දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Tuesday, July 22, 2014

සුදුහඳුන් [Suduhadun] (Santalum album)

ශ්වේත චන්දන නමින් හඳුන්වන සුදුහඳුන්  මීටර් 6-10 පමණ උසට වැඩෙන, සුගන්ධවත් ලීයක් සහිත බහු වාර්ෂික ශාකයකි. සිනිඳු පොත්තක් සහිත කඳ කළු පැහැතිය. හොඳින් මේරු ශාකයක පොත්ත රළු විය හැකිය. කඩා හැලෙන ස්වභාවයකින් යුත් අතු රාශියක් සම්මුඛව පිහිටයි. ඕවලාකාර, අණ්ඩාකාර-ඕවලාකාර හෝ ලන්සාකාර හැඩැති පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍රයක් සෙ.මි. 6 දක්වා දිගු විය හැකිය. සංයුක්ත ඒකාක්ෂමය බහු අක්ෂයක් වන පුෂ්ප මංජරියක පිහිටන ද්වීලිංගික පුෂ්ප රාශියකි. මි.මි. 5 පමණ වන කුඩා පුෂ්ප දම් පැහැති ය. ගෝලාකාර ඵලය තරමක් මාංසලය. ඉදුණු විට කළු පැහැයක් ගනී. සුදු හඳුන් Santalaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

අතීතයේ දඹදිව මියුළු නුවර සිරිවර්ධන සිටුතුමාට දාව උපන් කුමරා මව් කුසින් බිහිවන විට සුදුහඳුන් කැබැල්ලක් මිට මොළවාගෙන උපන් හෙයින් මහා ඖෂධයක් ගෙන ආ තැනැත්තා යන අර්ථයෙන් මහෞෂධ නමින් හැඳින්වූ බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. එය පුරාණයේ සිටම සුදුහඳුන් වටිනා ඖෂධයක් බව දැන සිට බවට සාක්ෂියකි. හිසෙහි වේදනා, දැවිල්ල, විසර්ප, චර්ම රෝග, මානසික රෝග, කෘෂ්ණා, අතීසාර, ප්‍රවාහිකා, පණු රෝග, රක්ත පිත්ත, හෘද රෝග, කල්ගතවූ කැස්ස, මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල, පූයාමේහ, රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, ශුක්‍රමේහ ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට සුදුහඳුන් ශාකයේ පිටපොත්ත, දළු, අරටුව සහ තෙල් භාවිතා කරයි. සුදුහඳුන් දුඟද නසන, දාහය සමනය කරන, පණුවන් නසන, මුත්‍රකාරක, ස්වේද ජනක, රුධිරය පිරිසිදු කරන විෂ නාෂක ආදී ගුණයන් රැසක් සහිතයි. 

හික්කාවට සුදුහඳුන් තන කිරෙන් ගලගා නස්‍ය කරයි. ශුක්‍ර මේහයට සුදුහඳුන් ඵාණ්ඨ කෂාය දෙයි. වමනයට සුදුහඳුන් ගලගා නෙල්ලි ස්වරසයෙන් හෝ නෙල්ලි කෂායෙන් බීමට දිය යුතුය. සුදුහඳුන් චූර්ණය කිරි සහ සීනි සමඟ බීමෙන් මුත්‍ර අඩස්සිය සුව වෙයි. සුදුහඳුන්, ඉඟිනි ඇට, සමව ගෙන අඹරා තැඹිලි වතුරේ දියකර සහිඳ ලුණු දමා උදෑසන හිස්බඩ පානය කිරීමෙන් මුත්‍ර දැවිල්ල සමනය වෙයි. උරච්චි කරගත් සුදු හඳුන් තැඹිලි වතුරේ දියකර පානය කිරීමද මුත්‍ර දැවිල්ලට ප්‍රතිකාරයකි. හිස කැක්කුමට සුදුහඳුන් ඇල් දියෙන් ගල ගා රෙදි කඩක තවරා සඳුන් නොගෑ පැත්ත නළල ප්‍රදේශයේ එළීම සහ කෝමාරිකා යුෂින් ගලගා රෙදි කඩක තවරා නළලේ එළීම ප්‍රතිකාරයන් ය. පීනසයට සුදු හඳුන් කුඩු, වියළි ඉඟුරු කුඩු, කහ කුඩු තේ හැන්දක් බැගින් තැඹිලි ගෙඩියකට දමා රාත්‍රි පින්නේ තබා උදෑසන හිස්බඩ පෙරා පානය කළ යුතුය. සුදුහඳුන්, පොකුරු වදමල් තැම්බූ වතුර පානය කිරීමෙන් රුධිරය පිරිසිදුවේ. සුදුහඳුන් කුඩු ඇල් දියෙන් දියකර එයට සීනි, මී පැණි දමා පානය කිරීමෙන් ශරීර දාහය සමනය වෙයි.  සුදුහඳුන් ගලගා එළකිරි සමඟ මිශ්‍රකර සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙයි. එයින් සම පෝෂණය කර මුහුණේ ඇතිවන කුරුලෑ ලප කැළැල් සුවකර සම රැලි වැටීම පාලනය කරයි. සුදුහඳුන්, සැවැන්දරා මුල්, කළු අගිල්, ඉරිවේරිය කොළ යන මේවා සමව ගෙන කොටා ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර පැයකින් පසු ජලස්නානය කිරීමෙන් ශරීරයේ දුඟද නැතිවී සුගන්ධවත් වෙයි.

සඳුන් තෙල් සුවඳ විලවුන් සහ රූපළාවන්‍ය දුව්‍ය නිපදවීමටත් යොදා ගනී. සඳුන් කිරි පැන් පිරිත් මණ්ඩපවල ඇතුළු බොහෝ සුභ කටයුතුවලදී භාවිතා කරයි. ළපටි කොළ මැල්ලුමක් ලෙස හෝ සලාදයක් ලෙස අහාරයට එක් කර ගත හැකිය. මෙවැනි වටිනාකම් රැසක් සහිත සුදුහඳුන් ශාකයක් නිවසේ වවා ගැනීම ගෙඋයනේ අලංකාරය පිණිසද හේතු වනු ඇත. සුදුහඳුන් පැලයක් වැවීමේදී ඒ අසලම දාස්පෙතියා හෝ නිදිකුම්බා ගසක් වැවීම මඟින් සුදුහඳුන් ගසේ ඉක්මන් වර්ධනයට උපකාරී වෙයි. 

Erythroxylum novogranatense යන උද්භිද නාමයෙන් හඳුන්වන විදේශීය ශාකයක් මෑතක සිට සුදු හඳුන් නමින් මෙරට බොහෝ නිවෙස්වල වවා තිබෙනු දැක ගත හැකිය. කොකේන් (Cocaine) නමින් ද හඳුන්වන විෂ සහිත ශාකයක් වන එය සුදුහඳුන් වෙනුවට ඖෂධ සඳහා භාවිතා කළහොත් අහිතතර ප්‍රතිඵල අත්වනු ඇත. එම නිසා එම ශාකය සහ සුදුහඳුන් ශාකය වෙන්කර හඳුනාගෙන, එම විෂ සහිත ශාකය නිවසේ වවා ඇත් නම් විනාශ කර දැමීමට උනන්දු විය යුතුය. සුදුහඳුන් කොල පළාවක් ලෙස ආහාරයට ගන්නා විට මේ ගැන විශේයෙන් සොයා බලා සැක හැර භාවිතයට ගත යුතුය. සුදුහඳුන් ශාකයේ පත්‍ර සම්මුඛව පිහිටීමත් මෙම කොකෙන් ශාකයේ පත්‍ර ඒකාන්තරව පිහිටීමත් මෙම වර්ග දෙක පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමට ඉවහල්වන ප්‍රධානම ලක්ෂණයක් වේ. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Sunday, July 20, 2014

ගම්මාළු [Gammalu] (Pterocarpus marsupium)

ගස්වැඩුම් සහ ගම්වැඩුම් යන නම්වලින්ද හඳුන්වන ගම්මාලු මීටර් 30 පමණ උසට වැඩෙන තරමක් විශාල දේශීය ශාකයකි. පතනශීලී වෘක්ෂයක් වන මෙහි කහ අළුවන් තද ස්වභාවයකින් යුත් පොත්තක් පිහිටයි. පොත්ත තුවාල වූ ස්ථානවලින් රතු පැහැති උකු දියරයක් ගලයි. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍රයක පත්‍රිකා 5-7 දක්නට ලැබෙන අතර ඒවාද ඒකානතරව පිහිටා තිබේ. දෙපසම සිනිඳු පත්‍ර තලය සෙ.මි. 8.8 දක්වා දිගු විය හැකිය. පත්‍ර අග්‍රය දෙකට බෙදී පැවතීම විශේෂ ලක්ෂණයකි. සංයුක්ත ඒකාක්ෂයක හට ගන්නා මල්වල පිහිටීම අක්‍රමවත්ව ය. පෙති 5 ක් සහිත ද්විලිංගික මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්තය. නොපැලෙන ඵලය කුඩා හොටක් වැනි ව්‍යුහයක් සහිත සපක්ෂයකි. පියාපත් ලෙස විකරණය වූ ඵලාවරණයක් සහිත ඵලය තුල වකුගඩු හැඩැති ඒක් බීජයක් පිහිටා තිබේ. ගම්මාළු Fabaceae කුලයට අයත් ශාකයකි. 

රත්පිත, රක්තප්‍රදර, දියවැඩියාව, මධුමේහ, පිත්තජ රෝග, වණ, ගෙඩි, ප්‍රමේහ, සෝමරෝග, අජීර්ණ, අතීසාර, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, කුෂ්ඨ, දන්ත රෝග, අතීසාර, අකලට හිසකෙස් ගැලවී යාම, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී ගම්මාලු ශාකයේ කොළ, පොතු, සුඹුලු, කිරි, අරටුව හා මැලියම් භාවිතා කරයි. ගම්මාලු කිරි ලේ වහනය අවහිර කරන, වණ රෝපණය කරන, පෙනහළුවලට හිතකර, කෘමින් නසන, ශරීර ශක්කිය වඩවන ගුණ සහිතයි. ගම්මාලු කොළ වණ ශෝධනය කරන, ඉදිමුම් නසන, සන්ධානීය සහ කෙස් කළඹට හිතකර ගුණයන්ගෙන් යුක්ත ය. අසන බිල්වාදී තෛලය, ගම්මාලු තෛලය ගම්මාලු භාවිතාකර නිපදවන ඖෂධයන් ය.

කිහිරි, ගම්මාලු යන දෙවර්ගය කෂාය කර බීමෙන් සියළු කුෂ්ඨ රෝග සමනය වේ. ගම්මාළු අරටුවේ චූර්ණය දියකර කට සේදීම දත් රෝගවලට ගුණය. වණවලට ගම්මාලු චූර්ණය තුවාලවලට ඉසීම, කොළ අඹරා ආලේප කිරීම, කොළ තම්බා සේදීම ආදී ප්‍රතිකාර ලබා දෙයි. ගෙඩි විදාරණයට පත්‍ර ප්‍රලේපය ආලේප කරයි. මධුමේහයට සුඹුලු කෂාය දෙයි. ගම්මාලු ලාටු තැබීමෙන් දත් කැක්කුම සමනය වෙයි. තැලීම්වලදී අරටුව දෙහි ඇඹුලින් ගලගා ආලේප කරයි. ගම්මාලු අරටුවෙන් සාදාගත් භාජනයක සිසිල් ජලය දමා උදෑසන පානය කිරීම හෝ අරටු කැබැල්ලක් ජල බදුනක බහා තබා එම ජලය පානය කිරීම දියවැඩියාවට ගුණය. ගම්මාලු කිරි බිංදු කිහිපයක් එළකිරිවලට කලවම් කර පානය කිරීමෙන් රක්තහීනතාවය දුරු වේ යැයි මතයක් පවතී. විචිත්‍ර වෛරම් සහිත ගම්මාලු ලීය කැටයම් ආදිය කැපීමටත් ගෘහභාන්ඩ සෑදීමටත් යොදා ගත හැකි වටිනා දැවයකි. පූජනීය ස්ථානවල දැවකම්වලදී විශේෂයෙන් භාවිතා කර ඇත. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Friday, July 18, 2014

කඩුපහර [Kadupahara] (Emilia sonchifolia)

කඩුපහර සෙ.මි. 40 දක්වා උසට හෝ බිම දිගේ වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. කඳේ අග්‍රස්ථය බෙහෙවින් අතු බෙදෙමින් සෘජුව වර්ධනය වේ. වෘන්ත රහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. ළපටි කොළ හැර අනෙක් කොළ තරමක් වීණාකාර වන අතර පත්‍ර අගය තරමක් අණ්ඩාකාරය. පත්‍රයක් දිගින් සෙ.මි. 10 ක් සහ පළලින් සෙ.මි. 4.5 දක්වා වර්ධනය වේ.  ශීර්ෂක පුෂ්ප මංජරිවල හට ගන්නා මල් රෝස පැහැතිය. කලාතුරකින් සුදු මල් පිපෙන අවස්ථාද දැක ගත හැකිය. ඵලය කුඩා ආයත හැඩැති ධාන්‍යයකි. බීජයට සම්බන්ධව සියුම් සුදු කේශර රාශියකින් යුක්තය බූමණියක් පිහිටා ඇත. බීජ සුළං මගින් ව්‍යාප්තවී යෑමට මෙම බූමණිය උපකාර වේ. දේශීය ශාකයක් වන කඩුපහර Asteraceae උද්භිද කුලයට අයත් ශාකයකි. මෙම Emilia උද්භිද ගණයටම අයත් මෙවැනිම හැඩරුව සහිත දේශීය සහ ආවේනික ශාක විශේෂ 7 ක් පමණ ලංකාවෙන් වාර්ථා වී ඇති අතර ඒවාද අඩුවැඩි වශයෙන් ඖෂධ සඳහා භාවිතා කරනවා විය හැකියි. 

හොරි, වණ තුවාල, දද, කුෂ්ඨ, සුළු කැපුම් සීරුම්, පත්තෑ, ගෝනුසු, ගරුඬ වැනි සතුන්ගේ විෂ ආදියට ප්‍රතිකාර කිරීමටත් ග්‍රහණි, අතීසාර, මාන්දම්, සෙංගමාල වැනි රෝග අවස්ථාවන්ට අත් බෙහෙත් ලෙස යෙදීමටත් සම්පූර්ණ කඩුපහර ශාකයම භාවිතා කරයි. කඩුපහර විශේෂයෙන් විෂ නාශක ගුණයෙන් යුක්ත බව දක්වා ඇත. 

කැපුම් තුවාල සඳහා කඩුපහර, අමුකහ, මැටිපලා (නොපීදුණු බුලත් කොළ), අමුඉඟුරු සහ සුදුලූණු සමව ගෙන කොටා තලතෙලින් මලවා බඳී. හොරි, වණ, දද, කුෂ්ඨ ආදියට කඩුපහර තැම්බූ ජලයෙන් සේදීම ගුණය. සුළු කැපුම් සීරුම් අවස්ථාවලදී ලේ නැවැත්වීමට කඩුපහර කොළ තලා තුවාලය මත එලයි. තුවාල පෑහීමට සහ ලේ වහනය නැවැත්වීමට කඩුපහර, දෙහි, මදු, ඔලිඳ, කරල්සැබෝ, කටුපිල, හාතාවාරිය යන ශාකවල දලු සමව ගෙන කහ, ලුණු සමඟ කොටා මලවා බඳී. පත්තෑ, ගෝනුසු, ගරුඬ වැනි සතකු දෂ්ට කළ විට කඩුපහර හාල්පානු වතුරින් තම්බා අඹරා දෂ්ට මුඛයේ ගෑම සහ කඩුපහර ශාකය ඇල්දියෙන් අඹරා ආලේප කිරීම සිදු කරයි. 

ගැමියන් කඩුපහර කොළ මැල්ලුමක් ලෙස හා කැඳ සඳහා භාවිතා කරයි. කුසගිනි මඳ විට මෙම කොළ ව්‍යංජනය ගුණදායක ය. කල්වම් පළා මැල්ලුමට සහ සලාදයක් ලෙස කොළ කෑමට ගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 
Share:

Wednesday, July 16, 2014

කරවිල (Momordica charantia)

මෙය මෙරට ජනතාව අතර ජනප්‍රිය එළවළුවකි. පහුරුවල උපකාරයෙන් ආධාරකයක එතී උඩට නගින වාර්ෂික වැල් වර්ගයකි. මෙහි පත්‍ර ඒකාන්තරය. හෘදයාකාරය. පත්‍ර තලය කණ්ඩිකා පහකට බෙදී ඇත. මල් ඒක ලිංගිකය. පූමංගි හා ජායංගි මල් එකම ශාකයේ පිහිටා තිබේ. මලක විශ්කම්භය අඟලක් පමණ වේ. මල් බොහෝ විට කහ පාටය. සුදු පාට මල් ද ඇත. කරවිල ඵලය අණ්ඩාභයකි. ඵලයේ දෙකොන උල්ය. දාර සහිතය. ගැටිතිවලින් ඵලාවරණය වැසී ඇත. පැසුණු විට ඵලය කහ පාට වී පැලී යයි. ඇතුළත ඇති ඇට රතු පාට ලොඳයක දැවටී ඇත. කරවිල ලංකාව, ඉන්දියාව, මලයාව, චීනය හා නිවර්තනික අප්‍රිකාව යන රටවල වවනු ලැබේ. කරවිල බටු කරවිල, සුදු කරවිල හා තුඹ කරවිල ආදී විවිධ ප්‍රභේද වශයෙන් හමුවේ. කරවිල Cucurbitaceae  කුලයට අයත්ය. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත ග්‍රන්ථවල කරවිල හැඳින්වෙන්නේ “කරවල්ලි“, “කරවල්ලි ලතා“, “කරවේල්ල“ හා “අම්බුලවල්ලිකා“ යනුවෙනි.

කරවිල තිත්තය, ඌෂ්ණය, මල බැඳීම කරයි, වණ සුව කරයි, බඩවැලේ, ප්ලීහාවේ හා උදරයේ රෝග නසයි. කුසගිනි වඩවයි. උණ, කුෂ්ට, ඉදිමුම්, මුත්‍ර අඩස්සිය, වාත හා ශ්ලේෂ්මල රෝග නසයි. කරවිල නිද්‍රාජනකය. ආහාර අරුචිය, සෙම, වාත රක්ත දෝෂ, උණ, පිත, කුරුමිණි රෝග හා පාණ්ඩු රෝග නසයි.  

ඉන්දියාවේ කොංකන ප්‍රදේශයේ වෛද්‍යවරු පිත් රෝගයෙන් පෙළෙන අයට කරවිල කොළ යුෂ පතක් පමණ බීමට දෙති. එහි එය වමනකාරකයක් හා විරේචකයක් ලෙස සලකනු ලැබේ. කරවිල මූල අර්ශස් රෝගයට ප්‍රතිකාර සඳහා තනනු ලබන ඔසු සඳහා ගනු ලැබේ. චීන වෙදකමේද රෝගාබාධ බොහෝවකට කරවිල ප්‍රශස්ත ඔසුවක් සේ සලකති. කරවිලවල මධුමේහය හෙවත් දියවැඩියාව පාලනය කල හැකි ගුණයක් ඇකි බව ප්‍රකට කරුණකි.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ _ අන්තර්ජාලයෙන්



Share:

Monday, July 14, 2014

කටුකරඬු (Barleria prionitis)

කටුකරඬු ශාකය කුඩා පඳුරකි. එය අඩි 2-3 දක්වා උසට වැඩේ. අතුවල කටු ඇත. කඳන් හා අතු සිලින්ඩරාකාර ය. කොළ ඉලාප්සාකාරයි. කොළ අග්‍රය අති තීව්‍රයි. සුවිරූපී කටු තුනක් බැගින් පත්‍ර කක්ෂයෙහි සාමාන්‍යයෙන් දක්නා ලැබේ. පහල කක්ෂවල නිර්වෘන්ත පුෂ්ප තනි තනිව පිපේ. මේ ශාකයේ නිපත්‍ර පත්‍රාකාරයි. නිපත්‍රිකා උල්ය. මණිපත්‍ර රේඛීය ලන්සාකාරය. එසේම සුචිකාග්‍රය. මුකුටය අඟල් 2 ක් පමණ දිගය. කහ පාටය. තරමක් ද්වී-ඕෂටීය හෙවත් තොල් දෙකක් වැන්න. සරු රේණු දෙකකි. වඳ රේණු ද දෙකක් ඇත. කටුකරඬු පුෂ්පයේ ඩිම්බ කෝෂය ද්වී කෝෂ්ඨීයය. ඒ එක් එක් කෝෂ්ඨයේ ඩිම්බ දෙකක් ඇත. කීලය දිගය. කලංකය සාමාන්‍යයෙන් දෙකට බෙදී ඇත. ඵලය ගෝලාකාර ස්ඵෝටිකාවකි. එහි ක්‍රමයෙන් හීන්ව ගිය තුඩක් ඇත. ඵලයෙහි බීජ දෙකක් ඇත. සේද වැනි කේශර විශේෂයකින් බීජය වැසී ඇත.   
කටුකරඬු ලංකාව, ඉන්දියාව, නිවර්තන ආසියාව හා දකුණු අප්‍රිකාව යනාදී ප්‍රදේශවල වැවේ. ඉතා වැදගත් ඔෟෂධ ශාකයක් වූ කටුකරඬු Acanthaceae කුලයට අයත්ය.

ඔෟෂධීය වටිනාකම

මේ ශාකය සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වන්නේ “සෛරේයක“ හා “කුරුණ්ටක“ ආදී නම්වලිනි. පුෂ්පයේ වර්ණය අනුව කටුකරඬු ප්‍රභේද හතරක් සේ දැක්වේ.
1. සුදු කටුකරඬු හෙවත් සෛරේයක - සුදු මල් පිපේ
2. නිල් කටුකරඬු - නිල් මල් පිපේ
3. කුරුණ්ටක කටුකරඬු - කහ පාට මල් පිපේ
4. රත් කටුකරඬු - රතු පාට මල් පිපේ

සුදු කටුකරඬු මිහිරිය, ඌෂ්ණය, හිසකෙස් වඩයි, දත්වලට හිතකරය. ඇඟ රැළි වැටීම සහ අකලට හිසකෙස් සුදු වීම වළක්වාලයි. කුෂ්ට, වාත, රුධිර දෝෂ, කඵ, කණ්ඩුකී හා විවිධ විෂ යනාදිය නසයි.

නිල් කටුකරඬු තිත්තය, සැරය, වා, සෙම්, ඉදිමුම්, කැසීම්, කුෂ්ට, වණ හා සමේ විවිධ රෝග නසයි.

කුරුණ්ටක කටුකරඬු තිත්තය, ස්‍යෙම්‍ය ධාතු බල හා කුසගිනි වඩයි, කුසගිනි වැඩි කොට තුන්දොස් සමනය කරයි. වා, සෙම්, කැඩුම් බිඳුම්, ඉදිමුම්, ලේ දෝෂ, දැවිල්ල, පිපාසය හා සමේ රෝග නසයි.

රතු කටුකරඬු තිත්තය, සිරුරට වර්ණය ගෙන දෙයි. ඌෂ්ණය, ඉදිමුම්, උණ, වා, පිත්, සෙම් රෝග, රුධිර දෝෂ, බඩ පිපුම, හුස්ම ගැනීමේ අපහසුතා පහ කරයි.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයා රූ _ අන්තර්ජාලයෙන් 




Share:

Friday, July 11, 2014

කපුකිනිස්ස [Kapukinissa] (Abelmoschus moschatus)

කපුකිනිස්ස, බණ්ඩක්කා ශාකයට බෙහෙවින් සමාන මීටර් 1.5 පමණ උසට සෘජු කඳක් සහිතව වැඩෙන කුඩා වාර්ෂික ශාකයකි. කඳ පුරා දිගු රෝම දක්නට ලැබේ. දිගු නටුවක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. කණ්ඩිකා 3-5 බෙදුනු පත්‍රවල දාරය දන්තූර කරපත්‍රික ය. අණ්ඩාභ-හෘදයාකාර හෝ පානිවත් හැඩයෙන් යුත් පත්‍රවල දෙපසම බූව පිහිටයි. තනි තනිව හට ගන්නා ද්වීලිංගික පුෂ්ප දීප්තිමත් කහ පැහැයක් ගන්නා අතර මැද දම් පැහැති ය. ඵලය දාර දිගේ පැලෙන ස්ඵෝටිකාවකි. ඵලයක් තුල වකුගඩු හැඩැති බීජ රැසක් තිබේ. කපුකිනිස  Malvaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

වියළි කපුකිනිස්ස ඇට පොඩි කළවිට කස්තුරි සුවඳට සමාන සුවඳක් වහනය වන හෙයින් ලතා කස්තුරි ලෙසද හඳුන්වා ඇත. මෙම ඇට දේශීය වෙදකමේදී වටිනා ඖෂධයක් ලෙස සැලකේ. මුඛ රෝග, කුසගිනි මදිකම, අජීර්ණ, ආහාර අරුචිය, අතීසාර, හෘද දුර්වලතාවයන්, කැස්ස, ඇදුම, අපතතන්ත්‍රක, මුත්‍රඅඩස්සිය, ලිංගික අප්‍රාණිකත්වය, සර්ප විෂ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් කපුකිනිස්ස ඇටත් අවශේෙෂව මුල් හා කොළත් භාවිතා කරයි. කපුකිනිස්ස ආහාර රුචිය ඇතිකරවන, කුසගිනි වඩවන, මලමාර්ගය පිරිසිදු කරන, හෘදය උත්තේජනය කරන, මුත්‍රකාරක ආදී ගුණයන් රැසක් සහිතයි.

කපුකිනිස ඇට සැපීමෙන් මුඛ දුර්ගන්ධය පහව යයි. සර්ප විෂට ඇට මධ්‍යසාරයෙන් අඹරා දෂ්ඨ ස්ථානයේ ආලේප කරයි. කපුකිනිස්ස ඇට විකා ගිලීමෙන් හෝ කුඩුකර කෝපි මෙන් පානය කිරීමෙන් අහාර අරුචිය නැතිව යයි. අක්ෂි රෝග සඳහා හොඳින් පිරිසිදුව සකසා ගත් ඇට චූර්ණය ආලේප කරයි. දශමූලාරිෂ්ටය නිපදවීමේදී කපුකිස්ස ඇට ප්‍රක්ෂේප ද්‍රව්‍යයක් ලෙස යොදා ගනී.

ළපටි කපුනිස්ස කරල බණ්ඩක්කා මෙහි පිස ආහාරයට ගත හැකිය. ඇට පස් ඵලවතින් යුතු බුලත් විටට ගන්නා සුගන්ධ ද්‍රව්‍යවලින් එකකි. එමෙන්ම ආහාර සහ විලවුන් කර්මාන්තයේදී සුගන්ධ දුව්‍යයක් ලෙස භාවිතා කරයි. 

මූලාශ්‍ර_  ඖෂධීය ශාක සංග්‍රහය 
Share:

Wednesday, July 9, 2014

කටුකරෝසන (picrorhiza kurroa)

මුහුදු මට්ටමින් අඩි 9000-15000 ක් පමණ උස් වූ ප්‍රදේශවල වැවෙන ඇල්පයින් (alpine) ඖෂධ ශාකයකි. ඉන්දියාවේ කාශ්මීරයේ සහ සීඛීම් රටෙහි බහුලව වැවේ. “කටුකරෝහිනී“ යන නම්න්ද හැඳින්වෙන මෙම ශාකය බූව සහිත, අඩි 6-8 පමණ උසැති පැළෑටියකි. අඟල් 8 ක් පමණ දික්වූද මිනිසෙකුගේ සුළැඟිල්ල පමණ මහත් වූද රෛසෝමයක් මේ ශාකයට ඇත. වියළි පත්‍ර පාදවලින් රෛසෝමය වැසී ඇත. ශාකයේ පත්‍රයක් අඟල් 3 ක් පමණ දිගු වන අතර තරමක් චර්මලය. පත්‍ර නටුවට කොපුවක් ඇත. අක්ෂ පත්‍රවලට වඩා දිගය. ශුකියක් අඟල් 3 ක් පමණ දිගය. මේ ශුක්වල බොහෝ මල් පිපේ. මල් ද්වී-ඕෂධීය. ද්වීරූපය. කෙටි රේණු මෙන්ම දිග රේණු ඇති මල්ද දක්නා ලැබේ. රේණු 4 ක් පමණ පිහිටා ඇත. ඩිමිබ කෝෂය ද්වීකෝෂ්ඨය හෙවක් කොටස් දෙකකින් සමන්විතය. එහි බොහෝ ඩිම්බ ඇත. කටුකරෝසන ඵලය ස්ඵෝටිකාවකි. එය අඟල් 1/2 පමණ දිගය. මෙම ශාකයේ බොහෝ ඵල හට ගනී. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත ග්‍රන්ථවල කටුකරෝසන “කටුකා“, “අන්ජානි“, “කටුකරෝහිනී“ සහ “මහෞෂධී“ ආදී නම්වලින් හැඳින්වේ. කටුකරෝසන තිත්තය, කටුකය, බොහෝ ගුණ ඇත්තේය. මල බැඳීම කෙරෙයි, කුසගිනින වඩයි, හෘදයට හිතකරය, රුධිර දෝෂ නසයි. කටහඬෙහි විකෘතීන්, කුරුමිණි රෝග, පෙනහලු රෝග, ක්ෂ්ට, දැවිල්ල, තුන්දොස් කිපීමෙන් ඇති වන උණ හා ඉක්කාව යන රෝග නසයි. උදර රෝග, පණු රෝග, සෙම හා පිත කිපීම නිසා ඇතිවන උණ හා ඉක්කාව යනාදියට අන්‍ය ඖෂධ සමග කටුකරෝසන දෙනු ලැබේ. සර්ප විෂ, ගෝනුසු විෂ, මකුළු විෂ ආදියේදී දිය යුතු ඖෂධයක් ලෙස පැරණි වෛද්‍ය ග්‍රන්ථවල සඳහන්වේ. කුසගිනි අඩු වීම, ආමාශයේ සහ අන්ත්‍රවල වේදනා ආදියට කටුකරෝසන ඉතා ගුණදායක බව සඳහන්වේ. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන් 





Share:

Monday, July 7, 2014

කංසා (Cannabis sativa)

ලෝකයේ සෞම්‍ය හා නිවර්තන දේශගුණික ප්‍රදේශවල හොඳින් වැවෙන ශාකයකි. එයින් ලබාගන්නා කෙඳි හා මාදක ඖෂධ කීපයක් නිසා කංසා ආර්ථික වශයෙන් වැදගත් ශාකයක් බවට පත්වී ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ මෙම ශාකය විශාල වශයෙන් වගා කරනු ලැබේ. කංසා ශාකය "භංගා", "විජයා", "කාරාස්", "සිද්ධි", "ජියා", "ගන්සායි", "කල්පම්-වෙට්ටු", "බංගි" හා "මරුවානා" ආදී භාෂා කීපයක නම් රාශියකින් හැඳින්වේ.

කංසා ශාකය අඩි 4-12 දක්වා උසට වැඩේ. එයට ෂෘජුකෝණික කඳක් ඇත. පාණිවත්ව බෙදී ගිය පත්‍ර ඇත. කංසා පුෂ්ප පලාවන් කහ පැහැයක් දරයි. පුරුෂ මල් හට ගන්නේ දිගට නැමී වැටුණ සංයුක්ත ඒකාක්ෂියකයි. ජායංගී පුෂ්ප කෙටි අක්ෂීය ෂුකියක හට ගනී. ඵලය අණ්ඩාකාර වැනි හැඩයක් සහිත චර්මලයකි. මෙම ශාකයෙන් ප්‍රබල සුවඳක් වහනය වේ. ශාකය මුළුමනින්ම බූවකින් වැසී ඇත. ශාකයේ පත්‍ර මතද, ජායංගී පුෂ්ප මංජරියේ නිපත්‍ර මතද අති ග්‍රණ්ථික රෝම විශාල සංඛාවක් මඟින් ඇලෙන සුලු දුම්මල වර්ගයක් නික්මෙයි.

බටහිර මධ්‍යම ආසියාව මෙම ශාකයේ නිජබිම සේ සැලකේ. එහෙත් එය දැන් ඉන්දියාවේ හිමාල අඩවියේ ස්වභාවික ශාකයක් බවට පත්ව තිබේ. පන්ජාබයේ සිට බෙංගාලය හා බිහාර් ප්‍රදේශ දක්වා දකුණු දිගින් ඩෙකෑත් ප්‍රදේශය දක්වා කංසා ශාකය පුළුල්ව පව්‍යාප්තව ඇත.

ඖෂධීය වටිනාකම

සංස්කෘත භාෂාවෙන් පර්යයාය නම් රාශියකින් මෙම ශාකය හඳුන්වා ඇතත් චරක හා සුශ්‍රැත ආදී පැරණි වෛද්‍ය ග්‍රන්ථවල මෙම ශාකය ගැන සඳහන් නොවේ. පසු කාලීන ග්‍රන්ථයල සඳහන් ආකාරයට මේ ශාකයේ බීජ, පත්‍ර, දලු හා පුෂ්ප යන සෑම කොටසක්ම ඖෂධ පිණිස ගැනේ. කංසා කුසගිනි වඩයි. ආහාර රුචිය ඇති කරයි. තිත්තයි, පිත හා කාමාග්නිය වඩවයි. වාත, සෙම් දෙක නසයි. උත්තේජකයි. වේදනා පහ කරයි. ප්‍රීතිමත් ප්‍රබෝධජනක තත්වයට පත් කරයි. සොම්නස හා නින්ද ගෙන එයි. ස්ත්‍රීන්ගේ ගර්භාෂය හකුළුවයි. මුත්‍ර වැඩි කරයි, බල ශක්තිය, තරුණ ශක්තිය, නැවත ලබාදෙන ගුණයෙන් යුතුය. අතීසාර, රක්තාතීසාර, කල්ගිය වණ, අමාශගත පීඩා, ඔසප් දෝෂ, අණ්ඩවෘද්ධිය, අර්ශස්, වමන හා ප්‍රමේහ රෝගවලට දෙන ඖෂධවලට කංසා එක්කරනු ලැබේ. 

කල් ගිය දරුණු වණවල ආලේප කිරීමට තනනු ලබන බෙහෙත් තෙල්වලට කංසා මිශ්‍ර කෙරේ. සර්ප විෂට දෙන ඖෂධවලටද එය මුසු කෙරේ. "විෂරාජ", "ඊශ්වර", "ගරුඩ රාජ" යන බෙහෙත් ගුලි සෑදීමටත් "විෂනීල" තෛල සිඳීමටත්, පිසිසු බලු ආදී සතුන් විසින් සපන ලද විට කෙරෙන ප්‍රතිකාරවලටත් අන්‍ය ඖෂධ සමග කංසා යොදනු ලැබේ. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන්

Share:

Saturday, July 5, 2014

කලාඳුරු [Kladuru] (Cyperus rotundus)

වම්මුතු යනුවෙන් ද හඳුන්වන කලාඳුරු ඉලිප්සාකාර හෝ වටකුරු-අණ්ඩාකාර භූගත කඳක් (ආකන්දයක් / අලයක්) සහිත බහු වාර්ෂික පැලෑටියකි. අලය මි.මි. 12 පමණ දිගු වන අතර මි.මි. 3-7 පමණ පළලින් යුක්ත වන අතර සුඟන්ධවත් ය. අලය වටා සිහින් තන්තු මුල් දක්නට ලැබේ. අලයෙන් ඇතිවන ශඛා මඟින් නව පැළෑටි බිහි කරයි. ආකන්දයෙ මූලයෙන් ඇති වන සිහින් දිගැටි පත්‍ර සෙ.මි. 10-40 දක්වා දිගට වැඩේ. පත්‍රයක පළල මි.මි. 2-5 පමණ වන අතර ත්‍රිකෝණික හැඩයක් ගනී. සංයුක්ත ඒකාක්යෂක් වන පුෂ්ප මංජරිය ශුකිකා 3-10 සංඛාවකට බෙදී පවතී. ශුකිකාවක මල් 8-28 දක්වා සංඛාවක් පිහිටයි. මල් දුඹුරු පැහැති ය. ඵලය ආයත හෝ ආයත ප්‍රත්‍යණ්ඩාකාර චර්මලයකි. කලාඳුරු  Cyperaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි. 

ආයුර්වේද මූලාශ්‍රවල නාගර මුස්ත (Cyperus scariosus) , භද්‍ර මුස්ත (Cyperus rotundus) සහ කෛවර්ත මුස්ත (Cyperusesculentus)  යනුවෙන් කලාඳුරු වර්ග තුනක් ගැන සඳහන් වන අතර ලංකාවේ හමුවන්නේ භද්‍ර හෙවත් මෙම ලිපියෙහි විස්තර වන වර්ගය පමණි. එමෙන්ම හීං කලාඳුරු, මහ කලාඳුරු සහ දිය කලාඳුරු නමින් තවත් වර්ගීකරණයක්ද වෙයි. 

පිපාස, අරුචි, අතීසාර, අජීර්ණ, වමන, කැස්ස, ඇදුම, රුධිර දෝෂ, උණ, අපස්මාර, අක්ෂි රෝග, චර්ම රෝග, පාණ්ඩු, මුත්‍ර අඩස්සිය, විද්‍රධි, ළදරු උදරාබාධ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කලාදුරු අල භාවිතා කරයි. කලාඳුරු උණ සහ පණුවන් නසන, කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, පිත සමනය කරන, මුත්‍රකාරක, ගර්භාෂය සංකෝචණය කරන, මව්කිරි වඩවන සහ ශෝධනය කරන ආදී ගුණ සහිතයි. 

අතීසාරයට කලාඳුරු අල අමු ඉඟුරු සමඟ යොදා ප්‍රතිකාර කරයි. එයටම කලාඳුරු අල කසායට මී පැණි දමා බීමට දෙයි. අපස්මාරයට කලාඳුරු අල කල්කය එළකිරි සමඟ බීමට දෙයි. කැසීම් ආදී චර්මාබාධ සඳහාත්, පියයුරු හා තනකිරි වැඩීමටත් කලාඳුරු අල ප්‍රලේපය ආලේප කරයි. ඇස් රෝගවලදී ප්‍රලේපය අදුන් ලෙස යොදයි. මුත්‍ර අඩස්සියට කලාඳුරු අල තම්බා බොන්නට දෙයි. ඔසප් චක්‍රය නැවතීමේ දී හා වෙදනාකාරී මාස් ශුද්ධියෙදී කලාඳුරු අල පාණ්ඨය යොදා ප්‍රතිකාර කරයි. ගෙඩි පැසවීමට අල ගලගා ආලේප කරයි. ළදරුවන්ගේ උදර වේදනාවට කලාඳුරු අලයක් පිට පොත්ත හැර සොදා උතුරන වතුරට එක්කර තම්බා පෙවීම හෝ කිරිපිටි දෙන්නේ නම් එම කිරි සාදන උණු වතුරට එක් කිරීම සිදුකළ හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:

Thursday, July 3, 2014

කතුරු මුරුංගා (Sesbania grandiflora)

ලංකාවේ සෑම පළාතකම පාහේ දැකිය හැකි අඩි 25 ක් පමණ උසට ඉන්මනින් වැවෙන ශාකයකි. මේ ශාකයේ ලීය මෘදුය. කොළ සංයුක්තය. අඟල් 10 ක් පමණ දිගය. ඒකාන්තරය, පක්ෂවත්ය, උප පත්‍රද සහිතය. අලංකාර වූ සුදුපාට මල් ලොකුය. ඒවා එල්ලෙන ඒකාක්ෂ පුෂ්ප මංජරිවල හටගනී. රතු පැහැති මල් හටගන්නා කතුරු මුරුංගා ප්‍රභේදයක්ද තිබේ. මල යුගරූපීය. පංචාංකය. කණ්ඩ දෙකකින් යුක්තය. දල පහෙන් අපර දලය පතාකය වේ. එය විශාලතමය. මලේ රේණු 10 කි. අපර රේණුව නිදහස්ව තිබියදී අනෙක් රේණු නවය ඒකාබද්ධව ඩම්බකෝෂය වටා නළයක් සාදයි. උත්තර වූ ඩිම්බකෝෂය ඒක කොෂ්ඨීය. එක් අණ්ඩපයක් ඇත. ඩිම්බ සවි වී ඇත්තේ දාරයෙහිය. කරලක් අඩියක් පමණ දිගය. එහි ඇට බොහෝය. කතුරු මුරුංගා ශාකය ලංකාවේ සහ වෙනත් නිවර්තනික ප්‍රදේශවල වැවේ. බීජ මගින් මෙහි ප්‍රචාරණය සිදුවේ. කතුරු මුරුංගා මල් සහ කොළ ආහාරයට ගැනේ. කතුරු මුරුංගා ශාකය FABACEAE  කුලයට අයත්ය. 

ඖෂධීය වටිනාකම 

සංස්කෘත ග්‍රන්ථවල කතුරු මුරුංගා ශාකය “වක්‍රපුෂ්ප“ “අගස්ති“ හා “මූනිද්‍රැම“ යන නම්වලින් හැඳින්වේ. කතුරු මුරුංගා මිහිරිය, සිසිල්ය. වා, පිත්, සෙම් යන තුන් දොස් පෙනහලු රෝග හා තුන් දොස් කිපීමෙන් හට ගන්නා උණ නසයි. කතුරු මුරුංගා මල් සිසිල්ය, කසටය, මල බඳියි. ආහාර රුචිය ඇති කරයි. මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කරයි.

කතුරු මුරුංගා කොළ අනුභව කිරීමෙන් රාත්‍රී අන්ධභාවය සුව වන බව යුනානී වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් වේ. රතු කතුරු මුරුංගා මල් ඇල් දියෙන් අඹරා ගෑමෙන් සන්ධි ප්‍රදාහය බඳු රෝග සුව වන බව එහිම දැක්වේ. කතුරු මුරුංගා කොළ යුෂ පීනසට හා හිසරදයට ප්‍රතිකාර වශයෙන් යොදනු ලැබේ. ඉන්දියාව හා කාම්බෝජය ආදී රටවල අතීසාරයට ඔසුවක් වශයෙන් කතුරු මුරුංගා පොතු භාවිතා කරයි. ලංකාවේ හිසට දමන ප්‍රධාන බෙහෙත් තෙලක් වූ “මූනිශාක තෛලය“ සෑදීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය කතුරු මුරුංගා කොළයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයාරූ_ අන්තර්ජාලයෙන් 


Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support