ශ්‍රි ලංකාවේ වියළි කලාපයේ සුලබව දක්නට ලැබෙන මයිල මීටර් 7 ක් පමණ උසට වැවෙන කුඩා දේශීය ශාකයකි. නොමේරූ කඳ මඳ බූවක් සහිත වේ. පත්‍රය කෙළවරින් ඛන්ඩිකා දෙකකට බෙදී පවතින අතර ඛන්ඩිකා අග්‍රස්ථයෙන් වටකුරු ය. පත්‍ර පාදය තරමක් හෘදයාකාර වේ. ශඛාවන්ගේ අග්‍රස්ථයෙන් ඒකාක්ෂ පුෂ්ප මංජරියක් හට ගනී. කහ පැහැයට හුරු සුදු පැහැති මල් දිගින් සෙ.මි 1.5-2 පමණ වේ. මල් රාශියක් එකවර හට ගන්නා නිසා මල් පිපෙන කාලයේදී ගස් ඉතා අලංකාරවත්ව දිස්වේ. ඵලය සෙ.මි. 12-25 අතර දිගින් යුත් නොපැලෙන කරලකි. ආයත හැඩයක් ගන්නා කළු පැහැති බීජ මි.මි 7-8 පමණ දිගය. කිරි රසින් යුත්ත ළපටි මයිල ඇට ළමුන් කෑමට ප්‍රිය කරයි. මයිල කොළ අලින්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස සැලකේ. උද්‍යාන අලංකරණයට සහ ගෘහ අලංකරණයට යොදා ගත හැකි සෙවණ සහිත ශාකයක් වන මයිල Fabaceae කුලයට අයත් ය.
මයිල හැරුණුවිට මෙම Bauhinia උද්භිද ගණයට අයත් කහ පැහැති මල් හට ගන්නා තවත් එක් දේශීයක් ශාකයක් හමුවන අතර එය කහ පෙතන් නම් වේ. එමෙන්ම මෙම ගණයට අයත් වර්ණ කීපයකින් මල් හට ගන්නා කොබෝලීල නම් ශාක කීපයක්ද මෙරට දක්නට ලැබෙන අතර ඖෂධ පිණිස ද භාවිතා කරන එම ශාක මෙරටට හඳුන්වා දෙන ලද විශේෂ වේ. කොබෝලීල ශාකවල ඖෂධීය භාවිතාවන් ගැන ලිපියක් මෙහි පලකර ඇත.
රත්පිත්, සිහි මුර්ජා වීම, මැලේරියාව නිසා ඇතිවන හිසෙහි වේදනා, අතීසාරය, පාචනය, අභ්‍යන්තර ලේ ගැලීම්, ගබ්සාවීම්, ගර්භස්‍රාව, ලේ පිටවන අර්ශස්, උගුරේ ආබාධ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මයිල ශාකයේ මල්, කොළ, පොතු, මැලියම් ආදිය භාවිතා කරයි. අරිෂ්ට ආසව ආදී ඖෂධ නිශ්පාදනයේදී පැසවීමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා මලිත මල් භාවිතා කරන ආකාරයෙන් මයිල මල්ද භාවිතා කල හැකි වුවත් ඒ සඳහා මලිත මල් වඩත් සුදුසු බව දක්වා ඇත. එහෙත් මයිල මල් ද අරිෂ්ට ආසව නරක් නොවී කල් තබා ගැනීමට අවශ්‍ය මද්‍යසාර නිපදවන බව සඳහන්.
මැලේරියා උණ වැලඳීම නිසා හට ගත් හිසෙහි වේදනාවට මයිල කොළ තැම්බූ කෂාය බොන්නට දෙයි. අතීසාරය, පාචනය, අභ්‍යන්තර ලේ ගැලීම්, ගබ්සාවීම්, රක්ත අර්ශස් ආදියට වියළි මල් සහ කඳෙහි පොතු කෂාය ගුණය. මයිල කොළ සහ කාමරංගා පොතු පොට්ටනි බැඳ තැවීමෙන් උගුරේ ආබාධ සුව වෙයි. ප්‍රමේහයේදී මයිල මල් සහ පොතු තම්බා බොන්නට දෙයි. රත්පිතට මයිල මල් තැම්බූ වතුර පානය ගුණදායකය. මයිල මල් කෂාය කරාබු නැටි චූර්ණය සමඟ දීමෙන් අතීසාරයේදී ඇති වන වේදනාවන් පහව යයි.
මූලාශ්‍ර _ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත්