දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, October 26, 2015

එළ ගොරකා [Ela Goraka] (Garcinia zeylanica)

මෙය කළු දුඹුරු පැහැති පොත්තක් සහිත මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන මෙරටට ආවේනික ශාක විශේෂයකි. රතු ගොරකා ශාකයට බොහෝ සෙයින් සමාන වන අතර තරමක් දුර්ලභ ය. සරල පත්‍ර තද කොළ පැහැතිය. පුෂ්ප ඒක ලිංගිකය. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ඇතැම් කාලවලදී කඳ පැලී කහ පැහැති ලාටු වර්ගයක් නිකුත් වේ. මාංසල ඵලය කොළ පැහැති වන අතර ඉඳුණු පසු කහ පැහැයක් ගනී. සාපේක්ෂව රතු ගොරකා ගෙඩියට වඩා තරමක් විශාලය. ගෙඩියක් තුල සරු බීජ 1 - 2 පිහිටා තිබේ. මඳය සුදු පැහැතිය. එය පැණි රසින් යුක්ත වන අතර පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. එළ ගොරකා Clusiaceae කුලයට අයත් ශාකයකි.

ගුණාත්මක වශයෙන්ද රතු ගොරකාවලට බොහෝ සෙයින් සමානය. එමෙන්ම රක්තවාතය, වණ, බඩවැල්වල රෝග, ආහාර අරුචිය, කලක් පවතින කුසගිනි මදිකම, සත්ව රෝග, කැඩුම් බිඳුම් වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට එළ ගොරකා ශාකයේ කොළ, පොතු, මල්, ගෙඩි, ආදිය යොදා ගන්නා බව සඳහන් වේ. විෂබීජ නාශක සහ විරේචක ගුණ සහිතයි.

Share:

Friday, October 23, 2015

කබරස / කබරොස්ස [Kabarasa / Kabarossa] (Smilax zeylanica)


Smilax උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 3 ක් ලංකාවෙන් හමුවන අතර එයින් Smilax perfoliata මහ කබරොස්ස ලෙසත් Smilax zeylanica හීන් කබරොස්ස ලෙසත් හඳුන්වා ඇත. කබරොස්ස ආධාරක ශාකයක් මත නැගී වර්ධනය වන වැලකි. කොළ පැහැති කඳහෙි තියුණු කටු පිහිටා තිබේ. සරල ඒකාන්තර පත්‍රවල පත්‍ර තලය දිළිසෙන සුලුය. ඇතැම් විට පත්‍රමත සුදු පැහැති පුල්ලි දැක ගත හැකිය. පත්‍ර නටුව සමීපයෙන් හට ගන්නා පහුරු ආධාරක ශාක මත පැතිරී වර්ධය වීමට උපකාරී වේ.  කොළ පැහැති මල් පුෂ්ප මංජරියක හට ගනී. ඵලය මදක් ගෝලාකාර බදරියකි. පොකුරු වශයෙන් දක්නට ලැබෙන කොළ පැහැති ගෙඩි ඉදෙන විට ක්‍රමයෙන් රතු පැහැයට සහ කළු පැහැයට හැරෙයි. ගෙඩියක් තුල බීජ දෙකක් පමණ පිහිටයි. කබරොස්ස Smilacaceae කුලයට අයත් ශාකයකි.

වාතරක්ත, සන්ධිගත වාත රෝග, ගෙඩි, වණ, පිළිකා, චර්ම රෝග, අක්ෂි රෝග සන්ධි ඉදිමුම්, ඔඩු සහිත තුවාල, බල්ලන් සපා කෑම වැනි රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමේදී කබරොස්ස ශාක කොටස් භාවිතා කරයි. මෙහි මුල්, දඬු, ගැට, කොළ, දළු, අල සහ සම්පූර්ණ ශාකයමත් ඔසු පිණිස ගනී. කබරොස්ස යොදා නිපදවන අරිෂ්ට, චූර්ණ, රසායන වර්ග රැසකි. චීන අල නම් ඖෂධය නොමැති විට ඒ වෙනුවට කබරොස්ස භාවිතා කළ හැකි බව සඳහන් වේ. කබරොස්ස දේශීය කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන කෙම් ක්‍රම සඳහා මෙන්ම භූත විද්‍යා කටයුතු සඳහා ද උපයෝගී කර ගන්නා ශාකයකි. මුත්‍රකාරක, ස්වේදජනක, අග්නිකාරක, ඉදිමුම් නසන, රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි.

දේශීය ජලභීතිකා වෙදකමේ රෝග විනිශ්චය සඳහා කබරොස්ස මුල් උපයෝගී කර ගනී. සපන ලද බල්ලාගේ විෂ ඇති නැති බව දැන ගැනීම පිණිස කබරොස්ස මුල් ඇල් දියෙන් ගලගා දෂ්ඨ ස්ථානයේ මතුපිට ආලේප කරයි. මෙම පරීක්ෂණයට අනුව විනාඩි 30 ක් පමණ කාලයකදී දෂ්ඨ ස්ථානයේ අමුතු වේදනාවක් හට ගනී නම් සපාකෑවේ පිස්සු බල්ලෙකු බව නිගමනය කරයි.  

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ ඖෂධීය ශාක සංග්‍රහය කෘති සහ අන්තර්ජාලයෙන්  

Share:

Monday, October 19, 2015

උගුරැස්ස [Uguressa] (Flacourtia indica)


උගුරැස්ස මීටර් 10 දක්වා උසට වර්ධනය වන ශක්තිමත් කඳක් සහිත බහුවාර්ෂික ශාකයකි. මෙහි කඳෙහිත් ළපටි රිකිලිවලත් තියුණු කටු පිහිටා තිබේ. ළා දුඹුරු පැහැති පොත්ත සිනිඳු ය. හරිත පැහැ මදක් දිළිසෙන ස්වභාවයෙන් යුක්ත පත්‍රවල පත්‍ර දාරය දැති සහිතය. ඉතා කුඩා මල් කහ පාටට හුරු සුදු පාටින් යුක්ත වන අතර ඒවා ද්වීලිංගිකය. ගොලාකාර කොළ පැහැති ඵලය ඉඳුණු පසු තද දම් පැහැයක් ගනී. කැලෑබද ප්‍රදේශවල වැවෙන මෙම දේශීය උගුරැස්ස ශාකයේ ගෙඩි කුඩා වන අතර මෙකල නිවෙස්වල සුලභව වගා කර ඇති Flacourtia jangomas නම් විදේශීය උගුරැස්ස විශේෂයෙහි ගෙඩි එමෙන් කිහිප ගුණයක් විශාලය. පැණි රසැති මදක් කහට රසයෙන් යුත් ඉදුණු උගුරැස්ස ගෙඩි රසැති ගුණැති පළතුරකි. උගුරැස්ස යුෂ බුදුන්වහන්සේ භික්ෂූන්වහන්සේලාට නොකල්හි වැළඳීමට සුදුසු යැයි අනුදැන වදාල අෂ්ටපාන වලින් එකකි. උගුරැස්ස Flacourtiaceae කුලයට අයත් ශාක විශේෂයකි. 

සෙංගමාලය, ප්ලීහා රෝග, වාත රෝග, ඇදුම, පීනස, ක්ෂය රෝගය, දියවැඩියාව, මුත්‍ර දෝෂ, සෙම් රෝග, අක්ෂි ආබාධ, පිපාසය, අතීසාරය, හිසරදය, වමනය සහ ඔක්කාරය ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශ්‍යයෙන්උගුරැස්ස ගෙඩි, පොතු සහ කොළ යොදා සෑදූ ඖෂධ භාවිතා කරයි. ඉඳුණු උගුරැස්ස ගෙඩි යොදාගෙන සාදා ගන්නා පරුෂ්‍යාදී පැණිය කුඩා දරුවන්ගේ උගුරේ සෙම ගතිය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ පීනස ආදි රෝගයන්ට ගුණදායක ය. තවද ප්‍රසූතියෙන් පසුව ඇතිවන වාත වේදනා ආදිය සමනය කිරීම සඳහා උගුරැස්ස ඇට යෙදූ ඖෂධ ද, කැඩුම් බිඳුම් වෙදකම සඳහා උගුරැස්ස මුලේ පොතු ද භාවිතා කරන බව සඳහන්.උගුරැස්ස ආහාර රුචිය ඇතිකරවන කුසගිනි වඩවන ගුණ සහිතයි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්


Share:

Saturday, October 10, 2015

වැටකේ [Wetake] (Pandanus kaida)

ස්ත්‍රී ශාකය
මෙය බොහෝ දුරට වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව සහ දියසීරාව සහිත පහත් බිම්වල වැවෙන දිගු පත්‍ර සහිත බහුවාර්ෂික ශාකයකි. මෙහි පිරිමි ශාකය දුනුකෙයියා යනුවෙන්ද ස්ත්‍රී ශාකය වැටකෙයියා යනුවෙන්ද වර්ග දෙකක් ලෙස හඳුන්වා ඇත. වැටකේ ශාකයේ කඳෙන් පහලට ඇදෙන ආධාරක මුල් රැසකින් එය පොළවට සම්බන්ධ වී තිබේ. පත්‍රයක් අඩි 4-5 දක්වා දිගු වන අතර පත්‍ර දාරයෙහි කටු වැනි ව්‍යුහයන් පිහිටා තිබේ. අලංකාරවත් පුෂ්ප මංජරිය ඉතා සුවඳවත් ය. කොළ පැහැති වැටකේ ඵලය ඉදුණු විට තැඹිලි පැහැයක් ගනී. වැට‍කේ Pandanaceae කුලයට අයත් ශාකයකි.

උණ, අපස්මාරය, ශ්‍රවණ ආබාධ, අක්ෂි රෝග, අජීර්ණය, කුසගිනි මදිකම, ඉරුවාරදය, දියවැඩියාව, මානසික රෝග, අර්ශස්, කුෂ්ඨ රෝග, වණ, ආමවාතය, මුත්‍ර අඩස්සිය, කැඩුම් බිඳුම් ආදී රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී වැටකේ ශාකයේ මුල්, අල, මල්, දඬු, ගෙඩි, ඇට ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි. වැටකේ මොලයට හිතකරයි. රුධිරය පිරිසිදු කරයි. වාජීකරණයි. ස්වේද ජනකයි. වේදනා සමනය කරයි.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
පිරිමි ශාකය
Share:

Monday, October 5, 2015

ගංසූරිය [Gansuriya] (Thespesia populnea)


ඇතැම් පළාත්වල සූරිය යනුවෙන්ද හඳුන්වන ගංසූරිය මීටර් 15 පමණ උසට වර්ධනය වන දේශීය ශාකයකි. කඳේ පිට පොත්ත රළු වන අතර වා සිදුරු සහිතයි. තද කොළ පැහැයෙන් යුතු සරල පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍ර හැඩය අණ්ඩාකාර - හෘදයාකාර ය. සෙ.මි 12 පමණ දිගට වැඩෙන පත්‍රවල කෙලවර තියුණ උල් හැඩයක් ගනී. තනි තනිව හට ගන්නා ද්විලිංගික පුෂ්ප කහ පැහැති වන අතර පරවන විට රෝස රතු පැහැයකට හැරේ. වසර පුරා මල් දැගත හැකිය. ඵලය ගෝලාකර නොපැලෙන ස්ඵෝටිකාවකි. අණ්ඩාකාර හැඬයෙන් යුත් බීජ බූව සහිතය. සෙවණ සහ අලංකාරය සඳහා ද සිටුවිය හැකි ගංසූරිය ශාකය Malvaceae උද්භිද කුලයට අයත් ය. 

ගංසූරිය ප්‍රධාන වශයෙන් චර්ම රෝග සහ කැඩුම් බිඳුම් වෙදකමේදී භාවිතා කරයි. දද, කුෂ්ට, හොරි, ගෙඩි, වණ, තුවාල, ඉදිමුම්, අර්ශස්, උදරයෙහි වාතය එකතු වීම සහ කැඩුම් බිඳුම් වෙදකම සඳහා මෙම ශාකයේ කොළ, මුල්, මල්, ගෙඩි සහ පොතු ආදිය යොදා ගනී. ගංසූරිය කොළ සහ පොතු තැම්බූ ජලයෙන් සෙදීමෙන් තුවාල සුව වීම ඉක්මන් කරයි. යෝනි ප්‍රදාහයට පොතු තැම්බූ ජලයෙන් සේදීම ගුණය. සමේ රෝගවලදී ගංසූරිය පොතු කෂාය හෝ පොතු තැම්බූ වතුරෙන් සේදීම ප්‍රශ්ස්ථය. එමෙන්ම ගංසූරිය භාවිතා කර සාදා ගන්නා පැණිය චර්ම රෝග සඳහා යෙදිය හැකි තවත් ඖෂධයකි. කොළ පොතු වියළා කුඩුකරගත් චූර්ණය තේ වෙනුවට භාවිතා කල හැකි ඖෂධීය පානයකි. ගංසූරිය කොළ, පොතු, ගෙඩි තැම්බූ ජලය පානය කිරීමෙන් රුධිරය පිරිසිදු වේ. එය සියළු චර්ම රෝග සඳහා ගුණදායක ය. ගංසූරිය වේදනා නාශක, විෂබීජ නාශක, මුත්‍ර කාරක, විරේචක ආදී ගුණයන් සහිතයි.

තුවක්කුවල ලී මිට සෑදීමට මෙන්ම උදළු, පිහියා වැනි ගැමි කෘෂිකාර්මික උපකරණවල මිටවල් සෑදීමටත් ගංසූරියා ලීය යොදා ගනී. මෙම කොළ පලාවක් ලෙස කෑමට ගත හැකිය. දල්ල මලවා කෑමට ගැනීමෙන් පණු රෝග නැසෙන බව ගැමියන්ගේ අත්දැකීමකි. ගංසූරිය මල් හා ගෙඩි වලින් සිලක්, වූල් හා සේද රෙදි සඳහා යෙදිය හැකි ඩයි වර්ග නිපදවයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 
Share:

Monday, September 28, 2015

කිරි අඟුණ [Kiri Aguna] (Tylophora pauciflora)

කිරි අඟුණ අධාරක ශාකයක් මත හෝ පොළවට සමාන්තරව වර්ධනය වන බහු වාර්ෂික වැල් ශාකයකි. එතරම් ශක්තිමත් නොවූ මෙහි කඳ කොළ පැහැතිය. බිම දිගේ වර්ධනය වන ශාඛාවලින් පොළවට මුල් ඇදේ. හරිත පැහැ සරල සම්මුඛ පත්‍ර දිළිසෙන සුලුය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු මිශ්‍ර කහ හෝ කොළ පැහැයක් ගනී. ඵලය වරාවකි. එය පිපිරී යෑමෙන් කෙඳි සහිත බීජ සුළඟේ පාවී ගොස් ව්‍යාප්ති සිදුවේ. කිරිඅඟුණ කොළ, මැල්ලුමක් ලෙස සහ සලාදයක් ලෙස ආහාරයට ගත හැකිය. කිරි අඟුණ Asclepiadaceae කුලයට අයත් ශාකයකි.

සෙම් රෝග, සුදු කබර, අර්ශස්, ගෙඩි, වණ, ස්වාසනාළිකා ප්‍රදාහය, අජීර්ණ, ඉදිමුම්, අක්ෂි රෝග, සර්ප විෂ, පිස්සු බලු විෂ, පණු රෝග, පක්ෂඝාතය, මානසික ආතතිය ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී කිරිඅඟුණ ශාකයේ කොළ, දළු, මුල්, දඬු සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. කිරිඅඟුණ කොළ කිරි දෙන මව්වරුන්ගේ ක්ෂීරය වර්ධනය කරන පළාවක් ලෙස ඉතා ප්‍රකටය. එමෙන්ම එය ගර්භණී මව්වරුන්ගේ මලබද්ධය නැති කිරීමටද උපකාරී වේ. සතියකට වරක් කිරිඅඟුණ කොළ මැල්ලුම් ලෙස ආහාරයට ගැනීම ඇදුම සහ දියවැඩියා රෝගීන්ට ගුණදායකය. විශේෂයෙන් විෂනාශක ගුණයෙන් යුක්තය.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
Share:

Thursday, September 24, 2015

කෝවක්කා [Kowakka] (Coccinia grandis)


කෝවක්කා ආධාරක ශාකයක් මත නැගී වර්ධනය වන දේශීය බහුවාර්ෂික වැල් ශාකයකි. මේරූ කඳ සුදු පැහැති වන අතර ලපටි ශාඛා කොළ පැහැතිය. පහුරු ආධාරයෙන් ඉහලට වර්ධනය වේ. සරල පත්‍රවල දාර සියුම් කටු වැනි කඩතොළු සහිත බවකින් යුක්ත ය. මල් සුදු පැහැතිය. අණ්ඩාකාර හැඬයෙන් යුක්ත කොළ පැහැති ඵලය සෙ.මි. 8 පමණ දිගට වැඩෙන අතර මෝරන විට දීප්තිමත් රතු පැහැයකට හැරේ. කෙන් ගෙඩි යනුවෙන්ද හඳුන්වන කෝවක්කා පැසුණු ගෙඩි ව්‍යංජනයක් ලෙසත්, කොළ මැල්ලුමක් හෝ සලාදයක් ලෙසත් සකසා ආහාරයට ගත හැකිය. එමෙන්ම කෝවක්කා ගෙඩි පෙති ගසා ගැඹුරු තෙලේ බැද ආහාරයට ගැනීමටත්, ළපටි ගෙඩි සලාදයක් ලෙස සාදා ගන්නටත් හැකි ය. ආහාරමය සහ ඖෂධීය වටිනාකම් රැසක් සහිත කෝවක්කා Cucurbitaceae කුලයට අයත් ශාකයකි. 

වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල ග්‍රාම්‍ය හෙවත් ගම්වල වැවෙන සහ වන්‍ය හෙවත් කැලැබදව වැවෙන වශයෙන් කෝවක්කා ප්‍රභේදය දෙකක් ගැන සඳහන් වේ. ග්‍රාම්‍ය වර්ගය අහාර සඳහා භාවිතා කරන බවත්, ඖෂධ සඳහා සුදුසු වනයේ වැවෙන වර්ගය බවත්, එහි පංචාගයම තිත්ත රසින් යුක්ත බවත් දක්වා ඇත.

කෝවක්කා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සමත් බව නිසා මෑත කාලයේදී බෙහෙවින් ප්‍රචලිත වූ ශාකයකි. එමෙන්ම වණ, තුවාල, ඉදිමුම්, උණ, සෙංගමාලය, අක්මාවේ ආබාධ, කැස්ස, ඇදුම, ලය පීනස, මුඛ රෝග, රක්තහීනතාවය, පෝෂණ ඌණතා, ලාඳුරු ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, ගෙඩි ඇතුළු සම්පූර්ණ ශාකයමත් යොදා ගනී. කෝවක්කා වේදනා නාශක, කුසගිනි වඩවන ආදී ගුණ සහිතයි. 

දියවැඩියා රෝගීන්ට කෝවක්කා කොළ යුෂ දිනපතා පානය කිරීමෙන් ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගැනිමේ හැකියාව පවතී. වර්තමානයේ විවිධ පරීක්ෂණ මගින්ද කෝවක්කා දියවැඩියාවට ඉතා සුදුසු ඖෂධයක් ලෙස සනාථ කර ඇත් දියවැඩියා රෝගීන් තම රෝග තත්වය සදහා ඖෂධයක් ලෙස හෝ ආහාරයක් ලෙස වෛද්‍ය උපදෙස් වලින් තොරව කෝවක්කා භාවිතා නොකල යුතුය. කෝවක්කා ගෙඩි ව්‍යංජනය සහ කොළ මැල්ලුම මලබද්ධයට සහ අර්ශස් රෝගයට බෙහෙවින් ගුණදායක ය. මෙම ශාකයේ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා කෝවක්කා ආහාරයට ගැනීමෙන් වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගැනීමටත්, පැහැපත් සමක් සහ දිගු කෙස් කලඹක් ලබා ගැනීමටත් හැකියි. කෝවක්කා සමෙහි ඇති වන රෝගවලටද ගුණදායක ය. කැසීම්වලට, හොරි, දද, කුෂ්ඨ, පලු වැනි අවස්ථාවලදී කෝවක්කා ගෙඩි යුෂ හෝ පත්‍ර යුෂ දිනකට දෙවතාවක් බැගින් සතියක් පමණ එම ස්ථානයේ ආලේප කිරීමෙන් සුවය ලැබේ. කෝවක්කා කොළ යුෂ ආලේපනය සමෙහි හටගන්නා පොතු කබර රෝගයට ද සහනය ගෙනෙයි. කෝවක්කා මුල් සහ වැලේ දඬුව තුළ පවතින ඔෟෂධීය රසායනික සංඝටක ශරීරයේ හට ගන්නා වේදනා නාශනය කිරීමට සමත්. හන්දිපත් වේදනාවලදී අමු කෝවක්කා මුල් සහ දඬුව තළා ගත් යුෂ වේදනාව ඇති තැන්වල ආලේප කළ යුතුය. තුනටිය වේදනාවෙන් පෙළෙන රෝගීන්ටත් මෙය අගනා ඔෟෂධයක්. අක්මාව ආශ්‍රිතව හටගන්නා රෝග තත්ත්වයන් නිසා ශරීරය කහ පැහැ ගැන්වී ඇති රෝගීන්ට කෝවක්කා වෑංජන සහ මැල්ලුම් ආහාරයට ගැනීමෙන් එයින් මිදිය හැකි ය.

කෝවක්කා කොළ යුෂ ආලේප කිරීමත් කොළ හා ගෙඩි ආහාරයට ගැනීමත් පරණ හෝ අළුත් තුවාල ඉක්මනින් සුව වීමට හේතු වෙයි. මුඛයේ තුවාල, සෙම් ගෙඩි ආදිය නිසා ඇති වන මුඛ දුර්ගන්ධය ඇති විට කෝවක්කා කොළ යුෂවලින් කට සේදීමෙන් තුවාල සුව වී දුර්ගන්ධය පහව යයි. අමු ගෙඩි සැපීමෙන්ද මුඛ රෝග සුවකර ගත හැකිය. මුත්‍රගල් නිසා උදර වේදනා ඇති වන විට කෝවක්කා කොළ අඹරා එයට වෙඩිලුණු ස්වල්පයක් මිශ්‍ර කර අදාල ස්තානයේ පැලැස්තරයක් දැමීමෙන් ගල් දියවී මුත්‍රමාර්ගය දිගේ ශරීරයෙන් බැහැරව යයි. ශරීරයේ හටගන්නා දදවලට කෝවක්කා කොළ මිටක් ගෙන අඹරා පසුව තල තෙල් හා ළිපේ රත් කර දදයේ ආලේප කිරීමෙන් එය නිට්ටාවට සුව වෙයි. කල්ගතවූ කැස්සට කෝවක්කා කොළ බඳුනකට වතුර පත 8ක් මිශ්‍ර කර එය පත එකක් වන තුරු සිඳ උදේට පත භාගයයි, සවසට පත භාගයයි බැගින් දිනපතා මී පැණි සමඟ එම කෂාය දින කීපයක් පානය කිරීමෙන් කැස්ස සුව වේ. ගොනෝරියා වැනි සමාජ රෝග සදහා වෛද්‍ය උපදෙස් අනුව කෝවක්කා භාවිතා කල හැකිය. එසේම කාන්තාවන්ගේ ආර්තවයේදී අදික ලෙස රුධිරය පිටවීම වැලැක්විමට ද, නොයෙකුත් වර්ගයේ බෝ නොවන තුවාල සදහා ද, කාන්තාවන්ගේ සුදයාමේ රෝගයට ද, අක්මාව ඉදිමිම සදහා ද, කැස්ස, වැඩිපුර මූත්‍රා පිටවීම, ඇදුම රෝගය, උණ, සම ආශ්‍රිත විවිද කුෂ්ඨ වර්ග, ලේ හිග වීම නිසා ඇති වන රක්ත හීනතාවයට ද කෝවක්කා ඉතා සුදුසු ඖෂධයක් බව සඳහන්. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු , ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ.හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්


Share:

Monday, September 21, 2015

තෙබු [Tebu] (Cheilocostus speciosus)

මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. තෙබු ශාකයේ හරිත පැහැයෙන් යුතු පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. තෙබු ශාකයට සමාන Costus afer නම් කඳ සුදු පැහැති විදේශීය වර්ගයක්ද ඇති අතර එහි කොළ තද ඇඹුල් රසකින් යුක්තය. එමෙන්ම Costus dubious නම් තවත් මෙවැනිම විදේශීය ශාකයක් ලංකාවෙන් හමුවන අතර එහි මල් (පුෂ්ප මංජරිය) ශාකයේ මුල හට ගනී. ආහාර සහ ඖෂධ සඳහා සුලභව භාවිතා කරන්නේ කඳ රතු පැහැති වර්ගයයි. පුෂ්ප මංජරියක හට ගන්නා මෙහි සුදු පැහැති මල අලංකාරවත්ය. ලපටි තෙබු කොළ මැල්ලුම් සහ සලාද ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. තෙබු ශාකයේ නවීකරණය කරන ලද ප්‍රභේද විසිතුරු ශාක ලෙස ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරනු දැක ගත හැකිය. තෙබු Zingiberaceae කුලයට අයත් ශාකයකි.

තෙබු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සමත් බව නිසා මෑත කාලයෙදී වඩාත් කතාබහට ලක්වූ ශාකයකි. එමෙන්ම පණු රෝග, ඇස් රෝග, දැවිල්ල, අර්ශස්, අම්ලපිත්තය, මලබද්ධය, සෙංගමාලය, අධි රුධිර පීඩනය, සුදු කබර ආදී රෝගයන්ට ගුණදායකය. තෙබු අක්මාවේ දෝෂ නැසීමට ද උපකාරී වෙයි. මුත්‍රා අඩස්සිය සෑදුණු විට තෙබු කොළ කොටා රෙදි කඩක අතුරා පෙකණිය මත පැලැස්තර දැමු විට මුත්‍රා පිටවන බව සඳහන්. ඉඟුරු නොමැති අවස්ථාවලදී ඒ වෙනුවට මෙම ශාකයේ අල ඖෂධ සඳහා භාවිතා කළ හැකි බව ඖෂධීය ශාක සංග්‍රහයෙහි දක්වා තිබේ.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්


Share:

Friday, September 18, 2015

කෝන් [Koon] (Schleichera oleosa)

කෝන් මීටර් 25 දක්වා ඉහලට වර්ධය වන හොඳින් අතු පැතීරී වැඩෙන විශාල ගසකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල වියළි කළාපීය වනාන්තර ආශ්‍රිතව සුලභව හමුවේ. වැඩුණු ගසක අළු දුඹුරු පැහැති ඝණකම් පොත්ත ඉරිතැළුණු ස්වභාවයකින් යුක්තය. සංයුක්ත පත්‍රවල පත්‍රිකා දිළිසෙන සුලු ස්වභාවයකින් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා කුඩා මල් කොළ පැහැතිය. වෙරළු ගෙඩියකින් අඩක් තරම් වන ගෝලාකාර ඵලය ඉදුණු පසු පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය. එක් ඵලයක් තුල බීජ එකක් හෝ දෙකක් පිහිටා තිබේ. කෝන් Sapindaceae කුලයට අයත් ශාකයකි.

අතීසාරය, කොළරාව, කුෂ්ඨ රෝග, වාත වේදනා, හිසරදය, ආමවාතය, උණ, සෙංගමාලය ආදී රෝග සඳහා කෝන් ශාකයේ කොළ, පොතු, මල්. ඇට, මුල් ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරන බව සඳහන් වේ. කෝන් ඇටවලින් සිඳ ගන්නා තෙල් කේෂවර්ධන ආලේපයක් ලෙස යොදා ගන්නා අතර ම මෙම තෙල් සමග කෝන් ශාකයේ පොත්ත මිශ්‍ර කොට කුෂ්ඨ රෝග සදහා ආලේපයක් ලෙස භාවිතා කරයි. කෝන් කොළ කැඳ සෙංගමාල රෝගය සඳහා ගුණදායකය. කෝන් කාමෝද්දීපක ගුණ සහිතයි.


මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Monday, September 14, 2015

කදුරු / දිවිකදුරු [Kaduru / Divikaduru] (Pagiantha dichotoma)


දේශීය කදුරු විශේෂ කීපයෙන් එකක් වන මෙය මීටර් 6 පමණ උසට වැඩෙන බහුවාර්ෂික ශාකයකි. සම්මුඛව පිහිටා ඇති පත්‍ර සෙ.මි. 8-21 දක්වා දිගය. දිගු නටුවක් සහිත වතුසුදු මලට සමාන සුදු පැහැති මල් සුවඳවත් ය . පොකුරක මල් 5-6 පමණ පිහිටයි. දිග නටුවකින් එල්ලෙමින් පවතින කොළ පැහැති ඵලය ඉදුණු පසු තැඹිලි පාටට හුරු කහ පැහැයක් ගනී. එය තිරස් අතට පෘෂ්ඨය හා උදරීය දාර දිගට ද දෙකට ද බෙදී ඇත. රතු පැහැති පල්පයක් තුල බීජ පිහිටා තිබේ. මෙම බීජ මගින් ව්‍යප්ති සිදුවේ. දිවිකදුරු Apocynaceae කුලයට අයත් ශාකයකි.

දිවිකදුරු ශාක කොටස් විෂ සහිත හෙයින් ඖෂධ සඳහා අභ්‍යන්තරව භාවිතා නොකරයි. තුවාල, සර්ප දශ්ඨන, දිවිමකුළු විෂ, පත්තෑ විෂ, බල්ලන් සපා කෑ තුවාල, ඔඩු සහිත වණ, දත් කැක්කුම, ඇස් රෝග, සන්ධිගත රෝග, ඇතැම් ස්නායු රෝග ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ, පොතු , මුල් ආදිය බාහිරව භාවිතා කරන බව සඳහන් වේ. මෙම කොළ පොල්තෙල් පහනකින් රත්කර තැවීමෙන් සන්ධිගත රෝගවලට සහනය ලැබේ. කකුලෙහි කටුවක් ඇණුන පසු දිවිකදුරු කොළයක් කඩා එයින් වෑස්සෙන කිරි දැමූවිට කටුව පිටතට ඇදී එයි. මෙහි බීජ මිනිසාට විෂ සහිතය වන අතර ඒවා මත්වන ස්වභාවයෙන් සහ විරේචක ගුණයෙන් යුක්තයි. 

තවද ශාන්කි කර්ම, විෂ කැපිලි ආදියට දිවිකදුරු අතු භාවිතා කරයි. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් ආදී ගුරුකම් කටයුතු හඳහා ද මෙම ශාකයේ කොටස් යොදා ගනී. දිවිකදුරු ගස් යටින් යකුන්, සර්පයින් ගමන් නොකරන බව ගැමියන් විශ්වාස කරයි. දිවිකදුරු ලීය උඩරට නැටුම් ශීල්පීන්ගේ වෙස් පළඳනා සෑදීමේදී යොදා ගනී. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 



Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support