දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Tuesday, October 28, 2014

කිහිරි (Acacia chundra)

අඩි 8-12 අතර උසැති මධ්‍යම ප්‍රමාණයේ ගසකි. එහි පොත්ත තද දුඹුරු පාටය. ළපටි රිකිලි දම් පාටය, සිනිඳුය, එහි කුඩා කටු ඇත. පත්‍රය සංයුක්තය. එක් එක් පත්‍රයේ පත්‍රිකා 40-60 දක්වා සංඛාවක් දක්නට ලැබේ. එම පත්‍රිකාවක් අඟල් 1/2 පමණ දිගය. ළං ළංව පිහිටා ඇත. සැප්තැම්බර් මාසයේ මෙම ශාකයේ මල් හට ගනී. එම මල් ළා කහ පාට හෝ රෝස පාටය. පුෂ්ප මංජරිය අඟල් 4 ක් පමණ දිගය. පුෂ්පය ද්වීලිංගිකය. එහි මණිය පුනීලාකාරය. ඵලය අඟල් 4 ක් පමණ දිග රනිලයකි. වේලුන විට එය පැළේ. රනිලයක බීජ 4-6 දක්වා ඇත. ඒවා ගෝලාකාරය. කොළ පාටට හුරු දුඹුරු පාටය. 

ලංකාවේ කිහිරි දක්නට ලැබෙන්නේ වියළි කලාපයේය. බලංගොඩට පහළින් තිබෙන බිම් තැන්න, උතුරු පළාතේ මන්නාරම හා වවුනියාව අතර ප්‍රදේශය යනාදියෙහි කිහිරි දක්නට ලැබේ. ඉන්දියාව, පාකිස්ථානය, බුරුමය හා නිවර්තනික අප්‍රිකාව යනාදී රටවල කිහිරි වැවේ. කිහිරි අරටුව රතු පාටය, ඉතා තදය, බරය, තිත්තය. කිහිරි Fabaceae කුලයට අයත් ශාකයකි. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල කිහිරි හැඳින්වෙන්නේ “ඛදිර“ යනුවෙනි. මෙම ශාකයේ ප්‍ර භේද 5 ක් ඇත. ඛදිර, සෝමවල්ක, තාමූකන්ටක, විටිඛදිර, හා අරී ඒවාය. ඛදිර තිත්තය, ශීත වීර්ය ඇත්තේය. වා, පිත්, සෙම් සමනය කරයි. කුෂ්ට, ආම හෙවත් ආහාර නොදිරවීම නිසා හටගන්නා වාත රෝග, ඉදිමුම්, වණ හා කෘමි දෝෂ නසයි. සෙම් වියළවයි. මල බුරුල් කරයි. සෝමවල්ක ප්‍රභේදය ශ්වේත වර්ණයෙන් යුතුය. තිත්තය, කටුකය, කසටය, ඌෂ්ණ වීර්ය ඇත්තේය. ශීතපිත්ත, කඵ, වාත, වණ, රක්ත දෝෂ හා කුෂ්ට නසයි. 

තාමූකන්ටක ප්‍රභේදයේ ලීය රතු පාටය. කටුකය, කසටය, තිත්තය, ඌෂ්ණය. ආමවාත, රුධිර දෝෂ, වාත, වණ හා උණ නසයි. විටිඛදිර ලංකාවේ ඇතැම් පළාත්වල “ගුරුන්ද“ නමින් හැඳින්වේ. එය දුගඳින් යුතුය, කටුකය, ඌෂ්ණය, තිත්තය, ලේ දෝෂ, වණ විසප්පු, උණ, කුෂ්ට, උන්මාද සමනය කරයි. දත් රෝග නසයි. අරි ප්‍රභේදය තිත්තය, කසටය, රුධිර දෝෂ හා පිත් නසයි. 

ඛදිර ප්‍රභේදයෙන් ලබාගන්නා ද්‍රව්‍යයකට ලංකාවේ ජනයා “කයිප්පු“ යැයි ව්‍යවහාර කරති. කයිප්පු කටුකය, තිත්තය, ඌෂ්ණ වීර්ය ඇත්තේය, ආහාර ප්‍රිය කරයි, කුසගිනි වර්ධනය කරයි. වා සෙම් නසයි. ගෙල ආශ්‍රිත පීඩා (කණ්ඨ රෝග) හා වණ සුව කරයි. මේ ද්‍රව්‍ය බුලත් විට සමග කෑමට පැරණියෝ පුරුදු වී උන්හ. ඒ එහි ඇති යට කී ගුණ නිසාය. 

මූලාශ්‍ර_  "ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක" කෘතිය 
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Friday, October 24, 2014

කොටිකන් බැබිල (Sida rhombifolia)

අඩි දෙකක් පමණ උසට වැවෙන බහුවාර්ෂික ශාකයකි. ගස සෘජුය. බොහෝ අතු සහිතයි. අතුවල තාරකාකාර කේශර පිහිට ඇත. පත්‍රයක් අඟල් 1- 1 1/2 අතර දිගැතිය. පත්‍ර දාරයේ පහළ කොටස සම්පූර්ණය. ඉහළ කොටස දන්තූර කරපත්‍රිකය. පත්‍රයේ උඩු පැත්ත සිනිඳුය. යටි පැත්ත තරමක් බූව සහිතයි. මල් තනි තනිව කක්ෂවල පිපේ. නිපත්‍රිකා නොමැත. පුෂ්ප දිගින් අඟල් 0.75 පමණ වේ. කහ පාට පුෂ්ප පරවෙන විට සුදුපාට වේ. පුෂ්පයේ මණි පත්‍ර 5 කි. දල 5 කි. ඩම්බකෝෂය උත්තරය. බහුකෝෂ්ඨකය. ඵලය මේරූ විට පැළී ඵලිකා බිහිවේ. ඵලිකාවක තනි බීජයක් ඇත.  කොටිකන් බැබිල මල්වාසේ (Malvaceae) කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම 

මෙම ශකය ලංකාවේ පාරවල් අද්දර පාළු බිම්වල බහුලව වැවේ. ලෝකයේ බොහෝ නිවර්තනික ප්‍රදේශවල මේ ශාකය හමුවේ. සෙම්, පීනස් හා ප්‍රතිශ්‍යා ආබාධවලදී ප්‍රතිකාර වශයෙන් යෙදෙන ඖෂධ පිළියෙළ කිරීමට කොටිකන් බැබිල ගනු ලැබේ. මේ හැර ගඩු, පිළිකා, ක්ෂයරෝගය, රක්තවාතය, අධික උණ, උදරාබාධ, ඔසප් චක්‍රයේ අක්‍රමවත්බව, පැපොල, දත් කැක්කුම සහ කැඩුම් බිඳුම් ආදි රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට කොටිකන් බැබිල යොදා ගනී. මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ පිණිස ගැනේ. තවද පත්තු, මැල්ලුම්, කෂාය හා තැවුම් පොට්ටනි හඳහා මේ ශාකයේ කොටස් භාවිතා කෙරෙයි. මෙරට වියළි පළාත්වල හමුවන තවත් කොටිකන් බැබිල විශේෂයක් වූ සීඩා රෙටූසා (Sida retusa) ශාකයෙන් හොඳ සවිමත් කෙඳි ලැබේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ අනුග්‍රහය_  www.esc.nsw.gov.au lepidoptera.butterflyhouse.com.au 



Share:

Monday, October 20, 2014

කිරිපළු (Buchanania axillaris)

මෙය මධ්‍යම ප්‍රමාණයේ දේශීය බහුවාර්ෂික ශාකයකි. සාමාන්‍යයෙන් අඩි 10-15 අතර උසැතිය. මෙම ශාකයේ ළපටි කොටස් සිනිඳුය. පත්‍ර සරලය. අඟල් 3-6 දක්වා දිගැතිය. ඒවායේ හැඩය ආයතය. පත්‍ර චර්මලය, සිනිඳුය, දිලිසෙන ස්වභාවයෙන් යුක්තය. පත්‍ර අග්‍රය තීව්‍රය. සම්පූර්ණය. පුෂ්ප කුඩාය, ද්වීලිංගිකය, සුදු පාටය, කුඩා කක්ෂීය සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප තදබතව පිහිට ඇත. පුෂ්පයක දල පහකි. රේණු දහයකි. කීලය කෙටිය. මේ පුෂ්ප හට ගන්නේ අප්‍රේල් මාසයේය. 

ලංකාවේ පහතරට ප්‍රදේශවල මේ ශාකය විරලය. යාපනය, හල්දුම්මුල්ල, මොරවක් කොරලය, හන්තාන හා උඩපේරාදෙණිය යනාදී ප්‍රදේශවල කිරිපළු හමුවේ. මේ ශකය දකුණු ඉන්දියාවේද දක්නට ලැබේ. මෙරට වැවෙන කිරිපළු ශාකය ඉන්දියාවේ වැවෙන කිරිපළු ශාකයේ පත්‍රවලට වඩා ඝනය. එසේම ඵලයද වඩා ලොකුය. මෙහි ඵලය අෂ්ටිලයකි. එය අඟල් 1/2 පමණ දිගය. කිරිපළු Anacardiaceae කුලයට අයත් ශාකයකි. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල “රාජායතන“, “ක්ෂීරි“, “ක්ෂීරවෘක්ෂ“ යන නම්වලින් කිරිපළු හැඳින්වේ. කිරිපළු මධුරය, පැසීමේදී ඇඹුල් වෙයි. වා, පිත්, මේහ නසයි. ආහාර රුචිය වඩයි, තෘප්තිකරය, හෘදයට හිතකරය, සිනිඳුය. කිරිපළු ශීතය, ශරීරයේ විවිධාකාර දැවිලි, අවසිහිය, කරකැවිල්ල, ලේ දෝෂ, තුන් දොස් කිපීමෙන් ඇති වූ දෝෂ සමනය කරයි.

මූලාශ්‍ර_ “ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය (සරත් රණවීර සහ රේඛා රණවීර)
සේයාරූ_ අන්තර්ජාලයෙන් 







Share:

Thursday, October 16, 2014

කිරිඳි [Kiridi] (Coix lacryma-jobi)

මෙය අඩි 4 ක් පමණ උසට වැවෙන තෘණ පැළෑටියකි. මෙහි කඳ මෘදුය. බොහෝ අතු ඇත. පහළ ගැටවලින් මුල් ඇදේ. පත්‍රයක් අඟල් 5-18 දක්වා දිගැති වන අතර අඟල් 1 1/2 පමණ පළල්ය. පත්‍ර අග්ගිස්ස තීව්‍රය. පත්‍ර දාරය කරපත්‍රිකය. පුෂ්ප ඒකලිංගිකය. පූමාංගී සහ ජායාංගී පුෂ්ප එකම ඒකාක්ෂ පුෂ්ප මංජරියක පිහිටා තිබේ. ඵලය ගෝලාකාරය. අඟල් 1/4 පමණ දිගය. නිල් පාටට හුරු අළු පාටය. සිනිඳුය. ලංකාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, අප්‍රිකාව හා ඇමරිකාව යන රටවල කිරිඳි වැවේ. ලංකාවේ නැතත් යටකී රටවල කිරිඳි වවනු ලැබේ. ඔවුන් එම ඇට ගෙන පොතු ඉවත්කර ආහාරයක් හා ඖෂධයක් ලෙස ප්‍රයෝජනයට ගනී. කිරිඳි බත් හා කැඳ දිළිඳු රටවල ජනයා විසින් පාරිභෝජනය කෙරේ. කිරිඳි Gramineae කුලයට අයත් ශාකයකි. 

ඖෂධීය වටිනාකම

විවිධ රෝගාබාධ සදහා යොදන පත්තු, මැල්ලම්, බේත් පොට්ටනි හා ආලේප යනාදියටත්, බෙහෙත් තෙල් සිඳීමටත් කිරිඳි ගනු ලැබේ. කිරිඳි ඇට පොතු හැර ලබා ගත් කිරිඳි සහලින් පිසින කැඳ රෝගීව සිට සුවය ලබමින් සිටින අයට ගුණදායකය. ආමාශගත අජීර්ණ නසයි. දිරවීමට පහසුය. සැහැල්ලු ආහාරයකි. 

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය 
සේයා රූ_ davesgarden.com flowers.la.coocan.jp 



Share:

Sunday, October 12, 2014

කිඩාරම් [Kidaram] (Amorphophallus paeoniifoliu)

කිඩාරම්, කෝමය නමින් හඳුන්වන භුගත කඳක් හෙවත් අලයක් සහිත කුඩා දේශීය ශාකයකි.  ප්‍රකටව පෙනෙන විශාල පත්‍රයක පත්‍ර නටුව මීටර් 1.2 පමණ දිගට වර්ධනය වේ. කොළ පැහැති පත්‍ර නටුවෙහි සුදු පැහැති ලප දැකගත හැකිය. වරකට එක බැගින් වසරකට පත්‍ර එකක් හෝ දෙකක් පමණක් හට ගනී. පුෂ්ප මංජරිය තද දම් පැහැති ඡද ශුකියකි. එය කෙටි නටුවක් සහිත වන අතර ඵල හටගත් පසු මීටර් 0.5 දක්වා වර්ධනය වේ. ඝණ්ටාකාරය කොලපුවෙහි පිට පැත්ත ළා කොළ පැහැතිය. ඇතුලත තද දම් පැහැයක් ගනී. පුෂ්ප මංජරියෙන් දැඩි අප්‍රසන්න ගන්ධයක් වහනය වෙයි. ඵලය බදරියකි. මෙම උද්භිද කුලයටම අයත් වල් කිඩාරම් (Arisaema tortuosum) නමින් හඳුන්වන තවත් දේශීය ශාකයක් ඇති අතර එය පෙනුමෙන් කිඩාරම් ශාකයට තරමක් සමාන නමුත් විශාලත්වයෙන් කුඩාය. එයද අහාර සහ ඖෂධ සඳහා භාවිතා කරයි. වර්ණය අනුව රතු කිඩාරම් සහ සුදු කිඩාරම් යනුවෙන් ද වර්ගීකරණයක් ඇත. සංස්කෘතෙන් සූරණ නම් පාර්යායකින් හඳුන්වන කිඩාරම් Araceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.  

අර්ශස්, භගන්දර, ගුල්ම, ආර්ථව දෝෂ, ඉදිමුම්, ආහාර අරුචිය, කුසගිනි මදිකම, අක්මා රෝග, ප්ලීහා රෝග, පණු රෝග, කැස්ස. ඇදුම, මලබද්ධය, ඉරුවාරදය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කිඩාරම් ශාකයේ අලය භාවිතා කරයි. කිඩාරම් කුෂ්ඨ නසන, රුචිකාරක, අග්නි වර්ධක, පණුවන් නසන ආදී ගුණයන්ගෙන් යුක්ත ය. වෘහත් සිංහනාද ගුග්ගුළුව, කාඞකායන මෝදයකය, සුරුණ මොදකය, අර්ශස් ගූඨාර රසය, බහුශාල ගූඩය කිඩාරම් භාවිතා කර නිපදවන ඖෂධයන් ය.

කිඩාරම් අර්ශස් රෝගයට ඉතාම ගුණදායන බව සඳහන්. අර්ශස් අංකුරවල ඇති රුධිර නාල හැකිලවීමේ විශේෂ ගුණයක් කිඩාරම්වල සතුව පවතී. මේදස්ග්‍රන්ථි (ගෙලෙහි ග්‍රන්ථි ඉදිමීම)  නම් රෝගය සඳහා කිඩාරම් අල ඉඟුරු සමඟ ඇල් දියෙන් අඹරා ගෑම සිදු කරයි. අර්බුදවලට මේරූ කිඩාරම් අල දීකිරි, ගිතෙල්, උක් හකුරු සමඟ අඹරා ආලේප කරයි. කිඩාරම් අල ගිතෙල් හෝ මී පැණි සමඟ අඹරා ආලේප කිරීමෙන් තදබල ආමවාත (ආරයිට්ස්) තත්වයේදී ඇති වන වේදනාව සමනය වෙයි. වල් කිඩාරන් කටුක, ඌෂ්ණ, කෘමීන් නසන. බඩවැලේ රුජා හා ආහාර අරුචිය නැති කරන ගුණයන් සහිත බව දක්වා ඇත. කිඩාරම්වල පවතින තීක්ෂණ, ඌෂ්ණ ගුණ නිසා ලේ කුපිත කරවන ස්වභාවයක් ඇති හෙයින් රත්පිත් හා කුෂ්ඨ රෝගවලින් පෙළෙන අයට හිතකර නොවන බව සඳහන්.

කිඩාරම් ගොබය රසවත් ව්‍යංජනයක් ලෙස පිළිලෙ කර ගත හැකිය. එය අරුචිය, සෙම, වාතය සහ අර්ශස් නසන ගුණයෙන් යුක්තයි. පාත්‍රයක හැඩය ගන්නා කිඩාරම් අලය තම්බා හෝ ව්‍යංජන ලෙස සකසා ආහාරයට ගත හැකිය. මෙම අල ඉන්දියානුවන්ගේ ජනප්‍රිය ආහාරයකි. අල ගැලවූ විගස භාවිතා කිරීමෙන් හා හොඳින් තම්බා නොගෙන ආහාරයට ගැනීමෙන් ආසාත්මිකතාවයන් ඇති විය හැකිය. එවැනි අවස්ථාවක දෙහි ඇඹුල් හෝ සියඹුලා යුෂ වැනි ඇඹුල් සහිත දෙයක් බීමට දීම, ඇහැල මල් යුෂ බීමට දීම වැනි ප්‍රතිකාරයක් කළ යුතුය. කිඩාරම් අල තම්බා කෑමට ගැනීම ගර්භණීන්ට සුදුසු නොවන බවට ගැමියන් අතර මතයක් පවතී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
Share:

Wednesday, October 8, 2014

කුඩුවෙළඟ [Kuduwelaga] (Mallotus philippensis)

කුඩුවෙළඟ බොහෝ සේ අතු බෙදෙමින් මීටර් 15 ක් දක්වා උසට වැඩෙන දේශීය ශාකයකි. මෙය හම්පිල්ලක / කම්පිල්ලක / හම්පරිල්ල ආදී නම්වලින්ද හඳුන්වයි. ගසේ රිකිළි, ළා දලු හා පුෂ්ප මංජරිය බූව සහිතය. රළු ස්වභාවයකින් යුක්ත පත්‍රයක් සෙ.මි. 7.5-15 අතර දිගැති ය. පත්‍රය අණ්ඩාකාර හෝ අණ්ඩාකාර-ලන්සාකාරය. පත්‍ර දාරය සම්පූර්ණය. යාන්තමට දැති සහිතව හමුවන අවස්ථා ඇත. සුදු පැහැයට හුරු කහ පැහැයකින් යුත් පුෂ්ප කුඩාය. පුෂ්ප මංජරිය සෘජු ශුකියකි. පුෂ්පයක රේණු විශාල සංඛාවක් ඇත. ඵලය ස්ඵෝටිකාවකි. එය කුඩා රෝමවලිනුත්, රතු පාට රෙසින දුව්‍යකිනුත්, රතු පාට කුඩු විශේෂයකිනුත් වැසී ඇත. බීජ කළු පාටය. කුඩුවෙලඟ Euphorbiacae කුලයට අයත් ශාකයකි. 

කුඩුවෙළඟ ශාකයේ ඖෂධ සඳහා භාවිතා කරන ප්‍රධාන අංගය වන්නේ ගෙඩිය වටා පිහිටන රතු පැහැති කුඩු වර්ගයයි. ඒවා "කපිලි" යනුවෙන් හඳුන්වයි. ශාකයේ ගෙඩි හැර වෙනත් කොටස්වලින් ලබා ගන්නා රතු මිශ්‍ර කහ පාට කුඩු "කපිලා" යනුවෙන් හඳුන්වන අතර එයා ගුණයෙන් හීන බව දක්වා ඇත. මෙම කුඩු මධ්‍යසාරවල දියවන අතර ජලයෙහි දිය නොවේ. මේ කපිලා ඌෂ්ණ, සෙම හා වාත සමනය කරන, පිත වඩන ඖෂධයකි. ගුල්ම රෝග, උදරාබාධ, කුෂ්ඨ, ක්ෂත, වණ, අකලට හිසකෙස් හැලීම, මුත්‍ර ගල්, පණු රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී මෙම කුඩු මෙන්ම ශාකයේ වෙනත් කොටස්ද භාවිතයට ගනී. කුඩුවෙළඟ රුධිරය පිරිසිදු කරන, මුත්‍රගල් සිඳලන, කුෂ්ඨ නසන, වාජීකරණ ආදී ගුණයන් සහිතයි. 

මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක සහ ඔසුතුරු විසිතුරු කෘති 
Share:

Tuesday, September 30, 2014

කීකිරිඳිය [Keekiridiya] (Eclipta prostrata)

තෙතමනය සහිත ස්ථානවල සුලභව හමුවන කීකිරිඳිය පැලෑටිය පොළවට සමාන්තරව මීටර් භාගයක් දක්වා දිගට වැඩෙන දුර්වල කඳක් සහිත දේශීය ශාකයකි. භූමිය මතුපිටට ඇලී වර්ධනය වන රතු පැහැති කඳේ ගැටවලින් පොළවට මුල් ඇදේ. පත්‍ර සහ කඳ සියුම් බූවක් සහිතය. පත්‍ර ඉලිප්සාකාර සිට ලංසාකාර විය හැකිය. පත්‍රයක් සෙ.මි 5 දක්වා දිගු වන අතර මි.මි 15 දක්වා පළලට වර්ධනය වේ. පත්‍ර දාරය සම්පූර්ණ හෝ මඳ වශයෙන් දන්තූර වේ. සුදු පැහැති සංයුක්ත පුෂ්පයෙහි කුඩා පුෂ්පිකා රාශියකි. ඵලය චර්මලයකි. කේෂ කලාපයේ සහ හිසේ නිරෝගීභාවයට අදාලව වඩාත් ප්‍රකට කීකීරිඳිය ශාකය Asteraceae කුලයට අයත් ය. 

හිස කෙස් වර්ධනය කිරීමටත්, අකලට කෙස් හැලී යාම වැලැක්වීමටත් සමත් ගුණයන් සහිත බැවින් කේෂ කලාපයේ සහ හිසෙහි රෝග සඳහා කීකිරිඳිය සුලභව භාවිතා කරයි. එමෙන්ම පාණ්ඩු, පීනස, ඇදුම, ක්ෂය රෝගය, හෘද රෝග, යාකෘත් රෝග, ප්ලීහා රෝග, උදරාබාධ, සෙංගමාලය, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස්, පණු රෝග, වණ, අක්ෂි රෝග, මුත්‍ර දැවිල්ල ආදී රෝග අවස්ථා රැසකට ප්‍රතිකාර කීරීමේදී මෙම සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. භෘංගරාජ චූර්ණය, භෘංගරාජ තෛලය කීකීරිඳිය යොදා නිපදවන ඖෂධයන් ය. බොහෝ විට කීකීරිඳිය අමු අවස්ථාවේදී භාවිතයට ගතයුතු වීම විශේෂත්වයකි. 

කීකිරිඳිය ස්වරස (අමු යුෂ) කෙස්වල ගැල්වීමෙන් අකලට හිසකෙල් හැලී යාම නවතී. එම ස්වරසය හිසෙහි ගැල්වීමෙන් හිසෙහි වේදනාවන් සමනය වේ. මුත්‍ර දැවිල්ලට ස්වරස තේ හැඳි එකක් ජලයට දියකර බීම, ඇට යොදා සකසා ගත් කිරි කෂාය දීම ගුණදාකය. කීකිරිඳිය ස්වරස එළු කිරි සමඟ බීමෙන් ගබ්සාවීම් වලක්වා ගත හැකිය. කීකිරිඳිය බටු දළු යුෂ මී පැණි සමග දීමෙන් සෙම සහිත කැස්ස සුව වේ. මෙම කොළ මලවා කෑම පණු රෝග සඳහා ප්‍රතිකාරයකි. කෘමි දෂ්ඨන ආදීයෙදී බාහිරව යුෂ ගැල්වීම හෝ ප්‍රලේපය තැවරීම සුදුසු ය. කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමග කෑම අම්ලපිත්තයට ගුණ වේ. පාණ්ඩුව රෝගයේදී කීකිරිඳිය යොදා සකසා ගත් නොයෙක් ඖෂධ යෝග යෙදීමෙන් රක්තාණු වර්ධනය වීම සහ රුධිරය පිරිසිදු වීම සිදු වේ. කීකිරිඳිය ඇට චූර්ණය රසායන වාජීකරණ ගුණයෙන් යුක්ත ය. කීකිරිඳිය ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් නේත්‍රාබාධ ඇති නොවන බව ගැමියෝ කියති. පෙර කළ ගැමි කතුන් කළුවන් නිරෝගී දිගු වරලසක් සඳහා ස්නානයට පෙර කීකිරිඳිය යුෂ හිස ගැල්වීමට අමතක නොකලේය. මෙම යුෂද කාල වර්ණය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය 

Share:

Saturday, September 27, 2014

කුඹුක් [Kubuk] (Terminalia arjuna)

ඉපැරණි සිංහල ග්‍රන්ථවල කුකුභ යනුවෙන් හඳුන්වා ඇති කුඹුක් මීටර් 25 ක් දක්වා ඉහලට අතු පැතීරි වැඩෙන දේශීය ශාකයකි. ආයුර්වේදයේ ප්‍රකට නාමය අර්ජුන ය. රෝස හෝ කොළ සුදු පැහැයට හුරු සිනිඳු පොත්ත පතුරු ලෙස ගැලවී ඉවත් වන ස්වභාවයකි. සරල පත්‍ර සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටයි. පත්‍රයක දිග සෙ.මි. 15 ක් දක්වා සහ පළල සෙ.මි. 7 දක්වා අතර විය හැකිය. පත්‍ර හැඩය ආයත සිට අණ්ඩාකාර ලන්සාකාර වේ. ළපටි පත්‍රවල බූවක් දක්නට ලැබේ. පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. වෘන්ත රහිත කුඩා මල් ළා කහ හෝ කොළ සුදු පැහැතිය. ඵලය නොපැලෙන අෂ්ටිලයකි. එක් ඵලයක් තුල තද දුඹුරු පැහැති එක් බීජයක් පිහිටයි. කුඹුක් Combretaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

අධිරුධිර පීඩනය, වණ, අස්ථිභග්න, හෘද රෝග, පෙනහලු රෝග, දියවැඩියාව, ප්‍රමේහ, විඩාව, මූර්ජා, පණු රෝග, උදර රෝග, ගම්භීරකුෂ්ඨ, විදුරුමසින් ලේ ගැලීම, විසූචිකා, පාන්ඩු, සුදු කබර, රක්ත අතීසාරය, රක්ත අර්ශස්, රක්තපිත්ත, ඉදිමුම් ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා කුඹුක් කොළ, පොතු, සුඹුලු, ගෙඩි ආදිය භාවිතා කරයි. පොතු ගැනීමේදී රතු හෝ රෝස පැහැ වූ මේරූ පොතුම ගත යුතු බව සඳහන් කර ඇත. කුඹුක් රක්ත ස්තම්භන, සන්ධානී, වණ ශෝධනය සහ රෝපණය කරන, මුත්‍ර සංග්‍රහනී, විෂ නාශක ආදී ගුණයන් රැසකින් සමන්විතයි. කුඹුක් පොතු විශේෂයෙන් හෘදය ශක්තිමත් කිරීමේ හැකියාවෙන් යුක්ත බව පැරණි වෛද්‍ය මතයකි. 

ක්ෂය රෝගය, රක්ත පිත්ත, රක්ත ස්‍රාව, පපුවේ දැවිල්ල ආදියට කුඹුක් පොතු චූර්ණය පාවට්ටා කොළ යුෂින් භාවනා දී (රැයක් පවට්ටා යුෂවල බහා තබා පසු දින උදයේ සිට වේලා) සියුම්ව අඹරා ගිතෙල් සමඟ කෑමට ගත යුතුය. ශුක්‍ර මේහයට සහ ශ්වේත ප්‍රදරයට කුඹුක් පොතු, සුදු හඳුන් සමව ගෙන සකසා ගත් කෂාය බීමට දෙයි. ශුක්‍ර මේහයට, ඉරුවාරදයට, බොහෝ චර්ම රෝග සඳහා සහ ශරීර ශක්තියට කුඹුක් පොතු කෂාය ගුණදායක ය. රත්පිතට කුඹුක් ශීත කෂාය යොදයි. වණ සඳහා ප්‍රතිකාර ලෙස කුඹුක් කොළයකින් වණය වසා තැබීම, කුඹුක් කොළ තම්බා සේදීම සහ කුඹුක් ගෙඩි තම්බා අඹරා වණය මත ඇතිරීම ආදිය සිදු කරයි. ව්‍යංගයට කුඹුක් පොතු ගලගා ආලේප කරයි. රක්ත අතීසාරයට කුඹුක් පොතු කිරි කෂාය බීමට දෙයි. ඉදිමුමට කුඹුක් මල් අඹරා ආලේප කරයි. කුඹුක් සුඹුලු චූර්ණයෙන් දත් මැදීමෙන් දත් කැක්කුම සුව වෙයි. කුඹුක් පොතු මී පැණියෙන් ගලගා තැවරීමෙන් කුරුලෑ නැතිව යයි. කුඹුක් පොත්තේ, කඳේ සහ පොතුවල ඇති රසායනික සංඝටක පිළිකා සෛල වර්ධනය නිශේධනය කරන බව සඳහන්. කුඹුක් පොතු කෝපි මෙන් කුඩු කර සාදා බීම යටි පතුල් පැලීමට සහ දියවැඩියාවට ගුණ බව ගම්බඳ ජනයාගේ අදහසකි. 

කුඹුක් දළු මැල්ලුම අනුභව කිරීමෙන් මලබද්ධය සුව වන අතර අායුෂද වැඩි කරයි. කුඹුක් ලීය වටිනා දැවයකි. එය පාලම් ඉඳිකිරීමට, සිල්පර කොට සඳහා, ගෘහ භාන්ඩ නිපදවීමට, ඔරු, හබල් ආදිය තැනීමට භාවිතා කරයි. කුඹුක් ගසේ සිසිල සහ පිරිසිදු බව නිසා ළිං අසල වගා කරයි. මෙහිදී ගසේ මුල් ළිඳ තුලට වැඩීමෙන් ජලය සිසිල්වීම සහ පිරිසිදුවීම සිදුවේ. කුඹුක් ගසක් යට දිය නෑම ශරීරය සිසිලසින් කුල්මත් වන අත්දැකීමකි. දැඩි නියං කාලයට වූවද එම සිසිලස එලෙසම පවතී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරූ_ අන්තර්ජාලයෙන්  
Share:

Wednesday, September 24, 2014

කොටදිඹුලා [Kotadibula] (Ficus hispida)

කොටදිඹුලා මීටර් 5 පමණ උසට ලිහිල්ව අතු පැතිරී වැඩෙන දේශීය ශාක විශේෂයකි. දෙපසම රළු බූවක් සහිත පත්‍රයක් දිග සෙ.මි. 30 ක් සහ පළල සෙ.මි 15 දක්වා වර්ධනය වේ. පත්‍රයක හැඩය අණ්ඩාකාර හෝ ආයත විය හැකිය. සම්මුඛව පිහිටන පත්‍ර යටි පැත්තෙහි නහර මෙන් ඉල්පුණු පටලමය නාරටි පැහැදිළිව පෙනෙන්නට තිබේ. සිනිඳු මතුපිටක් සහිත පොත්ත කිරි සහිතය. කඳෙහි, අතුවල සහ කඳේ පහලින් හට ගෙන පොළව මතුපිට දුවන මුල්වල කෙටි නටුවක් සහිත සංයුත්ක පුෂ්පමංජරි හට ගනී. කොළ පැහැති කිරි සහිත ගොලාකාර ඵලය ඉඳුණු පසු කහ පැහැයක් ගනී. අමු ගෙඩි ව්‍යංජනයක් ලෙසද පිසගත හැකිය. කොටදිඹුලා Moraceae කුලයට අයත් ශාකයකි. 

ගෙඩි, වණ, තුවාල, චර්ම රෝග, කැඩුම් බිඳුම්, රත්පිත, අර්ශස්, සෙංගමාලය, උණ, ඉදිමුම්, සුදු කබර, සර්ප විෂ, උළුක්කු සහ හන්දි පැනීම් ආදි රෝගයන්ට ප්‍රතිකාර කිරීමට කොටදිඹුලා ශාකයේ කොල, පොතු, මුල්, ගෙඩි, ඇට, මැලියම් ආදිය භාවිතා කරයි. කොටදිඹුලා විරේචක, රුධිරය පිරිසිදුකරන, මව් කිරි වඩවන ගුණ සහිතයි. 

ලේ නරක් වීම සහ ඉදිමුම් අවස්ථාවන්ට කොටදිඹුලා පොතු කෂාය දෙයි. එයම බාහිරව ගැල්වීමෙන් කුෂ්ඨ සමනය වන අතර වණ ශෝධනය සඳහා ද භාවිතා කළ හැකිය. රක්තපිත්තයට ඉදුණු ගෙඩිවල ස්වරසය යෙදිය හැකිය. ඉදුණු ගෙඩිවල යුෂ තැවරීමෙන් ගංඩමාලා ගැට සුව වෙයි. මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසු කිරි වැඩීම පිණිස ඉඳුණු ගෙඩි කෑමට දෙයි. කොටදිඹුලා ගෙඩි තම්බාගත් යුෂ පැණියක් ලෙස සකසා දීම ප්‍රදර රෝගයන්ට ප්‍රතිකාරයකි. සර්ප දෂ්ටනයකදී කොටදිඹුලා ගසෙහි බටහිර පැත්තේ උඩ සිට පහලට ගලවා ගත් පොත්ත විෂ ගමන් කීරීම වැලැක්වීම පිණිස බන්ධනියන් වශයෙන් යොදයි. සුදු කබර රෝගය සඳහා ප්‍රතිකාර ලෙස විහීතකාදී ක්වාතයත්, බුලු පොතු සහ කොටදිඹුලා පොතු සමව ගෙන සෑදූ ක්වාතයත් යොදයි. කොටදිඹුලා කොළවලින් සාදා ගන්නා කැඳ සර්ප විෂට, සුදුකබර රෝගයට සහ චර්ම රෝගයන්ට ගුණදායකය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 

Share:

Sunday, September 21, 2014

කොත්තමල්ලි (Coriandrum sativum)

මෙය අඩි දෙකක් පමණ උසට වැඩෙන වාර්ෂික ශාකයකි. ගසේ කඳ ළා කොළ පාට හෝ දම් පාටය. ශාකයේ අතු බොහෝය. පත්‍ර ඒකාන්තරය. සංයුක්තය. ශාකයේ පත්‍ර දෙවර්ගයක් ඇත. පහළින් ඇති පත්‍ර වර්ගයේ නටු දිගයි. ඉහළින් තිබෙන පත්‍ර වර්ගයේ නටු ඉතා කෙටිය. මේ පත්‍ර ඛණ්ඩ යුගල දෙකකට හෝ තුනකට බෙදී ඇත. පත්‍ර ඛණ්ඩවල හැඩය අණ්ඩාකාරය. ඒවායේ දාරය දන්තූරය. පුෂ්ප මංජරිය සංයුක්ත පත්‍රයකි. එය සාමාන්‍යයෙන් කුඩා පත්‍ර පහකින් සමන්විතය. ඇතැම්විට කුඩා නිපත්‍ර ඇත. පුෂ්ප සුදු පාට හෝ දම් පාටය. ඒවා ද්විලිංගික හෝ ඒකලිංගික විය හැකිය. ඒකලිංගික පුෂ්ප වැඩි වශයෙන් පූමංගී පුෂ්ප වේ. පුෂ්පයේ මනිපත්‍ර කුඩාය. වටකුරුය. දාර සහිතය. එය මිරිකූ විට කැඩී අර්ධ ගෝලාකාර කෝෂ්ඨ දෙකකට වෙන් වේ. එක් එක් කෝෂ්ඨයේ පිට පැත්ත උත්තලය. ඇතුළු පැත්ත අවතලය. කෝෂ්ඨයක එක් බීජයක් ඇත. ඵලවල වාෂ්ප වන සුලු තෙලක් තිබේ. කොත්තමල්ලි ශාකයෙන් සහ ඇටවලින් තද සුවඳක් නිකුත් වේ.

කඳෙහි සහ පුෂ්පවල වර්ණය අනුව කොත්තමල්ලි ප්‍රභේද දෙකක් සේ හඳුනාගෙන තිබේ. එක ප්‍රභේදයක කඳ ළා කොළ පාටය. පුෂ්ප සුදු පාටය. අනෙක් ප්‍රභේදයේ කඳ දම් පාටය. පුෂ්ප ද  තරමක් දම් පාටය.

මෙය ලෙබනන්, සිරියාව, ඉරාකය සහ ඉරානය යන රටවල වල් පැළෑටියක් ලෙස වැවේ. පාකිස්ථානයේ සහ ඉන්දියාවේ එය වාණිජ බෝගයක් සේ වගා කෙරෙයි. එංගලන්තය ඇතුළු බටහිර යුරෝපීය රටවලත්, නැගෙනහිර යුරෝපීය රටවලත් ලංකාව ඇතුලු ආසියාතික රටවල් රාශියකත් කොත්තමල්ලි කුළු බඩුවක් සහ ඖෂධයක් ලෙස භාවිතා කෙරේ. මෙහි ඇටවලින් සිඳින තෙල් ඉතා සුවඳවත් ය.

ලංකාවේ කොත්තමල්ලි වගා කෙරෙනුයේ සුළු වශයෙනි. එය නුවරඑළිය ප්‍රදේශයේ රහංගල හා ඌව ප්‍රදේශයේ වියළි පතන්වල වගා කෙරේ. මෙරට වගා කිරීමට යෝග්‍ය ලෙබනනයේ සිට ගෙනෙන කොත්තමල්ලි බීජයි. ඉන්දියාවේ මයිසූර් හා මදුරාසිය යන ප්‍රදේශවලත් දකුණු ඉන්දියාවේ බොහෝ පළාත්වලත් කොත්තමල්ලි බහුලව වගා කෙරේ. මෙරටට කොත්තමල්ලි වැඩිපුර ගෙනෙන්නේ ඉන්දියාවෙනි.

ඖෂධීය වටිනාකම

කොත්තමල්ලි යනු දෙමළ නමකි. සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල මෙය හැඳින්වෙන්නේ “කුස්තැන්බරු“ යනුවෙනි. ඉන් බිඳී ආ සිංහල නාමය කොතඹුරුය.

අමු කොත්තමල්ලි පිත නසයි. මිහිරිය. සුවඳවත්ය. ආහාර ප්‍රිය කරයි. වියළුෑ කොත්තමල්ලි සෙම් හා වාත නසයි. දැවිල්ල, වමනය, පිපාසය හා උණ පහ කරයි. කුසගිනි වැඩි කරයි. හෘදයට හා ඇස්වලට හිතකරයි. මුත්‍රා වැඩි කරයි. මුඛයෙන් දුගඳ හැමීම වළක්වයි. කිපුණ වා, පිත්, සෙම් ආදී තුදොස් පහ කරයි. සෙම් දෝෂ, ප්‍රතිශ්‍යා දෝෂ හා පීනස් දෝෂ ආදියට පිළියම් කරනු පිණිස තනනු ලබන ඖෂධ බොහෝවකට කොත්තමල්ලි එකතු කෙරෙයි. ප්‍රතිශ්‍යාවකදී ඉඟුරු හා කොත්තමල්ලි දෙවර්ගය තම්බා බීම අදත් මෙරට ජනතාව අතර පවත්නා පුරුද්දකි. මෙරට ගෘහණියන් ව්‍යාංජන රසවත් කිරීම සදහා භාවිතා කරන සරක්කු තුන-පහ ආදිය සෑදීමේදී එයට  අනිවාර්යෙන්ම වියළි කොත්තමල්ලි එක් කෙරේ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර

    
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support