දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, August 17, 2015

වඳුරු මෑ [Wanduru Mea] (Mucuna pruriens)

වඳුරු මෑ ආධාරක ශාකයක් මත පැතිරී වැඩෙන දේශීය වාර්ෂික වැල් ශාකයකි. වැලෙහි සියලූ කොටස් බූවකින් යුක්තය. මලේ සහ බීජවල පැහැය අනුව වර්ග කිහිපයක් හමුවෙයි. ත්‍රිපත්‍රි සංයුක්ත පත්‍ර පිහිටා ඇති අතර ඒවා සුදු පැහැති රෝම වලින් යුක්ත ය. සෙ.මි. 30 දක්වා දිගට වර්ධනය වන පුෂ්පමංජරියක හට ගන්නා මල් දම් හෝ සුදු පැහැති ය. පොකුරු වශයෙන් හට ගන්නා කරල් බොහෝ සේ බූව සහිතය. කරලක බීජ 2-8 සංඛාවක් පිහිටයි. කරල්වල ඵලාවරණය වඳුරකගේ සමෙහි රෝම පවතින්නාක් මෙන් කළු / දුඹුරු පැහැති බූවක් පිහිටා ඇති නිසා වඳුරු මෑ ලෙස හඳුන්වයි. වඳුරු මෑ Fabaceae කුලයට අයත් ශාක විශේෂයකි.

වඳුරු මෑ ප්‍රබල වාජීකරණ ගුණ සහිත ඖෂධයක් ලෙස සැලකේ. ලිංගික දුබලතා, වේදනාකාරී ආර්ථවය, වාත රෝග, පණු රෝග, වකුගඩු රෝග, උදරාබාධ, ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ ඇට, මුල්, මල්, බූව ආදිය භාවිතා කරයි. වඳුරු මෑ සිරුර පෘෂ්ඨිමත් කර ශරීර ශක්තිය වර්ධනය කරයි. වාජිකරණ, මුත්‍රකාරක, ආර්ථවය ජනනය කරන, පණුවන් නසන ආදී ගුණයන් සහිතයි. වානරී ගුටිකා, මාෂබලාදී ක්වාතය, මහා මාෂ තෛලය, වානරී සෘතය, අගස්ති අවලේහය ආදී ඖෂධවල වඳුරු මෑ අඩංගුය. 

වාජීකරණය සඳහා වඳුරු මෑ ඇට චූර්ණය, උඳු, සුදුලූණු සමව ගෙන ගිතෙල් මිශ්‍රකර කෑමට ගත යුතුය. ශරීර ශක්තිය වර්ධනය කිරීමට එළ කිරිනේ තම්බා ශුද්ධකරගත් ඇට දූන්තෙලින් බැද මී පැණි සමඟ කෑමට ගනී. වටපණු සහ කිරිපණු රෝග වලදී වඳුරු මෑ බූව මි.ග්‍රෑ. 125 ක් සීනි, මී පැණි හෝ බටර් සමඟ පලමු දින කෑමට ගෙන පසු දින විරේචනයක් කළ යුතුය. එවිට පණුවන් පහව යයි. ලපටි කරල්වල ඇට ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. ප්‍රථමයෙන් මෙම ඇට උණුදියේ දමා (තම්බා) දිය හැර ගත යුතුය. එසේ නොවුන හොත් මත්වන ස්වභාවයක් ඇති වී වමනය යෑමට ඉඩ තිබේ. ගැමියන් ශරීර ශක්තියට සහ ලිංගික හැකියාවන් වර්ධනය කර ගැනීමට වඳුරු මෑ ඇට එළ කිරෙන් තම්බා පොතු හැර වියළා පිටි කර ගිතෙල් මිශ්‍ර කර රොටී  සාදා ගෙන මී පැණි සමඟ කෑමට ගනී. වියළි වඳුරු මෑ ඇට ඖෂධ සඳහාත්, විෂ ඉවත්කළ ඇටවලින් ලබා ගන්නා පිටි ආහාරයක් ලෙසත් භාවිතා කරයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
පුෂ්ප මංජරියෙහි සේයාරුව_ අන්තර්ජාලයෙන් 
Share:

Friday, August 14, 2015

ලුණුවිල [Lunuvila] (Bacopa monnieri)

ලුණුවිල සිංහලෙන් බඹතිරි හෙවත් බැමිතිරිය ලෙස ද හැඳින් වේ. මෙය තෙතමනය සහිත පරිසරයක, පොලොවට සමාන්තරව වැවෙන වාර්ෂික පැළෑටියකි. මෙහි පත්‍ර සහ කඳ බොහෝ සේ මාංසලය. සුලභව හමුවන්නේ වර්ගයෙහි කඳ කොළ පැහැති වුවද කඳ රතු පැහැති වර්ගයක්ද කලාතුරකින් දක්නට ලැබේ. මල සුදු හෝ ලා නිල් පාටය. ලුණුවිල ශාකය Plantaginaceae කුලයට අයත් ය. 

සෙම් රෝග, වාත රෝග, ඉදිමුම්, වේදනා, කුසගිනි අඩු කම, ආම දෝෂ, මළ බද්ධයට, කටහඩේ දුර්වලතා, චර්ම රෝගවන කුෂ්ඨ ,ශරීරයේ කැසීම් යනාදියට, මානසික ආබාධ, අපස්මාරය (මීමැස්මොර) ඇතුළු තවත් රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ලුණුවිල යොදා ගනී.  මොළයේ සහ  හෘදය වස්‌තුවේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරයි. සෙම් රෝගයට ගුණ නිසා පෙනහලුවල සෙම ඉවත් කිරීමටද ඉතා ගුණදායකයි. විශේෂයෙන්ම ස්‌මරණ ශක්‌තිය (මතක ශක්‌තිය) දියුණු කිරීමේ මහා ගුණයක්‌ ලුණුවිලවල අඩංගුවේ. කුඩා කාලයේ සිට ලුණුවිල යුෂ ස්‌වල්පයකට මී පැණි දමා දීමෙන් දරුවන්ගේ මතක ශක්‌තිය වර්ධනය වේ.  කුස ගිනි වඩන, ආහාර හොඳින් පැසවීම සිදුවන අතර මළ පහසුවෙන් පිටවන ගුණය ද මෙහි අඩංගුය. ළදරුවන්ගේ මලබද්ධය සඳහා ලණුවිල තැම්බූ වතුර ස්වල්පයක් ලබාදීම ඉපැරණි ප්‍රතිකාරයකි. ලුණුවිල මෘදු විරේචක, මුත්‍ර කාරක, ලිංගික හැකියාවන් උද්දීපනය කරන ගුණ සහිතයි.


Share:

Monday, August 10, 2015

යකවනස්ස [Yakawanassa] (Anisomeles indica)

එක්තරා ගමකට වින කරන ලද යක්ෂයකුගෙන් එම ගම්වැසියන් බේරා ගැනීම සඳහා මෙම ගස් සහිත කැළෑ ප්‍රදේශයකදී පූජා පැවැත්වූ බවත්, ටික දිනකට පසු යකා මියගොස් සිටි අතර පසු කලෙක එම ප්‍රදේශය යකා නැසූ ගස් සහිත ප්‍රදේශය නමින් හැදින්වූ බවත්, යකාවැනසූ යන අර්ථයෙන් එම ගස් යකවනස්ස නමින් හැඳින්වූ බවත් ජනප්‍රවාදයෙහි සඳහන් වේ. යකුහනස්ස, රුචිරෝම යන නම්වලින්ද හඳුන්වන යකවනස්ස සෘජු කඳක් සහිතව වර්ධනය වන දේශීය වාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම බූවක් දක්නට ලැබේ. ඩෙල්ටාකාර හැඩයෙන් යුක්ත පත්‍රවලින් සැර සුවඳක් වහනය වෙයි. පුෂ්ප මංජරියක හට ගන්නා මල් දම් හෝ සුදු පැහැතිය. යකවනස්ස Lamiaceae උද්භිද කුලයට අයත් ශාකයකි. 

අජීර්ණය, උණ, බඩවැලෙහි ඇති වන රෝග, කුසගිනි මදිකම, සන්ධි වාතය, වකුගඩු ගල් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, ඇට සහ සම්පූර්ණ ශාකයමත් භාවිතා කරයි. බුද්ධරාජ කල්කය සහ සර්වවිෂාදී තෛලය යකවනස්ස යොදා නිපදවන ඖෂධයන් ය. මීට අමතරව යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදී ගුරුකම් වැඩ සඳහා ද, ගවයින්ට වැලඳෙන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා ද යකවනස්ස යොදා ගනී. මෙම පැළෑටිය පිළිස්සීමෙිදී ඇති වන දුම් මඳුරුවන් පලවා හැරීමට උපයෝගී කර ගත හැකිය. 

අජීර්ණ, උණ, බඩවැලේ වේදනාවන් සහ බඩවැලේ වාතය එකතු වීම ආදියට යකවනස්ස පත්‍ර ස්වරසය, ක්වාතය, පත්‍රවලින් සකසාගත් ඵාණ්ඨ කෂාය දීම (මාත්‍රාව ග්‍රෑම් 15-30) ප්‍රතිකාරයකි. එයටම යකවනස්ස බීජ චූර්ණය දිය හැකිය. චීන ජතිකයින් මෙම ශාක කොටස් සෙම්ප්‍රතිශ්‍යාව, උදර වේදනාව, සමේ හට ගන්නා තුවාල, සර්ප දෂ්ට, අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බව සඳහන්. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන් 


Share:

Friday, August 7, 2015

කෙටල [Ketala] (Lagenandra ovata)

Lagenandra ovata සහ Lagenandra praetermissa යන උද්භිද නාමයන්ගෙන් හඳුන්වන Lagenandra ගණයට අයත් දේශීය ශාක විශේෂ දෙකක් කෙටල නමින් හඳුන්වා ඇත. බොහෝ දුරට ඖෂධ සඳහා භාවිතා කරන බව සඳහන් වන්නේ Lagenandra ovata ශාකයයි. කෙටල භූගත කඳක් (රෛයිසෝමයක්) සහිත, ඇල දොළ ගංඟා ඉවුරු ආශ්‍රිතව වැවෙන දේශීය ශාකයකි. මෙහි රේඛීය පත්‍රයක් අඩියක් පමණ දිගකට වර්ධනය වේ. පුෂ්ප මංජරිය ඡද ශුකියකි. සංයුක්ත ඵලය ගෝලාකාරය. කෙටල Araceae කුලයට අයත් ශාකයකි.

ගඬු, සැරව ගෙඩි, වණ, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදිය සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී මෙහි අල භාවිතයට ගනී. බාහිර ප්‍රතිකාර සඳහා පමණක් යොදා ගන්නා බව සඳහන් වේ. ගර්භණී අවස්ථාවේ සර්ප දෂ්ඨනයක් සිදුවූ විට වැනි අභ්‍යන්තර ඖෂධ දිමට නුසුදුසු අවස්ථාවල කෙටල අල, අමුකහ, ලුණු සමඟ කොටා සාදාගත් මැල්ලුම විෂ බැස්සවීම සඳහා කෑ මුඛයට යොදයි.


කෙටල ශාකයේ කොළ, අල ආදියෙහි යුෂ මිනිසාට ආසාත්මිකතාවයන් පෙන්වයි. ඖෂධ සඳහා මෙම ශාකයේ අල භාවිතයට ගැනීමේදී වංගෙඩියේ දමා කෙටීමට සිදුන අතර මෙම අලවල යුෂ නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකි බැවින් පොල් සමග මිශ්‍ර කර කෙටීමෙන් එවැන්නක් වලක්වා ගත හැකි ය. කෙටල ශාක බහුලව ඇති ස්ථාන ආශ්‍රිතව ගැවසෙන "කෙටල මැස්සා" නමින් හඳුන්වන කුඩා මැස්සන් විශේෂය දෂ්ට කිරීමෙන්ද ආසාත්මික ලක්ෂණ ඇති විය හැකිය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති

Share:

Tuesday, August 4, 2015

වල් කොත්තමල්ලි [Wal Kottamalli] (Scoparia dulcis)

වල් කොත්තමල්ලි සෙ.මි. 60 දක්වා ඉහලට වර්ධනය වන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. කඳෙන් ශාඛා අතු රාශියක් හට ගනී. සම්මුඛව පිහිටන කුඩා සරල පත්‍රවල පත්‍ර දාරය කඩතොලු සහිතය. පත්‍රයක් දිගින් සෙ.මි. 3.5 සහ පළලින් 1.5 දක්වා වර්ධනය වේ. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාර-ආයත සිට ප්‍රතිලන්සාර වේ. පත්‍ර නටුවෙහි මූලයෙන් හට ගන්නා සුදු පැහැති මල්වලින් ඕවලාකාර ඵල රාශියක් හටගන්නා අතර එ්වායින් ඇති වන බීජ මඟින් ව්‍යාප්තිය සිදු වේ. වල් කොත්තමල්ලි Scrophulariaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි. 

පැරණි දේශීය බෙහෙත් වට්ටෝරුවල පැණි බැබිල යනුවෙන් හඳුන්වා ඇති වල් කොත්තමල්ලි, වටිනාකම් රාශීයක් සහිත ඖෂධ පැලෑටියකි. ඔසප් චක්‍රයේ දෝෂ, විදුරුමස් ඇතුලු මුඛ රෝග, ශ්‍රවණ ආබාධ, දෘශ්‍ය ආබාධ, වමනය, ආමාශයික රෝග, සමේ රෝග, ලිංගික පද්ධතියේ රෝග, පරපෝෂිත ආසාදන, අක්මා රෝග, මුඛ රෝග, පෙනහැල්ලේ ආබාධ, අධිරුධිර පීඩනය, කැස්ස ආදී රෝග අවස්ථා බොහොමයක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ පත්‍ර, බීජ, මුල් සහ සම්පූර්ණ පැළෑටියමත් භාවිතයට ගනී. වල් කොත්තමල්ලි විෂබීජ නසයි. පිළිකා සහ ලියුකේමියාවට ප්‍රතිරොධීතාවයක් දක්වයි. තුවාල සුව කරයි. උණ සහ වේදනා නසයි. හෘදයට හිතකරයි. 

විශේෂයෙන් මෙම ශාකයේ පස්පංගුව තම්බා බීම දියවැඩියාව සඳහා ගුණදායක බව ප්‍රකටය. වල් කොත්තමල්ලි මුල් මුත්‍ර ගල් දිය කිරීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් කර ඇත. 

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයයෙන්

Share:

Sunday, August 2, 2015

මූණමල් [Munamal] (Mimusops elengi)


මූණමල් මීටර් 20 ක් පමණ උසට වැඩෙන කිරි සහිත දේශීය ශාකයකි. ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි. 15 සහ පළලින් සෙ.මි. 7 දක්වා වැඩේ. ළපටි පත්‍ර විල්ලුද ආකාරයක් ගනී. මෝරන විට සිනිඳු වේ. පුෂ්ප ඉතා සුවඳවත් ය. පොකුරකට 1-3 අතර සංඛාවක් පවතී. ඵලය තැඹිලි රතු පැහැති හෝ දුඹුරු පැහැති ය. ළපටි ඵලයෙහි සියුම් බූවක් පිහිටයි. බීජ දුඹුරු පැහැතිය. මූණමල් Sapotaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

දෙශීය වෙදකමේදී මූණමල් ශාකයේ පොතු, ඇට, ගෙඩි ආදිය දත් සෙලවීම, විදුරුමස් දියවීම, තොල් පැලීම ආදී මුඛ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ ලෙස සැලකේ. එහිදී දන්ත රෝග සඳහා නිපදවන සෑම ඖෂධයකටම පාහේ මූණමල් පොතු එක් කෙරේ. එමෙන්ම හෘද රෝග, මුත්‍ර දැවිල්ල, මුත්‍ර සමග ලේ පිටවීම, කැස්ස, රක්තඅතීසාරය, කාන්තා රෝග, පණු රෝග, මොළයේ ආබාධ, ශරීර දාහය ආදී රෝග රැසක් සඳහා ඖෂධ තැනීමට මූණමල් ශාකයේ පොතු, මුල්, මල්, ගෙඩි සහ ඇට ආදිය භාවිතයට ගනී. මූණමල් ආහාර රුචිය වඩවන, විෂනාශක, දත් ශක්තිමත් කරන, පණුවන් නසන ගුණයන් සහිතයි.

මුත්‍රා සමග ලේ යාමට මූණමල් කෂාය බීමට දෙයි. රක්ත අතීසාරයට සහ සිරුරේ අධික උණුසුමට මූණමල් ගෙඩි කෑම යෝග්‍යය. මුත්‍ර දැවිල්ලට මූණමල් ගෙඩි 10ක් හෝ 12 කෑමට දීම සහ ගෙඩි මිටක් පමණ තැම්බූ වතුර බීමට දීම කළ යුතුය. දත්වල දුබලතා , දත් සෙලවීම අදියට මූණමල් පොතු ක්වාතය ගන්ඩුෂ කිරීම හා පොතු චූර්ණයෙන් දත් මැඳීම ගුණය. ළදරුවන්ගේ වියළි කැස්සට මුණමල් මල් 5 ක් හෝ 6 ක් වතුර මි.ලි. 5 ක බහා රැයක් තබා උදෑසන මිරිකා පෙරා බීමට දිය යුතුය. මූණමල් ඇට චූර්ණය දන්ත අංජනයක් ලෙස භාවිතා කිරීම, මූණමල් පොතු සැපීම, මුලේ පොතු කල්කය එළකිරි සමඟ දින තුනක් අළුයම පානය කිරීම අකලට දත් සෙලවීමට ප්‍රතිකාරයන් ය.

පැණිරස සහ කහට රස මිශ්‍ර රසයකින් යුතු මූණමල් ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ළපටි දඬු දැහැටි දඬු ලෙස භාවිතා කරයි. දැවමය වටිනාකමකින් යුතු මූණමල් ලීය පාලම්, බෝට්ටු, හබල්, කෘෂිකාර්මික උපකරණ, මෝල්ගස්, කැටයම් වැඩ, අමල්මාරි වැනි ගෘහ භාන්ඩ ආදිය නිපදවීමට යොදා ගනී. තායිලන්තවාසීහු මෙම මල්වලින් ලබා ගන්නා සුගන්ධවත් දුව්‍ය නෑමෙන් පසු සිරුරේ ගැල්වීමට භාවිතා කරයි. මෙම මල් පැණි බහුලය. එම නිසා මූණමල් මී මැස්සන් ඇති කරන්නන්ටත්, වීදි අලංකරණය සඳහාත් වැවීමට ඉතා යෝග්‍ය ශාකයකි. 

මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ ඖෂධීය ශාක සංග්‍රහය කෘති
සේයා රූ_ අන්තර්ජාලයෙන්
Share:

Friday, July 31, 2015

එළ පිටවක්කා [Ela Pitawakka] (Phyllanthus debilis)

මෙය සෙ.මි. 60 දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික පැළෑටියකි. පත්‍ර නෙල්ලි කොළවලට යම් තරමකින් සමාන වන හෙයින් බිංනෙල්ලි යනුවෙන්ද හඳුන්වයි. පක්ෂවත් සංයුක්ත පත්‍රවල නාරටිය යටි පැත්තෙහි කුඩා පුෂ්ප හටගනී. එවායින් කුඩා ඵල රාශියක් හට ගන්නා අතර එයින් ඇතිවන බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. එළ පිටවක්කා Euphorbiaceae කුලයට අයත් ශාකයකි.

තුවාල, ක්ෂය රෝගය, පාණ්ඩුව, කැස්ස, ඇදුම, අක්ෂි රෝග, සෙංගමාලය, ඉදිමුම්, විසප්පු, හොරි පණුකැවිලි ආදී සමේ රෝග, නාග විෂ, අක්මා රෝග, මලබද්ධය, උණ, අම්ලපිත්තය (ගැස්ට්‍රයිටීස්), කුසගිනි මදිකම, ආහාර අරුචිය, ආර්තව ගැටළු, ගර්භාෂ රෝග, අස්ථි බිඳුම්, මුත්‍රා රෝග, ගොනෝරියා ආදී රෝග අවස්ථා රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකයේ කොළ, මුල්, ඇට සහ සම්පූර්ණ ශාකය එකවරමත් භාවිතා කරයි. මුත්‍රකාරක සහ රුධිරය පිරිසිදු කරන ගුණ සහිතයි. විසප්පු සඳහා මුලු පැළෑටියම ඇල් දියෙන් අඹරා ගෑම සරල ප්‍රතිකාරයකි.

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ වෙනත්


Share:

Wednesday, July 29, 2015

ගැට තුඹ [Geta Tumba] (Leucas zeylanica)


ගැට තුඹ සෙ.මි 50 ක් දක්වා උසට වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන්ද වර්ධනය වේ. කුඹුරු ආශ්‍රිතව බහුලව දැකගත හැකිය. මෙම ශාකයේ පත්‍ර සහ කඳ සියුම් බූවකින් වැසී ඇත. දිගැති පත්‍රයක් සෙ.මි 9 දක්වා දිගු වේ. ද්වීලිංගික වූ පුෂ්ප සුදු පැහැතිය. මෙය මැල්ලුමක් ලෙස මෙන්ම ව්‍යාංජනයක් ලෙසද ආහාරයට ගත හැකිය. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. ගැටතුඹ Lamiaceae කුලයට අයත් ශාකයකි.

ආහාර අරුචිය, කුසගිනි මදි කම, උදරාබාධ, හිසදරය, චර්ම රෝග, තුවාල, කරකැවිල්ල, උඳුගොව්වා කෑම, සර්ප විෂ, පිස්සු බලු විෂ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ සහ මුල් භාවිතා කරයි. ගැට තුඹ ව්‍යාංජනය පණු රෝගවලට ගුණදායකය. බඩ බුරුලෙන් යන විට ගැට තුඹ ආහාරයට ගැනීමෙන් සුවය ලැබිය හැකිය. තරබාරු බව අඩු කිරීමේ හැකියාවක්ද මෙම ශාකය සතුව පවතී. එළකිරි උණුකරද්දී ගැට තුඹ මුල් දෙක තුනක් එක් කර ගැනීම මගින් කිරි දිරවීමේ පහසුව ඇති කරවයි. ගැට තුඹ වාතය පහ කරන ගුණ සහිතයි.

සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්සට ගැට තුඹ මල් දෙමිටක් පමණ ගෙන වතුර අඬු කෝප දෙකහමාරක් පමණ දමා තම්බා පානය කිරීම, අජීර්ණයට සහ බඩබුරුලෙන් යෑමට ගැට තුඹ ගස් දෙකතුනක් හොදින් සෝදා පිරිසිදු කර වනේ කොටා කෙසෙල් කොළයක දවටා උණුඅළු පල්ලේ දමා තම්බා නිවුණු පසු ඉස්ම මිරිකා මී පැණි දමා බීම සහ ගැට තුඹ කුඩා පැළ ගෙන අඹරා තැම්බුම් හොද්දක් සකසා පානය කිරීම, සමේ රෝගවලට ගැට තුඹ කොළ මිටක් ගෙන අමුකහ කැබැල්ලක් දමා කොටා මිරිකා ගත් යුෂ මදක් රත් කර රෝගය පවතින තැන්වල ආලේප කිරීම, බඩ රිදීමට සහ බඩ පිපීමට ගැට තුඹ මුල් සහ බෙලි මල් මිට බැගින් ගෙන පානය කිරීම, සෙංගමාලයට හීනටි සහල්වලින් කැඳ සාදා එයට ගැට තුඹ ගස් කොටා මිරිකාගත් යුෂ එක්කර මඳ වේලාවක් රත්කර පානය කිරීම, කල්ගිය තුවාලවලට ගැට තුඹ කොළ අමු කහ සමව ගෙන තම්බා ගත් ජලයෙන් තුවාලය සේදීම මෙම ශාකය භාවිතා කර සිදුකළ හැකි සරල ප්‍රතිකාර කිහිපයකි. 
Share:

Monday, July 27, 2015

ඉත්ත / ඉත්තෑ [Itta / Itte] (Schefflera stellata)


දේශීයව ඉත්ත / ඉත්තෑ යනුවෙන් හඳුන්වන එකම ගණයට අයත් ශාක විශේෂ දෙකක් ඇති අතර සුලබව හමුවන්නේ මෙම Schefflera stellata නම් ශාකයයි. Schefflera hererobotrya නම් අනෙක් විශේෂය අප රටට ආවේනික වූවකි. ඉත්තෑ පඳුරක් ලෙස වැවෙන බහුවාර්ෂික ශාකයකි. බොහෝ විට ගල් පර්වත ආශ්‍රිතව දැක ගත හැකිය. පාණිවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකා දිළිසෙන සුලු ය.   පත්‍ර සහ කඳ අඳුරු කොළ පැහැයෙන් යුක්තය. අලංකාර පුෂ්පමංජරියක හට ගන්නා මල් ලා කහ පැහැතිය. කොළ පැහැති ළපටි ගෙඩි මේරිමත් සමග තැඹිලි, රතු වර්ණයන්ට හැරේ. ඉත්තෑ වැල් යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය Araliaceae කුලයට අයත් ය. 

මෙහි කොළ විෂ වෙදකම, කැඩුම් බිඳුම්, චර්ම රෝග, ආතරයිට්ස්, ඇදුම, අධික රුධිර වහනය ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. මවක් දරුවකු ලැබුණු පසු ඖෂධීය ශාක වර්ග කීපයක කොළ තම්බා එම වතුරින් නැහැවීම හෙවත් "කොළ වතුර නැහැවීම" සඳහා ද ඉත්තෑ කොළ යොදා ගනී. මෙම කොළ මස්පිඩු ලිහිල් කිරීමට උපකාරී වේ. වේදනා නාශක ගුණ සහිතයි. 
Share:

Thursday, July 23, 2015

මී [Mee] (Madhuca longifolia)

මී මල් 
දේශීයව මී යනුවෙන් හඳුන්වන Madhuca උද්භිද ගණයට අයත් ශාක විශේෂ 7 පමණ හමුවන අතර එයින් විශේෂ 4 ක් අප රටට ආවේනික වේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ එයින් ප්‍රකටම ශාකය ලෙස සැලකිය හැකි මී / තෙල් මී යනුවෙන් හඳුන්වන Madhuca longifolia ගැනයි. මී සෘජු කඳක් සහිතව මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. මෙහි නොමේරූ කොළවල සහ ලපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝණකම් පොත්ත අළු පැහැතිය. මී මල් කහ සුදු පැහැති වන අතර ජුනි, ජූලි මාසවල හටගනී. කොළ කහ පැහැති ඵලය තුල දූඹුරු පැහැති දිළිසෙනසුලු බීජ ඇත. මී මෙරටදී හමුවන පරිසර හිතකාමී ශාක අතර ද මුල් තැනක් ගනී. මී ගස ගොවිතැනේදී බොහෝසේ ප්‍රයෝජනවත්ය. මෙහි කොළ අගනා පොහොරකි. කුඹුරු අද්දර බහුලව හමුවන මී ගස්වල ගෙඩි කෑමට සහ මල් පැණි ඉරීමට එන වවුලන්ගේ මළපහ ද කුඹුරට පොහොර සපයයි. කෘෂිකාර්මික පරිසර පද්ධතියකට මී සහ කුඹුක් ශාකවල ඇති ප්‍රයෝජන කෙතරම්ද යන්න කොලට් සේනානායක මහතාගේ "ගොවිගම බත්ගම නැකැති යකුන්නේ" කෘතිය කියවීමෙන් දැනගත හැකිය. මී Sapotaceae කුලයට අයත් ශාකයකි.

ගැමියන් පිපෙන අවස්‌ථාවේ දී නෙළා ගන්නා මී මල් භාවිතාකර රසවත් අතුරුපසක් වන මී මල් හැලප සාදාගනී. නැවුම් මී මල් මිරිකා ගැනීමෙන් හෝ මී මල් තම්බා මිරිකා සිඳුවා මී මල් පැණි සාදා ගත හැකිය. මී ඇටවලින් සිඳගන්නා මී තෙල් ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහාද භාවිතා කරයි. පැරැන්නන් නිවෙස්වලට ආලෝකය සපයාගැනීම සඳහා මී තෙල් පහන් භාවිතා කර ඇත. මී තෙල් සිඳගත් පසු ඉතිරි වන පුන්නක්කු මී මුරු ලෙස හඳුන්වන අතර ඒවා ඖෂධ සෑදීම සඳහාත් සත්ව ආහාර ලෙසත් භාවිත කරයි. මී ගෙඩියේ ඇට ඉවත් කර පොත්ත රැස සිහින්ව කපා තම්බා දිය පෙර අගනා ව්‍යංජනයක්‌ ද ගැමියෝ පිසගනී.

රක්තවාතය, චර්ම රෝග, වාත රෝග, අතීසාරය, ග්‍රහණි රෝග, ක්ෂය රෝගය, ඇදුම, මුත්‍ර අඩස්සිය, සර්ප දෂ්ටන, උගුරේ ආබාධ, කැඩම් බිඳුම්, ඉක්කා ආදී රෝග අවස්ථාවන් රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී මී ශාකයේ කොළ, පොතු, මුල්, ඇට, මල් සහ අරටුව යනාදිය භාවිතා කරයි. මී තෙල් චර්ම රෝග, වාත රෝග සහ වේදනා සමනය කරයි. මී මල් මෝදක, මධුකාසවය, මී මල් යොදාගෙන නිපදවන ඖෂධයන් ය.

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන් 
සේයාරු_ අන්තර්ජාලයෙන් 



Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support