැති මේ ගස් දෙක වෙන් වශයෙන් අඳුනා ගැනීම ප්‍රයෝජනවත් ය. බක් මී පොතු වෙනුවට බකිනි පොතු වරදවා ගතහොත් නැති අසනීප ඇති විය හැකි හෙයිනි. බකිනි දර පිණිස මිස ඖෂධ පිණිස ගැනීමට නියම කළ තැනක් දකින්නට නැත."

ගඩු, විසප්පු, අර්බූද, වණ, තුවාල, අතීසාරය, රක්ත අතීසාරය, පාචනය, දත් කැක්කුම, ජලභීතිකාව, සර්ප විෂ, මුත්‍රා ගල්, මුත්‍ර අඩස්සිය, සෙංගමාලය, අක්ෂි රෝග, මුඛ රෝග, හෘද රෝග, ක්ෂය රෝගය, උණ ආදී රෝග අවස්ථා බොහෝමයක් සදහා ප්‍රතිකාර කිරීමට බක්මී ශාකයේ කොළ, දළු, පොතු, මුල්, ගෙඩි ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි. බක් මී වේදනාව සමනය කරයි. ඉදිමුම් නසයි. වණ ශුද්ධකොට මස ලියලවයි. තනකිරි වඩවයි. විෂ නසයි. චර්ම විකෘති තාවයන් යථා තත්වයට පත් කරයි. පිපාසය සංසිඳුවයි.

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන් 
Share:

Monday, June 20, 2016

අක්මෑල්ල [Akmella] (Spilanthes sp.)

හීං අක්මෑල්ල


Spilanthes නම් උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 3ක් පොදුවේ අක්මෑල්ල ලෙස හඳුන්වා ඇත. Spilanthes iabadicensis හීං අක්මෑල්ල ලෙසත්, Spilanthes calva මහ අක්මෑල්ල ලෙසත්, Spilanthes paniculata අක්මෑල්ල ලෙසත් හඳුන්වනු ලැබ ඇත. පොදුවේ අක්මෑල්ල ශාක සෙ.මි. 30 පමණ ඉහලට වැවෙන, පොළවට සමාන්තරවද වර්ධනය වන දුර්වල කඳක් සහිත කුඩා වාර්ෂික පැළෑටි වේ. අක්මෑල්ලවල කඳ හා අතු තරමක්ද කොළ ඊට මදක් වැඩියෙන්ද බූව සහිතය. කඳ ලා රතු පැහැයක් ගනී. කුඩා ශීර්ෂක වල කහ පැහැති මල් හට ගනියි. ඵලය කුඩා චර්මලයකි. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. හීං අක්මෑල්ල ශාකයේ අනෙක් වර්ගවලට සාපේක්ෂව කොළ ගහනය අඩු අතර දිගු මල් නටුව කැපීපෙනේ. අක්මෑල්ල විශේෂ Asteraceae කුලයට අයත් ය.

දත් රෝග, මුඛ රෝග, හොරි, දද, කුෂ්ඨ, වණ, තුවල, ඔඩු, අර්බුද, මුත්‍ර ගල්, ආමවාතය, කුසගිනි මදිකම, අතීසාර, සර්ප විෂ, හතිය, අධික ලෙස මුඛ ශ්‍රාවයන් ඇති වීම ආදී රෝග අවස්ථා රැසකට අක්මෑල්ල ශාකයේ කොළ, මුල්, මල් සහ සම්පූර්ණ ශාකයමත් යොදා නිපදවූ ඖෂධ භාවිතා කරයි. අක්මෑල්ල මුල් දත් කැක්කුමට බෙහෙවින් ගුණදායකය. මෙම ශාකයේ මල් සහ කොල වේදනාව සහිත දත්වලට තබා විකාගෙන සිටීමෙන් වේදනාව අඩුවේ. උගුරේ සහ විදුරුමස්වල ආසාදන සඳහා ද සෙම්ගෙඩි වලට ද මෙම ශාකය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. වාත, ඉඳිමුම්, සෙම් රෝග හා වණ තුවාල ආදිය සුව කරන ඔසුවක් යැයි ආයුර්වේද, යුනානි හා දේශීය වෛද්‍ය ශ්‍රාස්ත්‍ර වල දැක්වේ. දේශීය පිළිස්සුම් වෙදකමේ භාවිත කරන තෙල් වර්ග සෑදීමටද අක්මෑල්ල යොදා ගනී. අක්මෑල්ල දළු කෝමාරිකා යුෂින් අඹරා ආලේප කිරීමෙන් ගින්නෙන් හා උණු ද්‍රව්‍යයෙන් වූ පිලිස්සීම් සුව වේ. හිසරදයට අක්මෑල්ල දළු අඹරාගත් ප්‍රලේපය නලල මත තැවරීමෙන් සහනය ලැබෙයි. පවනේ වියලාගත් අක්මෑල්ල කොළ චූර්ණය තොල් සහ විදුරුමස් ආශ්‍රිත රෝග හඳහා ද, කෘමිනාශනය පිණිස ද යොදා ගැනේ. හනු සන්ධිය ඉදිමී වේදනාව ඇති විට අඹරාගත් අක්මෑල්ල පිටතින් ආලේප කෙරේ.

ඉන්දීය වෙදැදුරන් මෙම ශාකය විවිධ ස්ත්‍රි රෝග, ප්‍රසව රෝග හා ළදරුවන්ගේ චර්ම රෝග ආදියට ඔසුවක් සේ භාවිතා කරයි. පිලිපීන ජාතිකයෝ සම්පූර්ණ අක්මෑල්ල ශාකය කෂාය කර අතීසාරයට යොදති. දේශීය ගව වෙදකමේදී අක්මෑල්ල භාවිතා කරයි. අක්මෑල්ල ශාක වේදනා නාශක, විෂබීජ නාශක සහ මුත්‍රකාරක ආදී ගුණයන්ගෙන් යුක්ත ය.

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක, ඔසුතුරු විසිතුරු සහ කෘති සහ අන්තර්ජාලයෙන්
මහ අක්මෑල්ල
Share:

Monday, June 13, 2016

ගොඩ කදුරු [Goda Kaduru] (Strychnos nux-vomica)

මෙය මීටර් 15 දක්වා උසට වැඩෙන බහුවාර්ෂික ශාකයකි. දිලිසෙන සුලු තද කොළ පැහැති පත්‍ර ඕවලාකාරය. මල් සුදු පැහැතිය. ඵලය සෙ.මි 3.5-5.5 පමණ විශ්කම්භයක් සහිත ගෝලාකාර බදරියකි. එය කොළ පැහැති වන අතර ඉඳුණු විට තැඹිලි - කහ පැහැයට හැරේ. ඵලය ඇතුලත සුදු පැහැති ද්‍රාවණයක් පවතින අතර ඒ තුල බීජ 1-6 දක්වා ප්‍රමාණයක් පවතී. ගොඩ කදුරු Loganiaceae කුලයට අයත් ශාකයකි.

චර්ම රෝග, උණ, නින්ද නොයෑම, කැස්ස, ඔස්ටියෝ ආතරයිටිස්, රූමටික් ආතරයිටිස්, අංශභාගය, ස්නායු පද්ධතියේ ආබාධ, පණු රෝග, හෘද රෝග, ඉදිමුම්, අර්ශස්, වණ, කොළරාව, මීයන් සපා කෑම, මීමැස්මොර, රුධිර සංසරණ පද්ධතිය සංකූලතාවයන්, අක්ෂි රෝග, පෙනහළු රෝග, කුසගිනි මදිකම, ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයන් මෙම ශාකයේ බීජත්, අවගේෂව කොළ, පොතු, මුල් ආදියත් භාවිතා කරයි. ගොඩ කදුරු ඇට විෂ මරා යොදා ගත යුතු ඖෂධයකි. එසේ නොවුණහොත් මරණය දක්වා වන ආබාධ ඇති විය හැකිය.

ගොඩ කදුරු විෂ වෙදකම සඳහා බහුලව භාවිතා කරන ශාකයකි. ගොඩ කදුරු කොළ කැඳ පෙවීම, කඳුරු කොළ පවනේ වියළා කුඩුකර මී පැණි සහ සීනක්කාරම් සමග අඹරා තේ හැදි භාගයක් බීමට දීම, මෙම කොළ කහ, ලුණු දමා කොට මලවා සර්ප දෂ්ඨ මුඛයේ බැඳීම, අමු කොළ තම්බා හුමාලය දෂ්ඨ ස්ථානයට ඇල්ලීම ආදිය විෂ වෙදකමේදී භාවිතා කරන ප්‍රතිකාර කිහිපයකි. සන්ධි වාත ආම වාත ආදියේදී ගොඩ කරදුරු ඇට අඹරා ආලේප කිරීම සිදු කරයි. දේශීය වෛද්‍යවරු අබිං නොමැති අවස්ථාවලදී ගොඩ කදුරු ඇටවලින් පිළියෙල කරගත් කෘතිම අබිං වර්ග භාවිතා කළ බව සඳහන් වේ. ගොඩ කදුරු කුසගිනි වඩවන, කාමෝදීපක, වේදනා නාශක ආදී ගුණයන් රැසක් සහිතයි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්



Share:

Monday, June 6, 2016

හුලංකීරිය / ඈරුක්කා [Hulankeeriya / Arukka] (Maranta arundinacea)


හුලංකීරිය මීටරයක් පමණ ඉහලට වර්ධනය වන කුඩා පැලෑටියකි. ශාකයේ කඳ ප්‍රකටව දක්නට නැතත් පත්‍ර වෘන්ත එකතුවීමෙන් කඳක් ආකාරයෙන් දිස් වේ. හරිත පැහැ පත්‍රයක් සෙ.මි. 10 දක්වා වර්ධනය වේ. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. මෙහි ඖෂධීය වටිනාකමක් සහිත කොටස වන අල සුදු පැහැතිය. නිල් පාට අල සහිත ප්‍රභේදයක්ද ඇති බව සඳහන්. හුලංකීරිය අලවලින් ලබා ගන්නා පිටි "අරලුප් පිටි" ලෙස හඳුන්වයි. මෙම පිටිවලින් නොයෙක් ආකාරයේ ගුණයෙන් ඉහල ආහාර සකසා ගත හැකිය. හුලංකීරිය Marantaceae කුලයට අයත් ශාකයකි.

අජීර්ණය, හෘද රෝග, රක්ත පිත්ත, මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, උණ, ශරීරයේ දැවිල්ල, චර්ම රෝග, කැස්ස, ස්වාසනාළ ප්‍රදාහය, ප්‍රවාහිකා, ග්‍රහණි, වලිප්පුව ආදී රෝග බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට හුලංකීරිය අල යොදා ගනී. හුලංකීරිය අල තම්බා කෑමට දීම හෝ අල යුෂ බොන්නට දීම වලිප්පු රෝගීන් සඳහා ප්‍රතිකාරයකි. අහාර විෂ වූ විට සහ සර්ප විෂට හුලංකීරිය අල යුෂ බොන්නට දෙයි. ශරීර දාහයට, මුත්‍ර දාහයට සහ මලබද්ධයට හුලංකීරිය අල කොටා සාදා ගත් කැඳ ගුණය. එමෙන්ම හුලංකීරිය අල පෙති කපා වියළා කුඩු කර ගත් පිටිවලින් කැඳ සාදා බීමද එයටම ප්‍රතිකාරයකි. හුලංකීරිය අල තම්බා පොල් සමඟ ආහාරයට ගැනීමෙන් අහාර දිරිවීම පහසු කරන අතර මලබද්ධයද සුව වෙයි. අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයටද හුලංකීරිය බෙහෙවින් ගුණදායකය. එමෙන්ම බඩවැල ආශි‍්‍රත තුවාල සුව කිරීමේ අපූරු ගුණයක්ද හුලංකීරිය අලව සතුව පවතී. මෙම අල ලේ පිටවන අර්ශස් රෝගය සඳහා ප්‍රතිඵලදායක ඖෂධිය ආහාරයකි. නිතර නිතර මලපහ වන රෝගීන්ගේ රෝග තත්ත්වය සමනයට හුලංකීරිය සමත් ය. කිරි රසින් යුත් ළපටි අල අමුවෙන්ද කෑ හැකිය. හුලංකීරිය විෂ නාශක, ලිංගික ක්‍රියාකාරකම් උත්තේජනය කරන, මුත්‍රකාරක ආදී ගුණයන් රැසක් සහිතයි. 

ප්‍රධාන අහාර වේලටද හුලංකීරිය අල තම්බා කෑමට ගැනීමට පුලුවන. එයට පොල් හෝ ලුණුමිරිසක් එකතු කර ගත හැකිය.  හුලංකීරිය අල පෙති කපා වියළා එයට පොල්කිරි සහ සීනි දමා දෝසී මෙන් සකසා ගත හැකිය. හුලංකීරිය පිටිවලින් කැඳ පිළියෙළ කිරීමේදී මුලින්ම ලුනු කැඳක් සාදා එයට පොල් කිරි එකතු කිරීමේදි පොල් කිරිවලට මෙම පිටිද සෑහෙන පමණට දිය කර එය කැඳට එකතු කර හැඳිගා ගත යුතුය. එවිට එය සව් මෙන් උකු බවට පත් වේ. එය කිතුල් හකුරු කැබැල්ලක් සමඟ මද උණුසුමින් බීමට ගත හැකිය. මෙම කැඳ මිශ්‍රණය හොඳින් නිවුන පසු ජල්ලි මෙන් කැටි ගැසේ. එවිට කිතුල් පැණි, පොල් පැණි හෝ සීනි සමඟ හැන්දකින් කෑ හැකිය. ඇතැම් පලාත්වල හුලංකීරිය පිටිවලින් රොටී සාදා කෑමට ගනී. හාල් පිටි අඩකට මෙම පිටි කලවම් කර එයට පොල්, ලුණු, රතුලූනු, අමු මිරිස්, කරපිංචා අදිය අවශ්‍ය ප්‍රමාණයට යොදා සියල්ල එකට අනා කැන්ද කොළවල වඩා තම්බා ගනී. බටහිර රටවල කේක්, පුඩිං වැනි ආහාර වර්ග සෑදීම සඳහාත් විශේෂයෙන් ළදරුවන් සඳහා නිපදවන ගුණාත්මක කුකීස් වර්ග නිශ්පාදනයටත් හුලංකීරිය පිටි යොදා ගනී. 

හුලංකීරිය අල හොඳින් සෝදා පිරිසිදු කොට කැබලිවලට කපා ජලයෙහි දමා මිරිකා පෙරාගත් යුෂ රැයක් නිශ්චලව තබා සෙමින් ජලය පෙරා ගැනීමෙන් පිටි වෙන් කර ගත හැකිය. මෙම පිටි අව්වේ හොඳින් වියළා කුඩු කර ගත් පසු "අරලුප්පිටි" නමින් හඳුන්වයි. හුලංකීරිය අල පෙති ගසා අව්වේ වියළා කොටා ගැනීමෙන්ද පිටි ලබා ගත හැකිය. මෙම පිටි හුලං නොවදින භාජනවල අසුරා තබා භාවිතයට ගත හැකිය. වෙළදපලෙහි අර්තාපල්, බතල ආදී නොයෙක් අල වර්ගවලින් සෑදු පිටි අරලුප්පිටි ලෙස ව්‍යාජව අලෙවි කෙරේ. අරලුප් පිට වෙනුවට එවැනි දෑ භාවිතා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යයි. නියම අරලුප්පිටි විශේෂ රසයකින් සහ සුවඳකින් තොර අතර කෑම පිළියෙළ කිරීමේදී සුළු සුවඳක් ඇති වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 

Share:

Tuesday, May 10, 2016

ගලිස් [Galis] (Gardenia crameri)

කොල්ලෑකඩ සහ දකුණු පලාතේ පහඬර යනුවෙන් ද හඳුන්වන ගලිස් මීටර් 4 ක් පමණ උසට පඳුරක් ආකාරයෙන් අතු පැතිරී වැඩෙන, මෙරටට ආවේනික ශාක විශේෂයකි. දිවයිනේ වියළි ප්‍රදේශවල ගල්තලාවන් ආශ්‍රිතව මෙම ශාක සමූහ වශයෙන් දක්නට ලැබේ. සරල පත්‍රවල පත්‍ර තලය අඩියක් දක්වා දිගු වන අතර දිලිසෙනසුලුය. එක් ස්ථනයකින් පත්‍ර තුන බැගින් හට ගන්නා අතර ඒවා වලයක් ලෙස පිහිටයි. මල් සුදු පැහැතිය. පෙති 6-8 පමණ පිහිටයි. කොළ පැහැති ඵලය ගෝලාකාරය. මෙම උද්භිද ගණයටම අයත් අප රටට අාවේනික ගලිස් නමින්ම හඳුන්වන කහ පැහැති මල් පිපෙන තවත් ශාකයක් ඇති  අතර එය Gardenia fosberghii යන උද්භිද නාමයෙන් හඳුන්වා ඇත. ආසියානු රටවල් කීපයක වැවෙන Gardenia latifolia ශාකය ද ගලිස් ලෙස හඳුන්වා ඇති අතර එය දේශීය ශාකයක් බවට තොරතුරු වාර්ථාවී නැත. ගලිස් Rubiaceae කුලයට අයත් ශාකයකි.

වණ, තුවාල, දත් කැක්කුම, කුසගිනි මදිකම, අජීර්ණ, උදර වේදනා, අර්ශස්, වටපණු රෝගය, හෘද දුර්වලත්වය, ප්ලීහා රෝග, චර්ම රෝග, ක්ෂය රෝගය, ඇදුම, ඉක්කා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ගලිස් ශාකයේ දළු කොළ සහිත ළපටි කොටස් පොඩිකිරීමේදී සෑදෙන දුම්මල වැනි මැලියම් වර්ගය භාවිතා කරයි. මෙම ශාකය කොල්ලෑකඩ නමින් හඳුන්වා ඇත්තේ ද කොළ වලින් ලාකඩ ලබාගත හැකි යන අරුතිනි. ඉදුණු ගෙඩියෙහි කටුව ඉවත්කර පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
විශේෂ ස්තුතිය_ උදය ගුරුසිංහ මහතාට සහ හිනිදුමවිතානගේ සෝමාවතී මහත්මියට
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support