දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Tuesday, July 22, 2014

සුදුහඳුන් [Suduhadun] (Santalum album)

ශ්වේත චන්දන නමින් හඳුන්වන සුදුහඳුන්  මීටර් 6-10 පමණ උසට වැඩෙන, සුගන්ධවත් ලීයක් සහිත බහු වාර්ෂික ශාකයකි. සිනිඳු පොත්තක් සහිත කඳ කළු පැහැතිය. හොඳින් මේරු ශාකයක පොත්ත රළු විය හැකිය. කඩා හැලෙන ස්වභාවයකින් යුත් අතු රාශියක් සම්මුඛව පිහිටයි. ඕවලාකාර, අණ්ඩාකාර-ඕවලාකාර හෝ ලන්සාකාර හැඩැති පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍රයක් සෙ.මි. 6 දක්වා දිගු විය හැකිය. සංයුක්ත ඒකාක්ෂමය බහු අක්ෂයක් වන පුෂ්ප මංජරියක පිහිටන ද්වීලිංගික පුෂ්ප රාශියකි. මි.මි. 5 පමණ වන කුඩා පුෂ්ප දම් පැහැති ය. ගෝලාකාර ඵලය තරමක් මාංසලය. ඉදුණු විට කළු පැහැයක් ගනී. සුදු හඳුන් Santalaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

අතීතයේ දඹදිව මියුළු නුවර සිරිවර්ධන සිටුතුමාට දාව උපන් කුමරා මව් කුසින් බිහිවන විට සුදුහඳුන් කැබැල්ලක් මිට මොළවාගෙන උපන් හෙයින් මහා ඖෂධයක් ගෙන ආ තැනැත්තා යන අර්ථයෙන් මහෞෂධ නමින් හැඳින්වූ බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. එය පුරාණයේ සිටම සුදුහඳුන් වටිනා ඖෂධයක් බව දැන සිට බවට සාක්ෂියකි. හිසෙහි වේදනා, දැවිල්ල, විසර්ප, චර්ම රෝග, මානසික රෝග, කෘෂ්ණා, අතීසාර, ප්‍රවාහිකා, පණු රෝග, රක්ත පිත්ත, හෘද රෝග, කල්ගතවූ කැස්ස, මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, පූයාමේහ, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, ශුක්‍රමේහ ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සුදුහඳුන් ශාකයේ පිටපොත්ත, දළු, අරටුව සහ තෙල් භාවිතා කරයි. සුදුහඳුන් දුඟද නසන, දාහය සමනය කරන, පණුවන් නසන, මුත්‍රකාරක, ස්වේද ජනක, රුධිරය පිරිසිදු කරන විෂ නාෂක ආදී ගුණයන් රැසක් සහිතයි. 

හික්කාවට සුදුහඳුන් තන කිරෙන් ගලගා නස්‍ය කරයි. ශුක්‍ර මේහයට සුදුහඳුන් ඵාණ්ඨ කෂාය දෙයි. වමනයට සුදුහඳුන් ගලගා නෙල්ලි ස්වරසයෙන් හෝ නෙල්ලි කෂායෙන් බීමට දිය යුතුය. සුදුහඳුන් චූර්ණය කිරි සහ සීනි සමඟ බීමෙන් මුත්‍ර අඩස්සිය සුව වෙයි. සුදුහඳුන්, ඉඟිනි ඇට, සමව ගෙන අඹරා තැඹිලි වතුරේ දියකර සහිඳ ලුණු දමා උදෑසන හිස්බඩ පානය කිරීමෙන් මුත්‍ර දැවිල්ල සමනය වෙයි. උරච්චි කරගත් සුදු හඳුන් තැඹිලි වතුරේ දියකර පානය කිරීමද මුත්‍ර දැවිල්ලට ප්‍රතිකාරයකි. හිස කැක්කුමට සුදුහඳුන් ඇල් දියෙන් ගල ගා රෙදි කඩක තවරා සඳුන් නොගෑ පැත්ත නළල ප්‍රදේශයේ එළීම සහ කෝමාරිකා යුෂින් ගලගා රෙදි කඩක තවරා නළලේ එළීම ප්‍රතිකාරයන් ය. පීනසයට සුදු හඳුන් කුඩු, වියළි ඉඟුරු කුඩු, කහ කුඩු තේ හැන්දක් බැගින් තැඹිලි ගෙඩියකට දමා රාත්‍රි පින්නේ තබා උදෑසන හිස්බඩ පෙරා පානය කළ යුතුය. සුදුහඳුන්, පොකුරු වදමල් තැම්බූ වතුර පානය කිරීමෙන් රුධිරය පිරිසිදුවේ. සුදුහඳුන් කුඩු ඇල් දියෙන් දියකර එයට සීනි, මී පැණි දමා පානය කිරීමෙන් ශරීර දාහය සමනය වෙයි.  සුදුහඳුන් ගලගා එළකිරි සමඟ මිශ්‍රකර සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙයි. එයින් සම පෝෂණය කර මුහුණේ ඇතිවන කුරුලෑ ලප කැළැල් සුවකර සම රැලි වැටීම පාලනය කරයි. සුදුහඳුන්, සැවැන්දරා මුල්, කළු අගිල්, ඉරිවේරිය කොළ යන මේවා සමව ගෙන කොටා ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර පැයකින් පසු ජලස්නානය කිරීමෙන් ශරීරයේ දුඟද නැතිවී සුගන්ධවත් වෙයි.

සඳුන් තෙල් සුවඳ විලවුන් සහ රූපළාවන්‍ය දුව්‍ය නිපදවීමටත් යොදා ගනී. සඳුන් කිරි පැන් පිරිත් මණ්ඩපවල ඇතුළු බොහෝ සුභ කටයුතුවලදී භාවිතා කරයි. ළපටි කොළ මැල්ලුමක් ලෙස හෝ සලාදයක් ලෙස අහාරයට එක් කර ගත හැකිය. මෙවැනි වටිනාකම් රැසක් සහිත සුදුහඳුන් ශාකයක් නිවසේ වවා ගැනීම ගෙඋයනේ අලංකාරය පිණිසද හේතු වනු ඇත. සුදුහඳුන් පැලයක් වැවීමේදී ඒ අසලම දාස්පෙතියා හෝ නිදිකුම්බා ගසක් වැවීම මඟින් සුදුහඳුන් ගසේ ඉක්මන් වර්ධනයට උපකාරී වෙයි. 

Erythroxylum novogranatense යන උද්භිද නාමයෙන් හඳුන්වන විදේශීය ශාකයක් මෑතක සිට සුදු හඳුන් නමින් මෙරට බොහෝ නිවෙස්වල වවා තිබෙනු දැක ගත හැකිය. කොකේන් (Cocaine) නමින් ද හඳුන්වන විෂ සහිත ශාකයක් වන එය සුදුහඳුන් වෙනුවට ඖෂධ සඳහා භාවිතා කළහොත් අහිතතර ප්‍රතිඵල අත්වනු ඇත. එම නිසා එම ශාකය සහ සුදුහඳුන් ශාකය වෙන්කර හඳුනාගෙන, එම විෂ සහිත ශාකය නිවසේ වවා ඇත් නම් විනාශ කර දැමීමට උනන්දු විය යුතුය. සුදුහඳුන් කොල පළාවක් ලෙස ආහාරයට ගන්නා විට මේ ගැන විශේයෙන් සොයා බලා සැක හැර භාවිතයට ගත යුතුය. සුදුහඳුන් ශාකයේ පත්‍ර සම්මුඛව පිහිටීමත් මෙම කොකෙන් ශාකයේ පත්‍ර ඒකාන්තරව පිහිටීමත් මෙම වර්ග දෙක පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමට ඉවහල්වන ප්‍රධානම ලක්ෂණයක් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

1 comments:

Sandalwood Sri Lanka kosala said...

සුදු හදුන් - Sandalwood
සුදු හදුන් සැන්ටලාසී (Santalaceae) කුලයේ ශාකයක් වන අතර මීටර 9 - 13 පමන උසට වැඩෙන සුගන්ධවත් දැවයක් සහිත සුදු හදුන් ශාකය (Santalum album ) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වයි. අර්ධ පරපෝෂීත ශාකයකි. සිනිදු පොත්තක් සහිත සුදු හදුන් ශාක කද කලු වර්ණයෙන් යුක්ත වෙයි. හොදින් මේරූ සුදු හදුන් ශාක කද තරමක් රලු විය හැක. කඩා හැලෙන ස්වභවයෙන් යුතු අතු රාශියක් සම්මුඛව පිහිටයි. ඕවලාකාර අන්ඩාකාර, ඕවලාකාර හෝ ලන්සාකාර පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍රයක් සෙන්ටිමීටර 4 ක් දක්වා දිගු විය හැක. මිලිමීටර 5 ක් වන කුඩා පුෂ්ප දම් පැහැතිය. ගෝලාකාර ඵලය තරමක් මාන්සල ස්වභාවයක් ගනියි. ඉදුනු විට ඵලය කලුපැහැයක් ගනියි.
අප්‍රිකානු බ්ලැක්වුඩ් වලින් පසු ලොව දෙවන මිල අධිකම දැව සඳුන් දැව වේ. සුදු හදුන් ශාකය ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, හවායි සහ අනෙකුත් පැසිෆික් දූපත් වල දක්නට ලැබේ.
සුදු හදුන් වානිජ වන වගාවක් ලෙස ඉන්දියාව, ඔස්ට්‍රේලියාව , චීනය , වියට්නාමය , පිලිපීනය , ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් වල වගා කරනු ලැබෙයි.

Blog Archive

Powered by Blogger.

Followers

Blog Archive

Recent Posts

Unordered List

Pages

Theme Support