දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Saturday, May 31, 2014

එරබදු [Erabadu] (Erythrina variegata)

ගැමි ව්‍යවහාරයේ එරමුදු යනුවෙන්ද හඳුන්වන එරබදු මීටර් 10 පමණ උසට වැඩෙන කටු සහිත මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. සිනිඳු පොත්ත  අළු පැහැති ය. පත්‍රිකා 3 ක් සහිත සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. පත්‍රිකා පුලුල් ලෙස අණ්ඩාකාර සිට ඩෙල්ටාකාර ය. පත්‍රිකාවක් දිගින් සෙ.මි. 12 සහ පළලින් සෙ.මි. 11 පමණ වේ. පුෂ්ප මංජරිය සෙ.මි. 30 ක් පමණ දිග සෘජු ඒකාක්ෂයකි. දීප්තිමත් රතු පැහැයකින් යුත් මල් සෙ.මි. 6 පමණ දිග ය. මල් පිපෙන අවස්ථාවේ ගසේ කොළ තිබීමට හෝ නොතිබීමට හැකි ය. ඵලය නොපැලෙන ස්ඵෝටිකාවකි. එක් ඵලයක් තුල බීජ 3-8 සංඛාවක් පිහිටා තිබේ. බීජයක් මි.මි. 6 පමණ දිග ය. මෙම උද්භිද ගණයටම අයත් Erythrina fusca යන උද්භිද නාමයෙන් හඳුන්වන තවත් එරබදු වර්ගයක් ඇති අතර ඇති අතර එය යක් එරබදු නමින් හඳුන්වා ඇත. එරබදු වර්ග Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය.  

අක්ෂි රෝග, ලිංගික බෙලහීනතාවය, කෂ්ටරජස්, කුෂ්ඨ රෝග, හොරි, පරංගි, දද, පණුකැවිලි, කරප්පන්, පණු රෝග, ආර්තව රෝග, වණ සහිත ඉදිමුම්, සන්ධි ඉදිමීම, උළුක්කු, ඇමැට්ටි, සර්ප විෂ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා එරබදු ශාකයේ කොළ, පොතු, මුල්, ඇට, දළු ආදී පංචාංගයම භාවිතයට ගනී. එරබදු ඉදිමුම් නසන, වණ ශෝධනය කරන, රුධිරය පිරිසිදු කරන, පණුවන් නසන, මුත්‍රකාරක, වාජීකරණ, වේදනා නාශක ආදී ගුණ සහිතයි. 

අභිෂ්‍යන්ද නම් අක්ෂි රෝගයට එරබදු ගසේ සෙවෙල සහිත ඇතුලත පොත්ත රත්කර අඳුන් ලෙස එකතුකර, පිරිසිදු එළඟිතෙලෙන් අනා ගෑ යුතුය. ආර්තව වේදනාවට පොතු කෂාය දෙයි. වටපණු, පටිපණු හා කිරිපණු රෝග සඳහා අලුත් එරබදු කොළ යුෂ අවුස 2 ක් මී පැණියෙන් බීමට දිය යුතුය. එරබදු දළු මැල්ලුම හෝ කොළ ව්‍යංජනය ආහාරයට ගැනීම පණු රෝග සඳහා ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එරබදු ඇට හොඳින් වේළාගෙන කුඩු කර තේ හැඳි 1ක ප්‍රමාණයක් උණු වතුර හා බීමෙන් ද පණු රෝග සුව වෙයි.  සන්ධි ඉදිමීමට එරබදු කොළ කොටා කහ, ලුණු දමා මලවා බඳී. ඉදිමුම් සහිත වණ සඳහා එරබදු කොළ සහ පොතු තම්බා සේදීම, කොළ සහ පොතු අමුකහ යොදා සියුම්ව කොටා මැල්ලුම් බැඳීම සහ පොතු ගලගා ප්‍රලේප එලීම සිදු කරයි. පීනසට ප්‍රතිකාර වශයෙන් හිසේ ගෑම සඳහා සිඳින තෙල්වලට යක් එරබදු කොළ යොදා ගනී. මාන්දමට එරබදු කොළ කැඳ ගුණදායක ඔසුවකි. 

එරබදු දලු මිටක් ගෙන හොඳින් තම්බා ඒ තැම්බුම් දියරින් තුවාල, කුෂ්ඨ, විසර ගෙඩි දිනපතා උදේ සවස දින කිහිපයක් සේදීමෙන් එම ආසාදන සියල්ලකින්ම මිදිය හැකියි. විෂ කටු ඇණුන විට එරබදු කොළ සහ දළු තැම්බූ වතුරින් සේදීමෙන් විෂ ඉවත්ව ගොස් තුවාලය සුව වේ. දියවැඩියාව ආදී රෝග නිසා දීර්ඝකාලීනව පවතින තුවාලවල කබොල්ල ඉවත් කර තුවාලය පිරිසිදු කිරීමට එරබදු දලු මී පැණියෙන් අඹරා තුවාලය මත බැඳිය යුතුය. දිනපතා උදේ සවස එරබදු පොතු කෂායක් ලෙස පත අට එකට සිඳුවා උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් පානය කිරීමෙන් ආහාර අරුචිය, වමනය, කෑම නොදිරවීම, අර්ශස් දක්වා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයක්ම සුවකර ගත හැකියි. එය මානසික රෝග සහ මීමැස්මොර, නින්ද නොයෑම, අමතක වීමේ ස්වභාවය, නිතරම මුත්‍රා පිට කිරීමට සිදුවීම වැනි රෝග සඳහා ද ගුණදායක ඔසුවකි.  ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග සහ කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කර ගැනීමට එරබදු කොළ ස්වල්පයක් මුට්ටියකට දමා එයට වතුර පත අටක් දමා හොඳින් තම්බා පත එක පදමට සිඳුණු පසු උදේ සවස පත භාගය බැගින් දින කිහිපයක් පානය කළ යුතුය. එරබදු පොතු, හික් පොතු, කහ, ලුණු සමව දමා හොඳින් කොටා මලවා අස්ථි බිඳීම්, හන්දි උලුක්කු ඇති වූ ස්ථානයේ බැඳීමෙන් අස්ථි බිඳීම ඉක්මනින් සුව කර ගත හැකි වේ. එරබදු කොළ, රත්මල්, අරලු කළං 4 බැගින් ගෙන වතුර පත 8ක් මිශ්‍ර කර එය පත 1කට සිඳ ගෙන, පසුව පෙරා සීනි ග්‍රෑම් 500ක් එයට මිශ්‍ර කර පැණි පදමට එනතුරු කකාරන්න. හොඳින් කකාරා ගත් මේ ඔෟෂධීය පැණිය සුළං නොවදින බෝතලයකට දමා වරකට තේ හැඳි දෙකක් බැගින් දිනපතා උදේ සවස ආහාරයට දෙන්න. මෙය සති කිහිපයක් කළොත් කුඩා දරුවන්ගේ රතගාය, රත් දද, පලු ඉක්මනින් සුව වේ. මේ ඔෟෂධීය පැණිය සුරක්ෂිතව මාසයක් පමණ කාලයක් තබා ගන්නත් පුළුවන්. සිකනල්, ගෝනුසු වැනි සත්ත්ව විෂක් ශරීරගත වූ අවස්ථාවකදී එරබදු කොළ ඉස්ම දෂ්ඨ ස්ථානයේ වරින්වර ආලේප කිරීමෙන් විස නැසී යයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
යක් එරබදු
Share:

Friday, May 30, 2014

තිප්පිලි [Tippili] (Piper longum)


තිප්පිලි බුලත් අයත් වන Piper නම් උද්භිද ගණයට අයත් බුලත්වලට සමාන කොළ සහිත ශාකයකි. ලංකාවේ ඇතැම් පලාත් වලත්, ඉන්දියාවේ උතුරු - දකුණු ප්‍රදේශ වලත්, නේපාලයේත් බහුලව වැඩේ. මෙම ශාකයේ මව්බිම ඊසාන දිග ඉන්දියාව හෙවත් මගධ දේශය ලෙස සැලකේ. එබැවින් "මගධෝදභවා" යන නම තිප්පිලි වලට ව්‍යවහාර කරයි. මෙහි සිංහල නම වගපුල්ය. තිප්පිලි යන්න සංස්කෘතයෙන් බිඳී ආවකි. තිප්පිලි ශාකය කාෂ්ඨීය මූල පද්ධතියක් සහිත කාෂ්ඨීය නොවන වැල් ශාකයකි. ගැටවලින් මුල් අදිමින් පොළවට සමාන්තව වරධනය වේ. පැහැදිළි නාරටි සහිත පත්‍ර තලය මද වශයෙන් දිළිසෙන සුලුය. බොහෝවිට පත්‍ර වෘන්ත දක්නට නොලැබේ. පුෂ්ප මංජරිය ශුකියකි. එය මල් පිපී පරිනත වූ පසු තිප්පිලි කරල ලෙස හඳුන්වයි. තිප්පිලි ශාකයට සමාන එහෙත් ආධාරක ශාක මත වැවෙන සිවිය (Piper chaba) ශාකයේ කරල් ගජ තිප්පිලි ලෙස හඳුන්වා ඇතත් එය මතභේදාත්මක ය. ඇතැම් මූලාශ්‍රවලට අනුව ගජ තිප්පිලි යනු Araceae කුලයට අයත් Scindapsus officinalis නම් ශාකයේ කරල් ය. මෑතක සිට තිප්පිලි ලෙස ගස් තිප්ලිලි යනුවෙන් හඳුන්වන Piper sarmentosum නම් ශාකයක් බහුලව ඔසු පිණිස භාවිතා කරනු දක්නට ලැබේ. දිළිසෙන, තරමක් විශාල කොළ සහිත ගස් තිප්පිලි ශාකයේ තිප්පිලිවල තිබෙන ඔසු ගුණ නොමැති බවයි ජේෂ්ඨ වෛද්‍යවරුන්ගේ අදහස. ගස් තිප්පිලි ශාකයේ සේයාරුවක් පහත පල කර ඇත. තිප්පිලි Piperaceae කුලයට අයත් ශාක විශේෂයකි.

තිප්පිලි සෙම් රෝග සඳහා ගුණදායක ඖෂධයක් බව ඉතා ප්‍රකටය. එමෙන්ම ක්ෂය රෝගය, කැස්ස, උදරාබාධ, කුෂ්ට රෝග, හික්කා, කෘමි රෝග, ප්‍රවාහිකා, අර්ශස්, අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී තිප්පිලි කරල්, මුල්, සහ සම්පූර්ණ ශාකයමත් යොදා නිපදවූ ඖෂධ භාවිතා කරයි. තිප්පිලි බඩගිනි ඇති කරයි. දිරවීම පහසු කරයි. තරමක් ඌෂ්ණාධික වන අතර කටුක රසයෙන් යුක්ත ය. වාත හා සෙම් රෝග නසයි. අමු තිප්පිලි සෙම වඩයි. ශීතය. වියලි තිප්පිලි පිත කෝප කරයි. කුඩා දරුවන්ගේ අජීර්ණ රෝග සඳහා, තිප්පිලි, කරපිංචා සහ අරළු සමව ගෙන සිහින්ව කොටා රෙද්දකින් හලා සාදාගත් චූර්ණය උණුදිය සමඟ පෙවීම ගුණදායක ය. සෙම් උණට තිප්පි කුඩු ලේහ කිරීම, ක්ෂය රෝගයට තිප්පිලි ගිතෙලින් බැද සහිඳ ලුණු සමඟ අඹරා කෑමට දීම, අම්ලපිත්තයට තිප්පිලි කඩු මෑ පැණි සමඟ කෑමට දීම තිප්පි භාවිතා කරන ප්‍රතිකාර කිහිපයකි. 

ගැමියන් බුලත් විට රසවත් කර ගැනීම සඳහා තිප්පිලි එකතු කර ගනී. තිප්පි මුල් හා ගම්මිරිස් මුල් කුඩුකර ගෙන එළකිරි සමඟ බීමට දීමෙන් තනකිරි වර්ධනය වන බව ගැමියන් සහ දේශීය වෙදැදුරන් අතර ප්‍රචලිතය. තිප්පිලි සෙම නසන, රුධිරය පිරිසිදු කරන, කෘමින් නසන, වේදනාව සමනය කරන ආදී ගුණයන් සහිතයි. 

මූලාශ්‍ර_  ඖෂධීය ශාක සංග්‍රහය සහ ශ්‍රී ලංකාවේ ඔෟෂධ පැලෑටි කෘති 
සේයාරූ_ අන්තර්ජාලයෙන්
ගස් තිප්පිලි (Piper sarmentosum)
Share:

Thursday, May 29, 2014

එනසාල් (Elettaria cardamomum)

කරඳමුංගු ලෙසද හඳුන්වන මෙය ලංකාව, ඉන්දියාව, බුරුමය හා මලයාව යන රටවල කඳුකර තෙත් වනාන්තර නිජබිම කොටගත් බහුවාර්ෂික පැලෑටියකි. එම රටවල මෙය වනගත පැලෑටියක් සේ වැවේ. එනසාල් ආර්ථික භෝගයක් ලෙස එම රටවල විධිමත්ව ද වවනු ලැබේ. අඩි 2000-5000 අතර උසැති අඟල් 60- 230 ත් අතර වර්ෂාපතනයක් ඇති ප්‍රදේශ එනසාල් වගාවට යෝග්‍ය වේ. මෙය පොළොව යට පිහිටි රයිසෝමයකින් මතුව අඩි 4-15 දක්වා ඉහල නගින ශාකයකි. කොළ අඩි 1-3 අතර දිගැතිය. ඉලිප්සාකාරය. සංයුක්ත ඒකාක්ෂවල මල් පිපේ. මල අඟල් 1 1/2 පමණ දිගු වන අතර සුදු හෝ ළා පලාවන් පැහැතිය. ද්වීලිංගිකය. ඵලය ස්ඵෝටිකාවකි. එහි හැඩය අණ්ඩාකාර හෝ ආයත වේ. එනසාල් කුළුබඩුවක් සේම ඖෂධයක් සේද වැදගත්ය. එනසාල් Zingiberaceae හෙවත් ඉඟුරු කුලයට අයත්ය. 

ඖෂධීය වටිනාකම

සංස්කෘත ග්‍රන්ථවල "ඒලා" හා "උපකුංචිකා" යන නම් වලින් එනසාල් හැඳින්වේ. ඖෂධීය වශයෙන් හීන් එනසාල් හා මහ එනසාල් යනුවෙන් දෙවර්ගයකි. හීන් එනසාල් සිසිල් ගුණ ඇත්තේය. සැහැල්ලුය, ආහාර රුචිය වඩයි, හෘදයට හිතය, වාතය නසයි, කුසගිනි වඩයි. මුත්‍ර අඩස්සිය, අර්ශස් හා සෙම් රෝග පහ කරයි. මහ එනසාල් තිත්තය, සැහැල්ලුය, ඌෂ්ණය, කුසගිනි වඩයි, සෙම් පිත්, වමනය හා පිපාසය නසයි. මුඛය, ශීර්ෂය හා ගුදය ආදී ස්ථානවල හටගන්නා රෝගවලට අන්‍ය ඖෂධ හා සමග යොදනු ලැබේ. එනසාල් කාමෝද්දීපකය. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
Share:

Wednesday, May 28, 2014

උක් (saccharum officinarum)

නිරන්තරයෙන් උණුසුම් දේශගුණයක් හා අධික තෙතමනය ඇති ප්‍රදේශවල වැවෙන බහුවාර්ෂික ශාකයකි. පුරුක් සහිත දිග දණ්ඩක් ඇති මෙම ශාකයේ මුල් ඇදෙන්නේ පොළොව යට පිහිටි රයිසෝමයෙනි. පොළොවෙන් ඉහල ඇති කොටසින් කොළ, අංකුර, වෙනත් වර්ධක අවයව සහ ප්‍රජනක අවයව විකසනය වේ. උක් දඬුවක් සාමාන්‍යෙයන් අඩි 4-12 දක්වා දිගැතිය. විශ්කම්භය අඟල් 1-4 දක්වා වෙයි. උක් දණ්ඩක ඇති පුරුකක් අඟල් 4-10 දක්වා විය හැකිය. එක් පුරුකක් ගැටය හා පර්වය නම් කොටස් දෙකකින් යුක්තය. උක් පත්‍ර තලය දිගය, පටුය, ඊට පත්‍ර කොපුවක් ඇත. පත්‍රයක දිග අඩි 5-6 අතර වේ. පළල අඟල් 1-3 දක්වා විය හැක. උක් ගසේ මූල පද්ධතිය බෙදී යන මුල් විශාල සංඛාවකින් යුක්තය. 

නිවර්තනික ප්‍රදේශ වලදී උක් ගස්වල මල් පිපේ. එහෙත් ඇට සෑදෙන්නේ ඉතාම කලාතුරකිනි. මෙහි පුෂ්ප මංජරිය අඟල් 18 පමණ දිග පිහාටුවක් වැනි සංයුක්ත ඒකාක්ෂයකි. උක් වගාකරන්නේ මුල් අද්දවා ගත් පසු පොළොවට යට කෙරෙන කොටස්වලිනි. ඒවායින් අලුත් උක් ගස් පැලවේ. උක් වගාවට යෝග්‍ය දියළු ලොම් පසය. 

උක් වගාකරන රටවල් රැසකි. කියුබාව, ඉන්දියාව, ලංකාව, බාබඩෝස්, මුරුසිය, ග්වාතමාලා, එල්-සැල්වදෝර්, ආර්ජන්ටිනා, වෙනිසියුලා, එක්සත් ජනපදය, පාකිස්ථානය හා ෆීජී ඉන් සමහරකි.

ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල උක් “ඉක්ෂු“ යන නමින් හඳුන්වා ඇත. සුශ්‍රැත සංහිතාවෙහි උක් ප්‍රභේද දොලහක් දැක්වේ. රාජානිඝණ්ටුව නම් වෛද්‍ය ග්‍රන්ථයේ සීත, පුණ්ඩ්, කරංග, කෘෂ්ණා හා රක්ත යයි උක් පස් වර්ගයක් ගැන සඳහන් වේ. 

සීක උක් - ආහාර රුචිය ඇති කරයි, සෙම් හා මූත්‍ර වඩවයි, කුසගින්න වඩයි, පිත නිසා සිරුරේ හට ගන්නා දැවිලි නසයි.

පුණ්ඩු උක් - ඉතා මිහිරිය, සිසිල්ය, සෙම වඩයි, පිත් නසයි, ආහාර රුචිය ඇති කරයි, ශරීරය සන්තර්පණය කරයි. 

කරංග උක් - මිහිරිය, සිසිල්ය, ධාතු පෝෂණය කරයි, කුසගින්න වඩයි, පිත නිසා හට ගත් දැවිලි සුව කරයි. 

කෘෂ්ණ උක් - කළු පැහැතිය, මිහිරිය, හෘදයට හිතය, තුන් දොස් පහ කරයි, ශරීර ශක්තිය ඇති කරයි.

රක්ත උක් - මිහිරිය, ධාතු පෝෂණය කරයි, කුසගින්න වඩයි, පිත නිසා හට ගත් දැවිලි ගතිය පහ කරයි.

මුත්‍ර හටගැන්වීම සඳහා උක් යහපත්ය. රත්පිත, නාසයෙන් ලේ ගැලීම හා පාණ්ඩුව ආදියට දෙන බෙහෙත්වලට උක් පැණි යොදනු ලැබේ. ආසව, අරිෂ්ට, ලේහ, සෘත හා ක්වාථ ආදිය තැනීමේදී උක් පැණි හා උක් හකුරු භාවිත කෙරේ. 

ආයුර්වේදීය, දේශීය හා යුනානි යන වෛද්‍ය ක්‍රම වල උක් පැණි භාවිතා වන ඖෂධ රාශියකි. යකෘත් ප්‍රදාහය, කාමලාව ආදී රෝගවලින්ද පැපොල හා සරම්ප රෝග වලින්ද සුවය ලබන අයට සුවය ඉක්මන් කරනු පිණිසත් රෝගීව තිබූ යකෘතය ආදී අවයව පෝෂණය කරනු පිණිසත් උක් පැණි දෙනු ලැබේ. උක් පැණි ඖෂධ රාශියකට එකතු කෙරෙන ද්‍රව්‍යයකි. එය ප්‍රතිවාප සේ ගැනෙන ඔසු රුසක් තිබේ. උක් මධුමේහය හෙවත් දියවැඩියාව තිබෙන අයට අපථ්‍යයි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන්
Share:

Tuesday, May 27, 2014

දේශීය ඉඳි [Idi] (Phoenix pusilla)


දේශීය ඉඳි ශාකය අඩි 6-15 අතර උසට වැවෙන  තාල වර්ගයේ ගසකි. කඳ අපපතන පත්‍ර වලින් වැසී ඇත. දිග පක්ෂවත් කොළවල පටු පක්ෂක බොහෝය. මේ පක්ෂවල අග්‍රය ඉතා තියුණුය. ඇතැම් කොළවල මුල් කොටසේ ඇති පක්ෂක ඌන වී කටු බවට පරිවර්තනය වෙයි. පුමංගි හා ජායංගි ගස් වෙන වෙනම තිබේ. පහළට නැමී ඇති ශුකි නම් පුෂ්ප මංජරිවල කහ පාට මල් ඇත. ඵලය අඟල් 1/2 පමණ දිගය. රතු පාටය. ඉදුණු ඵලය තද දම් පාටය. ඇටය ඵලයට වඩා කුඩා වන්නේ ස්වල්ප වශයෙනි. පහතරට තෙත් ප්‍රදේශ වල මෙය සුලභය. දකුණු වෙරළබඩ ප්‍රදේශවල ද වැඩි වශයෙන් දක්නා ලැබේ. ඉන්දියාවේ මෙම ඉඳි ගස් රා පිණිස මදිනු ලැබේ. දේශීය ඉඳි ශාකයේ හොඳින් පැසුනු ජලයෙහි බහා තැබීමෙන් ඉක්මනින් ඉදීම සිදු වේ. ඉදුණ ඉඳි ගෙඩිවල මොලොක් කොටස කෑමට සුදුසුය. ඉඳි ගොබවලින් දර්ශනීය පැදුරු, තොප්පි හා පෙට්ටි ආදිය තනනු ලැබේ. සුප්‍රකට රට ඉදි හෙවත් Phoenix dactylifera මැද පෙරදිග රටවල වැවේ.  ඉඳි ගස Arecaceae කුලයට අයත්ය. 

‍ඖෂධීය වටිනාකම

සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල ඉඳි හඳුන්වා දී ඇත්තේ "ඛර්ජුරී", "ඛර්ජුරිකා" යන නම් වලිනි. ඒවායෙහි රාජ ඛර්ජුරී, දීප්‍යා ඛර්ජුරී, මධූ ඛර්ජුරී හා භූමි ඛර්ජුරී යයි ප්‍රභේද හතරක් දැක්වේ. ලංකාවේ වැවෙන ඉඳි ගස භූමි ඛර්ජුරී ප්‍රභේදයට අයත්ය. ඉන්දියාවේ ඉඳි ප්‍රභේද හතක් පමණ ඇත. පොදුවේ ගත් කල සියලුම ඉඳි වර්ග මිහිරිය, බරය, සිහිල්ය. ලේ පිත් සමනය කරයි. විෂ පහ කරයි. සිරුර පෘෂ්ටිමත් කරයි. හෘදයට හිතකරයි. ශක්ති වර්ධකය, ගත සන්තර්පනය කරයි. ධාතු ශක්තිය වඩවයි. අධික දාහය සහ පිත සමනය කරයි. 

ඉක්කාව, රත්පිත, පෙනහලු රෝග හා දැවිලි ආදී රෝගාබාධ සමනය කරනු පිණිස වෙනත් ඖෂධ සමග ඉඳි යුෂ, ඉඳි බඩ හා ඉඳි ඵල යොදනු ලැබේ. ඉඳි ගසෙන් ලබාගන්නා රා මුත්‍රකාරකය. සර්ප විෂෙන් මූර්ජා වූවන් බහා ලීමට පිළියෙළ කෙරෙන බෙහෙත් ඔරුවට, නාග, පොලොං, මී හා ජයපාල විෂ පහ කිරීමට, සියලු වස විෂ පහ කිරීමට හා බිඳුණු තැන් සන්ධි ගැන්වීමට යොදන ඖෂධ වලට මෙරට වැවෙන ඉඳි ශාකයේ බොඩ ගනු ලැබේ. සෙංගමාලය වැනි රෝගවලදී ඉඳි බොඩ කැඳ දීමෙන් සුවය ඉක්මන් වෙයි. 

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි
සරත් රණවීර සහ රේඛා රණවීර
Share:

Sunday, May 25, 2014

මාදං [Madan] (Syzygium Cumini)

මාදං ඉහලට මීටර් 26 ක් දක්වා ද වට ප්‍රමාණය මීටර් 3 ක් දක්වා ද වර්ධනය වන විශාල ප්‍රමාණයේ දේශීය ශාකයකි. වියළි කලාපයේ සුලභව හුමුවේ. විශේෂයෙන් දිය පහරවල් හා වැව් ඉවුරු ආශ්‍රිතව දැකගත හැකිය. මාදං වැව් ඉවුරුවල වැවීමට යෝග්‍ය ශාකයක් බව ඉපැරණි පිළිගැනීමකි. කඳෙහි මතුපිට පොත්ත ළා කහ - දුඹුරු විය හැකිය. ඇතුලත පොත්ත ඝණකම් වන අතර තන්තුමය වේ. පත්‍ර තලය කහ කොළ පැහැතිය. ඉලිප්සාකාර සිට අණ්ඩාකාර ලන්සාකාර වේ. බහු අක්ෂ පුෂ්පමංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. කොළ පැහැති ඵලය හොඳින් ඉදුණුවිට දම් පැහැයක් ගනී. ඉදුණු ගෙඩි කුඩා දරුවන් ප්‍රිය කරන රසැති ගුණැති පළතුරකි. දැවමය වටිනාකම අතින් ඉහල මාදං ශාකය Myrtaceae කුලයට අයත් ය.


දියවැඩියාව, අතීසාරය, රත්පිත්, රක්ත ප්‍රදර, වණ, පණු රෝග, ක්ෂය රෝගය, වමනය, කැපුම් සීරීම්, මුඛ රොග, දන්ත රෝග, ඇස් රෝග, පිලිස්සීම් වැනි රෝග අවස්ථා ගණනාවක් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, දළු, පොතු, ගෙඩි, ඇට ආදිය යොදා තැනූ ඖෂධ භාවිතා කරයි.

දියවැඩියාවට මාදං ඇට චූර්ණය සහ මාදං ඇට වියළා රන්වන් පැහැ වන තුරු කබලේ බැද කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය. එයටම මාදං පානය සහ පොතු කෂාය යෙදිය හැකිය. මාදං පොතු තම්බා ගත් කෂායෙන් කට සේදීමෙන් මුඛ රෝග රැසක් සුව වෙයි. පිළිස්සුම් තුවාලවලට පොතු පුලුස්සාගත් අළු තල තෙල් සමඟ මිශ්‍රකර ආලේප කරයි. මෙම පොතු තැම්බූ වතු තුවාල සේදීමට භාවිතා කරයි. මාදං දලු යුෂ ආලේප කිරීමෙන් කැපුම් සීරුම් තුවාල ඉක්මනින් සුව වෙයි. කොළ දලු යුෂ මී පැණියෙන් දීමෙන් වමනය නවතී. මාදං පොතු දන්තාලේප නිපදවීමට යොදා ගනී. මෙම කොළවලින් නිස්සාරණය කර ගන්නා සුගන්ධ තෙල් රසකාරයක් ලෙස භාවිතා කරයි. මාදං ආහාර රුචිය ඇති කරවන, කුසගිනි වඩවන, අක්මාව උත්තේජනය කරන ආදී ගුණ සහිතයි.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති 

Share:

Friday, May 23, 2014

ඊතණ (Heteropogon contortus)

ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වැවෙන අඩියක් පමණ උස බහුවාර්ෂික ශාකයකි. මෙය ලෝකයේ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවල වැවේ. රොද බැඳී සෘජුව වැඩෙන ඊතණ දඬුවල ඉහල කොටසින් ශාකා විහිදේ. මේ ශාකයේ පත්‍ර කොපු සිනිඳුය. ජිහ්වලය. කෙටිය. පත්‍රය අඟල් හතරක් පමණ දිගය. එය ඉවත් කල විට අඟල් දෙකක් පමණ දිග ඒකාක්ෂය පෙනේ. මෙහි කීණකය කෙටිය. POACEAE හෙවක් තෘණ කුලයට අයත් මෙම ශාකයේ මුල් ජලය සොයා පොළොවේ ඉතා ගැඹුරට දිවේ. කෙසේවෙතත් ඊතණ මතභේදාත්මක ශාකයක් වන අතර විද්වතුන් අතර කුම ශාකයදැයි එකඟතාවයක් නැත. 

ඖෂධීය වටිනාකම 

සංස්කෘත භාෂාවෙන් ඊතණ හැඳින්වෙන්නේ “දුර්වා“ යන නමිනි. නීල දුර්වා, ශ්වේත දුර්වා (එළ ඊතණ), ගණ්ඩ දුර්වා සහ මාලා (වල්ලි) දුර්වා යයි ඊතණ ප්‍රභේද හතරක් ගැන ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන්වේ. ඇතැම් ග්‍රන්ථ වල දැක්වෙන්නේ ප්‍රභේද තුනක් පමණි. 

නීල දුර්වා - මිහිරිය, තිත්තය, සිහිල්ය, රුචිකය, රත්පිත් හා අතීසාරය නසයි. වාත, සෙම්, උණ පහ කරයි.

ශ්වේත දුර්වා - අතිශයින් සිහිල්ය, වමනය සහ පිත් ආබාධ ජය ගනී. අතීසාරය, දැවිල්ල හා පිපාසය නසයි. ආහාර රුචිය ඇති කරයි.

ගණ්ඩ දුර්වා - මිහිරිය, වා, පිත්, උණ පහ කරයි. ශීතය. කරකැවිල්ල හා ක්ලාන්තය සමනය කරයි.

මාලා දුර්වා - ඉතා මිහිරිය, සිහිල්ය, පිත නසයි. වමනය හා පිපාසාව දුරු කරයි. 

නීල, ශ්වේත හා ගණ්ඩ යන ඊතණ වර්ග වල ශීතල කසට ගුණය සපුරා ඇත. ඒවා රත්, පිත් , වා, සෙම් පහ කරයි. විසප්පු, රත්පිත්, කුෂ්ට, සෙම් රෝග, මූත්‍රා ආබාධ, නාසයෙන් ලේ ගැලීම හා ස්ත්‍රීන්ගේ ඔසප් රෝග ආදියට දෙනු ලබන ඖෂධ පිලියෙල කිරීමේදී ඊතණ ප්‍රධාන ද්‍රව්‍යයක් සේ යොදාගනු ලැබේ. මේ හැර සර්ප විෂ, කැඩ්ම් බිඳුම් හා වණ තුවාල ආදියට යොදන තෙල්, ගුලි හා කල්ක ආදියට ඊතණ විශේෂයෙන් ගනු ලැබේ.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Thursday, May 22, 2014

ඉරිවේරිය [Iriweriya] (Plectranthus hadiensis)

ඉරිවේරිය මීටරයක් දක්වා උසට වැඩෙන මාංසල කඳක් සහිත බහුවාර්ෂික පැළෑටියකි. පඳුරක් ලෙස වැඩෙන මෙහි කඳ ගැට සහිතය. පත්‍රවල දෙපසම සියුම් බූවක් පිහිටයි. කඳේ පහල කොටස්වලින් මුල් ඇදේ. පත්‍රයක් දිගින් සෙ.මි.  සෙ.මි. 10 පමණ දිගින් සහ පළලින් යුත් සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර හැඩය තරමක් හෘදයාකාර ය. පත්‍ර දාරය සභංගය හෙවත් කඩතොලු සහිතය. පත්‍ර කප්පරවල්ලිය තරම් මාංසල නොවේ. ඉරිවේරිය කොළ පොඩිකල විට ඒවායින් සුවඳක් නික්මෙයි. සිහින් ඒකාක්ෂ වල පිපෙන ළා නිල්පාට මල් කුඩාය. ඉරිවේරිය Lamiaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

උණ, අතීසාරය, පාචනය, වමනය, උදරාබාධ, අධික පිපාසය, අක්මාවේ ආබාධ, දිවි මකුලු විෂ, සැරව ගෙඩි, හෘදයාබාධ ආදී රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඉරිවේරිය සම්පූර්ණ ශාකයම යොදා ගනී.

තුන් හතර වතාවක් මල බුරුලෙන් ගිය විට හෝ පාචනය වූ විට ඉරිවේරිය හා ඉඟුරු තම්බා බීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. දේශීය වෛද්‍ය ක්‍රමයේදී අජීර්ණය නිසා හටගන්නා පාචන හා අතීසාර රෝග වලට ඉරිවේරිය ශාකය සහමුලින්ම ගෙන මිරිකා ගත් යුෂ බඳුනට ගිනියම් කරන ලද යකඩ කැබැල්ලක් ඔබා, යුෂ පැසී නිවුණ පසු මී පැණි මිශ්‍ර කොට යෝග්‍ය මාත්‍රාවකින් දෙනු ලැබේ. උදරාබාධ හා අතීසාර රෝගාබාධ වලදී දෙනු ලබන “මාතූර්භද්‍රක“ හා“පංචභද්‍රක“ යන කෂායවල් සඳහා ඉරිවේරිය ගනු ලැබේ. ඉරිවේරිය කොළ කොටා කඩපිම්මේ තම්බා මිරිකා ගත් පසුව මී පැණි දමා නවරත්න කල්කය සමඟ බීම වමනයට හා බඩ බුරුලෙන් යාමට සුදුසුයි. වමනයට තවත් ගුණ දෙන ඔසුවක් වනුයේ ඉරිවේරිය මුල් කෂාය කර බීමයි. මෙම සම්පූර්ණ ශාකයම ඔසු පිණිස ගනී.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
Share:

Tuesday, May 20, 2014

ඉඹුල්


Salmalia malabarica
Salmalia insignis
Caiba pentandra

යටකී ඉඹුල් විශේෂ තුන ලංකාවේ වැවේ. මුල් විශේෂ දෙක කටු ඉඹුල් යනුවෙනුත් අනෙක් විශේෂය පුලුන් ඉඹුල් යනුවෙනුත් හැඳින්වේ. මේ වි‍ශේෂ තුනම අඩි 40- 80 පමණ උසට වැඩේ. ගසේ පොත්තෙහි කටු ඇත. පත්‍ර සංයුක්තයි. එහි පත්‍රිකා 5-8 දක්වා ප්‍රමානයක් ඇත. පෙබරිවාරි - අප්‍රේල් අතර කාලයේ පත්‍ර හැලී යයි. ඵලය අඟල් 6-10 පමණ දිගය. එය කොල පාටය. එය තර්කුරූපීය හෙවත් දෙකොන උල් වූ ස්ඵෝටිකායකි. මේ ශාක වල ඇට පුළුන් වලින් වැසී තිබේ. මෘදු වූ ලීය සුදු පාටය. 

ඉඹුල් ලංකාව, ඉන්දියාව, බුරුමය, සුමාත්‍රා හා පිලිපීනය ආදී රටවල වැවේ. පිලිපීනය ඉඹුල් පුළුන් විශාල ලෙස අපනයනය කරයි. ඉඹුල් ඇට වලින් සිඳගන්නා තෙල් සබන් තැනීමට ගනු ලැබේ. ඉඹුල් දලු පිලිපීනයේ ව්‍යාංජන සඳහා භාවිතාවේ. ඒවායේ කැල්සියම් සහ යකඩ සැලකිය යුතු ප්‍රමානයක් ඇත. ඉඹුල් බොම්බකාසේ කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

රතු මල් හටගන්නා ඉඹුල් විශේෂය කටු ඉඹුල් ලෙසත්, සුදු මල් හටගන්නා විශේෂය එල ඉඹුල් ලෙසත් හැඳින්වේ. ඉඹුල් ශාකයට “ශාල්මලී“ යන නමද ව්‍යවහාර වේ. ඉඹුල් ශීතලය. ශුක්‍ර හා සෙම වර්ධනය කරයි. ශරීර ශක්තිය වඩයි. සිරුර තර කරයි. රත්පිත නසයි. ඉඹුල් මැලියම් කසටයි. මල බද්ධය ඇති කරයි. ධාතු වර්ණ හා නුවණ වඩයි. තරුණ බව රැක දෙයි. වාතය නසයි. අතීසාර රුධිර දෝෂ හා පිත් නිසා ඇතිවන දැවිල්ල නැති කරයි. ඉඹුල් පොතු වණ සුව කරයි. මෙහි මුල්, නැටි හා මල් අතීසාර, රත්පිත් ඔසප් රෝග හා විෂ ශරීරගත වීම ආදියට දෙනු ලබන ඖෂධ වලට එකතු කරනු ලැබේ.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
Share:

Monday, May 19, 2014

ඉරමුසු [Iramusu] (Hemidesmus indicus)

ඉරමුසු පොළවෙහි වැතිරී හෝ අධාරක ශාකයක් මත එතෙමින් වැඩෙන අර්ධ පඳුරුමය කාෂ්ඨීය වැල් ශාකයකි. පොළවෙහි ගැඹුරට විහිදෙන කාෂ්ඨමය මුල සුගන්ධවත්ය. ලපටි කඳෙහි බූවක් ඇත. මේරූ කඳ බූව රහිත වන අතර කිරි සහිතයි. සම්මුඛව පිහිටන සරල පත්‍ර ආයත-ඕවලාකාර සිට රේඛීය දක්වා විවිධ හැඩයන්ගෙන් දැකගත හැකිය. පත්‍රයක් සෙ.මි. 3.8 සිට 6.6 දක්වා දිගු විය හැකිය. පත්‍ර යේ මධ්‍ය නාරටිය දිගේ දක්නට ලැබන සුදු පැහැති ඉර ඉරමුසු හඳුනා ගැනීමේ අනන්‍ය ලක්ෂණයක් වුවද එය නොපිහිටන අයස්ථාද හමුවෙයි. කක්ෂීය බහු අක්ෂ මත පිහිටන තද දම් පැහැති මල් ද්වීලිංගික ය. ඵලය කොටස් දෙකක් සහිත වරාවකි. හීං ඉරමුසු සහ මහ ඉරමුසු යනුවෙන් ප්‍රභේද (හෝ විශේෂ) දෙකක් ඇති අතර මෙරට වැවෙන වර්ගය හීං ඉරමුසු ලෙසත් ඉන්දියානු වර්ගය මහ ඉරමුසු ලෙසත් හඳුන්වයි. දේශීය ශාකයක් වන ඉරමුසු පෙර Apocynaceae සහ Asclepiadaceae උද්භිද කුලයන්ට අයත්ව තිබී වර්තමානයේ Periplocaceae කුලය යටතේ වර්ගීකරණය කර ඇත. 

අතීසාර, ප්‍රවාහිකා, වාතරක්ත, උපදංශ,ථීරංග, බරවා, ගණ්ඩමාලා, කුශ්ඨ, විසර්ප, තුවාල, මව්කිරි නිසිලෙස ස්‍රාවය නොවීම, අහාර අරුචිය, ස්ත්‍රි සහ පුරුෂ වඳ බව, මුත්‍ර ගල්, මුත්‍ර ආසාදන, ශරීරයේ දැවිල්ල, ඇදුම ඇතුළු ස්වසන ආබාධ, විදුරුමස් දියවීම, උගුරේ සෙම්ගෙඩි, සන්ධි වේදනා, පණු රෝග, උදරාබාධ, අකලට හිසකෙස් වැටීම, නින්ද නොයාම, මුහුනේ සම අවපැහැ වීම, අර්ශස් ඇතුලු රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ඉරමුසු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. ඉරමුසු කුෂ්ඨ, දද, ශරීරයේ දුගඳ, කැස්ස, ඇදුම, රක්ත දෝෂ, අතීසාර, පිපාස, දාහ දුරලන ගුණ සහිතයි. වටී, ක්වාත,ලෞහ, තෛල, ලේප ආදී ඉරමුසු යොදා නිපදවන ඖෂධ රැසක් ද ඇත. 

ශරීරයේ දැවිල්ලට සහ මුත්‍ර දැවිල්ලට මුල් තම්බා බීමත් කැඳ සාදා බීමත් ගුණදායකය. අභිෂ්‍යන්දී නම් අක්ෂි රෝගයේදී ඉරමුසු ස්වරසය ඇසට යොදයි. ශරීරයේ දැවිල්ල සහ ඉදිමුම් අවස්ථාවන්ට මුල් අඹරා බාහිරින් ආලේප කරයි. ඉරමුසු මුල් තැම්බූ ජලයෙන් සේදීමෙන් වණ ශෝධනය වෙයි. මී විෂට ඉරමුසු මුල් කෂාය ලෙස ගෙන සාදාගත් සෘත යොදයි. 

ඉරමුසු කෂාය දින හතක් පමණ උදය හවස පානය කිරීම වඳබව නැසීමට උපකාරී වෙයි. ඉරමුසු චූර්ණය ජලයට මිශ්‍රකර පානය කිරීම මුත්‍රා ගල්, කුෂ්ඨ රෝගය සහ ස්ත්‍රි පුරුෂ වඳ භාවය නැති කිරීමය සමත් ය. පෙණහලු ආශ්‍රිත රෝග, සෙම තදවීම සහ ඇදුම වැනි රෝගවලින් පෙළෙන විට ඉරමුසු කොළ කොටා සාදාගත් කැඳ පානය ගුණය. විදුරු මස් දියවීම, කටේ සෙම්ගෙඩි හටගැනීම, උල්ලෝගම් ඒම (සුදු පැහැ පුස් ලප වර්ගයක්) වැනි මුඛය ආශ්‍රිත රෝග සඳහා ඉරමුසු වැල තැම්බූ වතුරින් සේදීමෙන් සුවය ලැබෙයි. එයට සීනක්කාරම් ස්වල්පයක් දැමීම වඩාත් ප්‍රතිඵලදායක වේ. සර්ප විෂ, ගෝනුසු විෂ සහ මී විෂ ආදී විවිධ විෂ වර්ග ශරීරගත වූ විටදී ඉරමුසු මුල් තම්බා කෂායක් සාදාගෙන ඒ කෂාය නැවතත් එළඟිතෙල් සමඟ රත් කර පානය කළ යුතුය. අතීසාරය, කෑම අරුචිය වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ගුණදෙන වටිනා ඔෟෂධයක් නිවෙසේ සිටම සාදාගැනීමට ඉරමුසු, වියළි ඉඟුරු, කලාඳුරු අල සහ කෙලිඳ හාල් ග්‍රෑම් 15 බැගින් ගෙන වතුර කොප්ප 8ක් මිශ්‍රකර කොප්ප 1කට සිඳගෙන එය හොඳින් පෙරා පානය කරන්න. කෑම රුචිය වැඩිකිරීමටත් අතීසාරය දුරුකිරීමටත් එය ඉතාමත්ම ගුණදායක ඔෟෂධීය පානයකි. පණු අමාරුව සහ උදරය ආශ්‍රිතව හටගන්නා විවිධ වේදනාවලදී ඉරමුසු ශාකය ඇල්වතුරෙන් අඹරා එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද මිශ්‍රකර හොඳින් ඝනවන තුරු අඹරන්න. ඉන්පසු කුඩා ගුළි ලෙස සාදාගෙන හොඳ ඇසුරුමකට දමා තබාගන්න. උදරය ආශ්‍රිතව හටගත් වේදනාවකදී ඒ ගුළිය බැගින් මඳ රස්නය ඇති වතුර සමඟ පානය කරන්න. අකලට හිසකෙස් වැටෙන විට ඉරමුසු ශාකය කොටා දිනපතා ඒ යුෂෙන් හිස සෝදන්න. දින කිහිපයකින් හිසකේ ගැලවී යෑම නවතී. ඉරමුසු කොළ සහ දෑසමන් කොළ ස්වල්පය බැගින් සමව ගෙන තම්බා ඒ ඔෟෂධීය දියෙන් පැසවූ තුවාලය දින තුනක් පමණ සේදීමෙන් තුවාලය ඉක්මනින් සුව වේ. මුහුණේ දුර්වර්ණවීම් ඇති විට ඉරමුසු කොළ හොඳින් කොටා දිනපතා උදෑසන එම යුෂ මුහුණේ ආලේප කර විනාඩි පහළොවකින් පමණ සෝදා හරින්න. ඉරමුසු ශාකය සම්පූර්ණයෙන් ගෙන කටරොළු මුල් හා අඹරා කල්කයක් සාදාගෙන එම කල්කය මැටි බඳුනක පතුලේ තවරා රත් කර වියළුණු පසු එයට මෝරු (මුදවපු කිරි කොටස් එකකට වතුර කොටස් 4ක් දමා මිශ්‍ර කර මෝරු සාදා ගන්න) දමා හොඳින් මිශ්‍ර කර එය පානය කරන්න. අර්ශස් රෝගීන්ට එය ඉතාමත්ම ගුණදායකයි. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support