චතුරස්‍ර හෙවත් සිව්රැස් යන අර්ථයෙන් හීරැස්ස යනුවෙන් හඳුන්වනු ලබන මෙම ශාකයට හීරැස්සපලු යනුවෙන්ද ව්‍යවහාර කරයි. හතරැස් කඳෙහි පැහැදිළි පුරුක් දක්නට ලැබේ. ඒ අනුව චතුරස්‍රාකාර පුරුක් පවතින හෙයින් සිව්රැස් පලුව යැයි නම් වී පසුව හීරැස්සපලු බවට පත්වී ඇතැයි අනුමාන කරයි. හීරැස්ස මාංසල ඝන සිනිදු මතුපිටක් සහිත මීටර් 8 ක්පමණ දිග පතනශීලී කාෂ්ඨීය වැලකි. කොළ පැහැති කඳෙහි ගැටවලින් කුඩා අණ්කාඩාකාර පත්‍ර සහ පහුරු හට ගනී. පත්‍රවලට වඩා වැල (කඳ) ප්‍රකටව දිස් වේ. කක්ෂිය පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් සුවඳවත් ය. උපගොලාකාර ඵලයෙහි එක් බීජයක් දරයි. හීරැස්ස Vitaceae කුලයට අයත් ශාකයකි.
හීරුස්ස ශාකයේ ප්‍රධාන ඖෂධීය ගුණය භග්න සන්ධානය (අස්ථි සන්ධි කිරීම) යි. එබැවින් කැඩුම් බිඳුම් වෙදකමෙහි යොදා ගන්නා විශිෂ්ඨ ඖෂධයක් ලෙස සැලකේ. එමෙන්ම කඵ වාතික රෝගය, කර්ණ රෝග, අජීර්ණ, අන්ත්‍ර රෝග, ඉදිමුම්, කුසගිනි මදිකම, අර්ශස්, කෘමි රෝග, නාසාරක්ත හෙවත් නාසයෙන් ලේ ගැලීම, අතීසාර, ඇදුම, වාතරක්ත, ඵීරංග (පරංගි), උපදංශ, රක්තස්‍රාව, පාණ්ඩු, අක්ෂි රෝග, ප්‍රදර, වාතවේදනා ආදී රෝගාබාධ රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට හීරැස්ස ශාකයේ දළු, ළපටි දඬු, මුල් සහ සම්පූර්ණ ශාකය එකවරමත් භාවිතා කරයි.
හීරැස්ස එළකිරෙන් තම්බා අඹරා ගිතෙල් මිශ්‍ර කර ඝනට සිටින සේ ආලේප කර ඔතා තැබිම සහ හීනටි හාල් හීරැස්ස යුෂින් පෙඟෙන්නට තබා (දින 1 1/2 ක්) ඒ යුෂින් පාප්ප මෙන් අඹරා ඝනට සිටින සේ ආලේප කර ඔතා තැබීම බිඳුණු අස්ථි සවි වීමට ප්‍රතිකාරයකි. උළුක්කු, අස්ථිභග්න සහ වණ ආදියට හීරැස්ස ස්වරස කකාරාගත් ලේපය ආලේප කරයි. අස්ථිභග්නයට මුල් අඹරා ආලේප කරයි. අජීර්ණ සහ අන්ත්‍රගත රෝගයනට හීරැස්ස චූර්ණය යොදයි. නාසයෙන් ලේ ගැලීමේදී හීරැස්ස යුෂ නස්‍ය කරයි. කණෙන් ස්‍රාව පිටවීමට හීරැස්ස පල්ලෙහි ලා රත් කරගත් තලතෙල් රෙදි කැබැල්ලකින් පෙරා යුෂ බිංදු කීපයක් යොදයි. හීරැස්ස ක්වාතය හෝ පැණිය අර්ශස් රොගයට ගුණය. ඇදුම රෝගයට හීරැස්ස පලු සහ කොළ වියළාගත් චූර්ණය මී පැණි සමඟ දිය යුතුය. අවිධිමත් ආර්ථවය සඳහා හීරැස්ස යුෂ, වෙනිවැල්ගැට චූර්ණය, සූකිරි ගිතෙල් සමඟ යොදයි. හීරැස්ස කොළ සහ ළපටි දඬු යුෂ ශරීර ශක්තිය වර්ධනය කරයි. හීරැස්ස දඬු යුෂ පානය කිරීමෙන් දත්මුල් දියවීම නවතී. හෘද දුර්වලතාවයන්ට සහ පණු රෝගවලට හීරැස්ස අංගු කෂාය ගුණදායකය. හීරැස්ස අඹරා ආලේප කිරීමෙන් මස්පිඩු වේදනාවන් සමනය වේ. හීරැස්ස යුෂ හෝ කෂාය දීමෙන් නරකවූ මාළු කෑම නිසා ඇතිවූ විෂ සමනය වේ. හීරැස්සපලු රත්කර තලතෙලින් අඹරා පෙකනි ප්‍රද්ශයේ ආලේප කිරීමෙන් මුත්‍ර අඩස්සිය සුව වේ. මෙම දළු ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් දිරවීවේ අපහසුතාවයක් මග හැරී කුසගිනි වර්ධනය වෙයි. මෙය අර්ශස් සහ කෘමි රෝග සඳහා ද ගුණදාක ය.
පැරණි ගොවීහු ගොයම් පෑගීමේදී කමත වටා යෙදූ ආරක්ෂක වලල්ලට හීරැස්ස භාවිතා කලහ. එමෙන්ම කොලමඬින විට හීරැස්ස කොළ ගොයම් කොළයේ මැදට දැමීමද පැරණි චාරිත්‍රයකි. ගුප්ත විද්‍යා කටයුතුවලදී හීරැස්ස භාවිතා කරන අතර සූනියම් ශාන්තිකර්මයේදී භාවිත වැල් වළලු අතර හීරැස්ස වැලද එකකි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ ඔසුපැල හඳුනා ගනිමු ෆේස්බුක් සමූහයෙන්