දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Friday, June 19, 2015

හීං නිදිකුම්බා [Heen Nidikumba] (Biophytum reinwardtii)


පෙර කල දඩින්නරු යන නාමයෙන් හඳුන්වා ඇති  හීං නිදිකුම්මා සෙ.මි. 15 ට වඩා උසට නොවැඩෙන, කෙටි සෘජු රත්පැහැ කඳක් සහිත වාර්ෂික පැළෑටියකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර කඳ අග්‍රයේ ගොනුවී කිරීටයක් මෙන් විහිදී ඇත. පත්‍ර ඉක්මවා ඉහලට වැඩෙන ප්‍ුෂ්ප මංජරියක හට ගන්නා ද්වීලිංගික පුෂ්ප කහ පැහැතිය. ඵලය ඉතා කුඩා වටකුරු ඔවලාකාර ස්ඵෝටිකාවකි. මෙම ශාකය සඳහා සුලභව ව්‍යවහාර කළ තවත් නමක් වන්නේ "ගස් නිදිකුම්බා" යන්නයි. එහෙත් වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාට අනුව ගස් නිදිකුම්බා යනු මෙම උද්භිද ගණයටම අයත් වෙනත් ශාක විශේෂයකි. එහි විශේෂත්වය වන්නේ අතු බෙදී පැවතීමයි. මෙම ශාකය ද අතුළුව මේ හා සමාන ලක්ෂණ සහිත මෙම උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 5 ක් ලංකාවෙන් වාර්තා වී ඇත. Biophytum විශේෂ Oxalidaceae උද්භිද කුලයට අයත්ය. 

උදරාබාධ, අතීසාර, අර්ශස්, ග්‍රහණි, දියවැඩියාව, ඇඳුම,පීනස, මෟත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග, සැරව ගෙඩි, තුවාල, නාග විෂ, සමේ රෝග, මුත්‍ර ගල්, නින්ද නොයාම, ගොනෝරියාව, පුයාමේහ, ආදී රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධීය පැළෑටිය භාවිතා කරන බව සඳහන්. හීං නිදිකුම්බා කඵ සමනය කරන, ආමපාචක, ශ්ලේෂ්මලහර, වෙදනා නසන, වණ ශෝධනය කරන, වාතය නසන ගුණ සහිතයි. 

පීනසට මෙම ශාකය කැපූ විට ගලන ස්‍රාවය නස්‍ය කරයි. හීංනිදිකුම්බා ශාකය සහමුලින් ගෙන තැම්බූ වතුරින් සේදීමෙන් කුෂ්ඨ, කරප්පන් ආදී සමේ රෝග සුව වෙයි. සම්පූර්ණ ශාකය වියළා කෂාය කර බීම අධික රුධිර පීඩනයට ප්‍රතිකාරයකි. මෙම ශාක කොටස් යෙදූ කෂාය ළදරු අතීසාරයට බොහෝසේ ගුණදායක බව කියැවේ. ලේ අතීසාරයට සහ මුත්‍ර පිටකිරීම පහසුකිරීමට ද හීං නිදිකුම්බා යොදා ගනී. හීං නිදිකුම්බා දළු රසවත් ගුණවත් ව්‍යංජනයක් ලෙස පිසගත හැකිය. 

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත්
පහල සේයාරුව_ වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාගෙන් 
ගස් නිදිකුම්බා 
Share:

Wednesday, June 17, 2015

කටුපිල [Katupila] (Flueggea leucopyrus)

කටුපිල මීටර් 4 දක්වා ඉහලට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කටු සහිත කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ සුදු පැහැතිය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්‍ර ඔවලාකාර හැඬයක් ගනී. මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගසේ කක්ෂවල මල් කලඹ සේ හට ගනී. මි.මි 3 ක පමණ විශ්කම්භයක් සහිත කුඩා ගෙඩි කොළ පැහැති වන අතර ගෙඩි ඉඳුන විට සුදු පැහැයක් ගනී. කටුපිල ශාකය Euphorbiaceae කුලයට අයත් ය.

කටුපිල බඩවැලේ සෑදෙන රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. පිළිකා සඳහා කටුපිල කොළවලින් සාදා ගන්නා කැඳ ගුණදායකය. ස්ත්‍රින්ගේ ගර්භාෂයේ හටගන්නා ගෙඩි දියකර හැරීමේ ශක්තියක් කටුපිලවල ඇති බව සඳහන් වේ. එමෙන්ම දත්කැක්කුම, යටිපතුලේ හට ගන්නා කටුපිළිකා, කුඩා දරුවන්ගේ රතගාය, පිලීහාවේ සහ අක්මාවේ හට ගන්නා රෝග, මී විෂ, සර්ප විෂ, කැස්ස, ඇදුම, අණ්ඩ වෘද්ධිය, රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කටුපිල යොදා ගනී. කටුපිල ශාකයේ කොළ, පොතු, මුල් සහ පංචාගයම එකවරත් ඔසු සඳහා භාවිතා කරයි. 

කටුපිල කොළ, ගස් කරල්හැබ කොළ එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ නිමෙන්නට හැර මී පැණි අනුපාන වශයෙන් යොදා උදේට පානය කිරීම බඩවැලේ සෑදෙන ගෙඩි, වණ, තුවාල, ලප සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. කටුපිල කොළ මෙන් අඩක් කංසා කොළ ගෙන චූර්ණය කර හෝ මී කිරි සමග මුල් චූර්ණය දීම රක්ත අර්ශස් රෝගයට ප්‍රතිකාරයකි. යටිපතුලේ් හට ගන්නා පිළිකාවන්ට කටුපිල ගසේ පංචාංගය කහ සහ ලුණු සමග කොට මලවා බැඳීම සිදු කරයි. කටුපිල කොළ පොතු, දිවුල් ලාටු, කුකුරුමාන් කොළ පොතු සහ ලණු දමා කොටා බැඳීමෙන් කටුපිලිකය සුව වෙයි. කටුපිල විශබීජ නාශක සහ රුධිරය පිරිසිදු කරන ගුණයන්ගෙන් යුක්තයි.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය 




Share:

Friday, June 12, 2015

දත්කැටිය [Dathketiya] (Ophiorrhiza mungos)


තෙත් කලාපයේ සුලභව හමුවන දත්කැටිය ශාකය සෙ.මි. 30 පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා පැළෑටියකි. සෘජු සිලින්ඩරාකාර කඳ කොළ පැහැතිය. අඳුරු කොළ පැහැති සරල පත්‍ර සම්මුඛව පිහිටයි. සෙ.මි. 8-15 පමණ වන පත්‍ර ලංසාකාර හැඩැති ය. පත්‍ර තලයේ යටිපස ළා කොළ පැහැති ය. තිරස්ව විහිදෙන බහු අක්ෂ මත අග්‍රස්ථයෙන් පුෂ්ප මංජරියක් හට ගනී. කුඩා ද්වීලිංගික පුෂ්ප සුදු පැහැතිය. ඵලය ස්ඵෝටිකාවකි. ඒ තුල ළා දුඹුරු පැහැති බීජ රාශියකි. මුගටියකු සහ නාගයකු අතර ඇතිවන සටනකදී නාගයා පැරදුණු පසු, මුගටියා තම ශරීරයට ඇතුල්වූ නාග විෂ මර්ධනය කර ගැනීම සඳහා දත්කෑටිය ගස් සොයමින් ඒවායෙහි මුල් සපමින් යන බව ජනප්‍රවාදවල සඳහන් වේ. දත්කැටිය Rubiaceae උද්භිද කුලයට අයත් ශාකයකි.  

සර්ප දෂ්ට කිරීම්, පාචනය, පිස්සු බලු විෂ, අතීසාර, කුසගිනි මදිකම, ගෙඩි, වණ, පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල්, පොතු සහ එකවර සම්පුර්ණ පැළෑටියමත් භාවිතා කරයි. සියළු සර්ප විෂ සඳහා ශාකය සහමුලින් ගෙන කොටා යුෂ ගෙන හීනටි හාලෙන් කැඳ පිස එළඟිතෙල් දමා බොන්නට දෙයි. මෙහි මුලෙහි පිළිකා මර්ධනය කළ හැකි රසායනික සංඝටක අඩංගු බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇති බව සඳහන්. ජීවරත්ත මහ අඳුන, බ්‍රහ්ම ලෝක තෛලය අත්කැටිය යොදා නිපදවන ඖෂධයන් ය. දත්කැටිය පණුවන් නසන, කුසගිනි වඩවන, මෘදු විරේචක, බලකාරක, පිත්ත නිස්සාරක ගුණ සහිතයි.  

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
Share:

Monday, June 8, 2015

රත් කෑලිය [Rath Keliya] (Litsea longifolia)


රත් කෑලිය ලංකාවට ආවේනික ශාකයක් වන අතර බොහෝ විට මධ්‍යම කඳුකර ප්‍රදේශයන්හි පමණක් දැකගත හැකිය. මීටර් 5 පමණ උසට වැඩෙන ශාකයක් වන මෙහි ශාකය පුරාම සියුම් බූවක් ඇත. මෙහි දලු සහ ළපටි අතු රත් පැහැයකින් දක්නට ලැබේ. කොළ පැහැති ඵලය සෙ.මි. 0.5 පමණ විශ්කම්භයකින් යුක්ත වන අතර ඉඳුණු විට කළු පාටට හුරු තද රතු පැහැයකට හැරේ. එක් ඵලයක් තුල එක් බීජයක් පමණක් දක්නට ලැබේ. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. රත් කෑලිය Lauraceae කුලයට අයත් ශාකයකි. 

ස්නායු රෝග, ගඩු, විසප්පු ආදියට ප්‍රතිකාර කිීරීම සදහා මෙම ශාකයේ පොතු භාවිතා කරන බව සඳහන් වේ. ස්නායු උත්තේජනය කිරීමේ සහ අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධී වීමේ ගුණයන් සහිතයි.

Share:

Friday, June 5, 2015

සාදික්කා [Sadikka] (Myristica fragrans)


සාදික්කා 19 වන සියවසේදී පමණ අප රටට හඳුන්වාදුන්, ඉන්දුනීසියාව මව්බිම කරගත් ශාකයකි. ලංකාවේදී එය බොහෝ විට මධ්‍යම පළාත තුල පමණක් දක්නට ලැබේ. සාදික්කා ශාකයක් මීටර් 10 -18 පමණ උසකට වර්ධනය වන අතර ඇතැම් විට මීටර් 20 ද ඉක්මවා වර්ධය වන අවස්ථාද ඇත. මෙහි සරල පත්‍ර අඳුරු කොළ පැහැයෙන් යුක්ත වන අතර දිළිසෙන සුලුය. ඔවලාකාර හැඬයෙන් යුත් ඵලයක විශ්කම්භය සෙ.මි. 6 පමණ වේ. මාංසල බවකින් යුතු සාදික්කා ගෙඩියක් තුල  2.5 සෙ.මි. පමණ විශ්කම්භයක් සහිත ඒක් බීජයක් තිබේ. බීජය වටා, එයට තදින් බැඳුන දැලක් ආකාරයෙන් යුත් රතු පැහැති ව්‍යුහය වසාවාසිය යනුවෙන් හඳුන්වයි. සාදික්කා Myristicaceae කුලයට අයත් ශාකයකි.

සාදික්කා මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන සුළුඅපනයන භෝගයකි. මෙහි වසාවාසිය සහ බීජය තුල පිහිටා ඇති මදය ආර්ථික වටිනාකමකින් යුක්ත ය. විශේෂයෙන් විවිධ රසකාරක වර්ග සෑදීම සඳහා මේවා භාවිතයට ගනී. එමෙන්ම  විලවුන් වර්ග, සබන් වර්ග, ආලේපන ආදිය නිශ්පාදනයේදී‍ වසාවාසි සහ සාදික්කා මදය මගින් නිස්සාරණය කර ගන්නා තෙල් භාවිතා කරයි. සාදික්කා ලෙලිවලින් ජෑම් සහ බීම වර්ග නිශ්පාදනය කළ හැකිය.

උදරයෙහි වාතය එකතු වීම, ඔක්කාරය, වමනය, පාචනය, කුසගිනි මදිකම, අජීර්ණය, මුඛ රෝග, පීනස, ඉක්කා, ඇදුම ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට සාදික්කා මදය භාවිතා කරයි. එමෙන්ම පිලිකා, වකුගඩු රෝග, නින්ද නොයාම, ඔසප් දෝෂ, වේදනාව සමනය කිරීම ආදිය සදහා ද විවිධ රටවල ජනයා සාදික්කා භාවිතා කර ඇත. අජීර්ණය සෑදී මල බුරුලෙන් පිටවන විට සාදික්කා මදයක සුළු ප්‍රමාණයක් දෙහි ඇඹුලෙන් හෝ ලුණු වතුරින් උරච්චිකර පානය කිරීම ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එය වමනය, බඩේරුජා, පණු රෝග ආදියටද ගුණදායකය. සාදික්කා විෂබීජයන්ට  සහ පිලිකා සෛලවලට ප්‍රතිවිරොධී ගුණ දක්වයි. රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. සාදික්කා අධි මාත්‍රාව විෂ සහිතය. එයින් මරණය පවා සිදු විය හැකිය. 

මූලාශ්‍ර_ අන්තර්ජාලයෙන් 

Share:

Monday, June 1, 2015

අමුක්කරා / අස්ගොඳු [Amukkara] (Withania somnifera)

ඔසු ගුණයෙන් සපිරි මෙම ශාකයේ මුල අශ්වයින්ගේ මුත්‍රවල ගඳට සමාන ගඳකින් යුක්ත හෙයින් අශ්වගන්ධ යනුවෙන්ද හඳුන්වයි. අමුක්කරා යන්න ද්‍රවිඩ ව්‍යයවහාරයක් වන අතර මෙහි සිංහල නම අස්ගොඳු ය. මීටරයක් පමණ උසට වැඩෙන අමුක්කරා ශාකය අර්ධ කාෂ්ඨමය පඳුරක් ලෙස වර්නධය වේ. කඳ සහ අතු සුදු පැහැති දැඩි බූවකින් යුක්තයි. අණ්ඩාකාර හැඩයකින් යුත් සරල පත්‍රද බූව සහිත වන අතර පත්‍රවල යටි පැත්තෙහි තාරකාකාර බූවක් පිහිටයි. මල් කොළ පාටට හුරු කහ පාටය. ඵලය රතු පැහැති ගොලාකාර බදරියකි. ඒ තුල පැතලි හැඩයකින් යුක්ත කහ පැහැති බීජ රාශියක් පිහිටා ඇත. ඇතැම් මූලාශ්‍රවලට අනුව වන්‍ය (වනගත) හා ග්‍රාම්‍ය (ගැමි) යනුවෙන් අමුක්කරා ප්‍රභේද දෙකක් ඇත. දෙවර්ගයම ඔසු පිණිස ගන්නා බවත් වන්‍ය වර්ගය විශේෂයෙන් බාහිර ආලේපන සඳහාත් ග්‍රාම්‍ය වර්ගය අභ්‍යයන්තර යෙදීම් සඳහාත් සුදුසු බවත් සඳහන් කර ඇත. ඉන්දියාවට දේශීය  වන අප රටට හඳුන්වාදී වගාකර ඇති අමුක්කරා ශාකය Solanaceae කුලයට අයත් ය. 

ශුක්‍ර රෝග, ලිංගික දුර්වලතා, ක්ෂය රෝගය, ඇදුම, පාන්ඩු, උන්මාද, අපස්මාර, නාඩි දුර්වලතා, මූර්ජා, අනිද්‍රා, වාත රෝග, රක්තවාතය, ඔඩු සහිත වණ, පිළිකා,  ශරීරය කෘෂ වීම, රුධිර දෝෂ, සුදු කබර, ප්‍රතිශ්‍යාව, කැස්ස, ස්ත්‍රීන්ගේ වඳ බව, ඉදිමුම් ආදී රෝග තත්වයන් රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් අමුක්කරා අලත් අමතරව මුල් සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. අල නොමැති අවස්ථාවල මුල් භාවිතා කිරීම සුදුසු බව දක්වා ඇත. අමුක්කරා ස්නායු උත්තේජනය හා ශක්තිමත් කරයි. ඉදිමුම් සහ වේදනාවන් සමනය කරයි. මලබද්ධය නසයි. කෘෂ වූ ශරීරය පෘෂ්ටිමත් කරයි. ලේ පිරිසිදු කරයි. අකලට මහළු වීම හා ජරාවට පත්වීම වළක්වන රසායන සහ වාජීකරණ ගුණයන්ගෙන් යුක්තයි. ශුක්‍ර ධාතුව වර්ධනය කරයි. ශරීර වීර්යය හා බලය ශක්තිය වඩවයි. නිද්‍රාජනක හා මදනකාරී වුවද හෘදයට බල නොපාන බව මෙහි ඇති විශේෂත්වයක් ලෙස සඳහන් කර ඇත. 

අමුක්කරා කෂාය සෘතු කාලයේදී එළඟි තෙලෙන් පෙවීම මගින් ගැබ නිසි ලෙස ස්ථාපනය වීම සිදු වේ. එමෙන්ම කුඩු කර ගත් අමුක්කරා අල ග්‍රෑම් 6 බැගින් එළකිරි සමඟ සෘතුවීමෙන් පසු දින 5 – 6 තුළ දී බීමට දීමෙන් ස්ත්‍රීන්ගේ වඳ භාවය නැති කළ හැකි බව සදහන් වේ.   අමුක්කරා කෂාය එළඟිතෙල් මී පැණි සමඟ ලේහ කිරීම ඇදුම රෝගයට ප්‍රතිකාරයකි. අමුක්කරා චූර්ණය සීනි, ගිතෙල් සමඟ වැළඳීමෙන් නිසි ලෙස නින්ද යාම සිදු වෙයි. අමුක්කරා අල චූර්ණය උණු වතුරට දමා බීමෙන් ද නින්ද ඇතිකරයි. සීනි තිප්පිලි අමුක්කරා චුර්ණය ගිතෙල් මීපැණි සමග ලේහ කිරීමෙන් සිරුර පෘෂ්ටිමත් වේ. කුඩු කර ගත් අල ග්‍රෑම් 3 ක් බැගින් දීම ප්‍රතිශ්‍යාව හා කැස්සට ගුණදායකය. ගෙඩි සහ ඇටවල ද කැස්ස නැසීමේ ගුණයක් පවතී. අමුක්කරා අල කුඩු කර ගෙන, වරකට ග්‍රෑම් 3 බැගින් ගැනීම සන්ධි ඉදිමුම් හා වේදනා සඳහා යෝග්‍යයයි. අමුක්කරා අල චූර්ණය ග්‍රෑම් 2 බැගින් දිනපතා එළකිරි සමඟ ගැනීමෙන් ලිංගික දුර්වලතා මඟහරවා ගත හැකිය. එමෙන්ම නොයෙක් රෝග අවස්ථා සඳහා භාවිතා කිරීමට නිපදවූ අශ්වගන්ධා නාමය සහිත සංස්රිකාක ඖෂධ වර්ග ද රැසකි. මෙවැනි ඖෂධීය වටිනාකම් සහ භාවිතාවන් රැසක් සහිත අමුක්කරා ශාකයක් ගෙවත්තෙහි වවා ගැනීම ද එතරම් අපහසු නොවේ.

මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන් 
අමුක්කරා අල 
Share:

Sunday, May 3, 2015

සල් [Sal] (Shorea robusta)


මෙරට බොහෝ දෙනා "සල්" ගස ලෙස හඳුනාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරටට හඳුන්වාදෙන ලද Couroupita guianensis නැමැති නිවර්තන දකුණු ඇමෙරිකාව ජන්ම භූමිය කරගත් ශාකයකි. බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මෙරටදී විශේෂ අවස්ථා සිහිවීම පිණිස රෝපණය කිරීම නිසා අප රට තුල ව්‍යාප්ත වූ මේ ශාකය "කුරෝපිටා" ලෙස සිංහලෙන් නම් කර ඇති බව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතා පවසයි.

උතුරු ඉන්දියාවේ වැවෙන, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය හා සම්බුද්ධ පරිනිර්වාණය ආදි බුද්ධ චරිතයයේ විව්ධ අවස්ථා හා බැඳුනු නියම සල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Shorea robusta ය. එම ශාකය මෙරටදී සල් ලෙස ව්‍යවහාර කරන ශාකය මෙන් සෘජු කඳක් සහිතව වැඩෙන්නක් නොව තිරස්ව අතු පැතිරී වැඩෙන ශාකයකි. බුද්ධ චරිතයෙහි සිදුහත් කුමරාගේ උපත හා සම්බුද්ධ පරිනිර්වාණය ආදී සිද්ධිවල සඳහන් වන්නේ ද එවැනි ශාකයක් පිළිබඳවයි. මෙරටදී සල් ලෙස හඳුන්වන ශාකයේ පුෂ්පය ගොරහැඩි පෙනුමක් සහිත වුවද උතුරු ඉන්දියාවේ වැවෙන මෙම සල් ශාකයේ පුෂ්පය සියුමැලි පූජනීය පෙනුමකින් යුක්ත බව පෙනේ. දැනට පේරාදෙණිය උද්භිද උද්‍යාන තුලදී මෙම ශාකයක් දැක ගත හැකිය. කෙසේ වෙතත් යටත්විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විට ඉන්දියාවේදී පවා පැටලිලි සහගත ලෙස Couroupita surinamensis නැමැති ශාකයට "සල්" නාමය භාවිතා කරන බව පෙනෙන්නට තිබේ. සල් Dipterocarpaceae හෙවත් හොර කුලයට අයත් ශාකයකි.

උතුරු ඉන්දියාවේ වැවෙන මෙම සල් ශාකය වෙදකමට සම්බන්ධ දේශීය මූලාශ්‍රවල සල් / ඉන්සලු / හින්සල් ආදී නම්වලින් හඳුන්වා ඇත. උණ, කහ උණ, පාණ්ඩුව, පිලිස්සීම්, හිසරදය, ඉරුවාරදය, ඇදුම, ආසාදන, කණේ රෝග, අක්ෂි රෝග, කුෂ්ඨ, අතීසාර, රක්ත ප්‍රවාහිකා, රක්ත අර්ශස්, කැඩුම් බිඳුම් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී  සල් ශාකයේ පොතු සහ මැලියම් හෙවත් දුම්මල ඖෂධ සඳහා භාවිතා කරයි. මෙම දුම්මල විශේෂය වණ ශෝධයට සහ රොපණයට උපකාරී වේ. මෙම පොතු කෂාය සිරුරේ ඔනෑම ස්ථානයක වේදනාවන් සමනය කිරීමට භාවිතා කළ හැකිය. පුතිකණී නම් කර්ණ රෝගයේදී පොතු තම්බාගත් කෂායෙන් කණ සේදීම ප්‍රතිකාරයකි. ප්‍රදර රෝගයටද මුත්‍ර සමඟ සැරව පිටවීමටද සල් පොතු කෂාය ගුණදායකය. වේදනා සහිත ඉදිමුමට සහ චර්ම රෝග සඳහා සල් පොතු කෂාය සහ සල් පොතුවලින් සාදාගත් ලේපය යෙදීමට හැකිය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති , අන්තර්ජාලයෙන් සහ විදුසර පුවත්පතින්
Share:

Wednesday, April 29, 2015

කුකුරුමාන් [Kukuruman] (Catunaregam spinosa)



කුකුරුමාන් වියළි ප්‍රදේශයන්හි මීටර් 5ක් දක්වා උසට පඳුරක් ලෙස වැවෙන කටු සහිත දේශීය ශාකයකි. තරමක් ඕවලාකාර හැඩයකින් යුක්ත සරල පත්‍ර වලයාකාර ගොනු ලෙස පිහිටා තිබේ. මෙහි හට ගන්නා පෙති පහක් හෝ හයක් සහිත සුදු පැහැති මල පරවීමේදී ක්‍රමයෙන් කහ පැහැයට හැරේ. පේර ගෙඩියට තරමක් සමාන කුකුරුමාන් ගෙඩි මදන ඵල යනුවෙන් හඳුන්වා ඇත්තේ එවා අනුභව කිරීමෙන් මත් ගතියක් ඇතිවන හෙයිනි. කුකුරුමාන් Rubiaceae කුලයට අයත් ශාකයකි. 

කුකුරුමාන් දේශීය වෙදකමේ භාවිතා කරන ප්‍රධාන වමනකාරන ඖෂධයක් ලෙස සැලකේ. ගසේ පොතුද, ගෙඩියේ පොත්ත සහ ඇටද වමනකර්ම සඳහා භාවිතා කරයි. එමෙන්ම ප්‍රතිශ්‍යා, දද, කුෂ්ඨ, ගෙඩි, වණ, වඳ භාවය, ගර්භාෂගත ඉදිමුම්, පිත අදික වීම, රත්පිත්, රක්තඅතීසාරය, උදරාබාධ, උණ, තැලීම්, සර්ප විෂ, කැස්ස, ඇදුම, කක්කල් කැස්ස, අස්ථි වේදනා, පාචනය ආදී රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී කුකුරුමාන් ශාකයේ පොතු, මල්, ගෙඩි, ඇට සහ ඇටවලින් සිඳගත් තෙල් ආදිය භාවිතා කරයි. මෙම පොතු වේදනාව සමනය කිරීම සඳහා බාහිර ආලේපයක් ලෙස යොදා ගැනේ. කුකුරුමාන් වමනකාරක, ඉදිමුම් නසන, ලේ පිරිසිදු කරන, ආර්ථවය ඇති කරවන, ගබ්සාකාරක, කුෂ්ට නාශක ආදී ගුණයන් සහිතයි. 

උදර වේදනාවට කුකුරුමාන් ගෙඩි කාඩියෙන් (විනාකිරෙන්) අඹරා පෙකනිය අවට ආලේප කරයි. අධෝගත රත්පිතට ඇට යොදා පිසගත් කිරි හෝ කිරිකැඳ බීමට දෙයි. කැසිමූස දෙකට කුකුරුමාන්, වැල්මී, එරබදු පොතු යන මේවාගේ චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. රක්තඅතීසාරයට, හිසේ වේදනාවට ප්‍රතිකාර කිරීමට කුකුරුමාන් ගෙඩියේ ලොඳ භාවිතා කරයි. කුකුරුමාන් ඇටවලින් සිඳගත් තෙල් වාත රෝගවලදී පිටතින් ආලේප කිරීමට යොදා ගනී. 

මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්

Share:

Wednesday, April 8, 2015

රත්මල් [Rathmal] (Ixora coccinea)


රත්මල් පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහුවාර්ෂික ශාකයකි. සෙ.මි. 10 ක් පමණ දිග සරල පත්‍ර සම්මුඛව පිහිටයි. මේරු පත්‍ර තද කොළ පැහැයක් ගනී.  පොකුරු වශයෙන් හට ගන්නා පෙති හතරක් සහිත රතු පැහැති මල් අලංකාරවත් ය. ගෙඩි කොළ පැහැති වන අතර ඉදුණු විට කළු පැහැයට හුරු තද රතු පැහැයක් ගනී. ඒවා පළතුරක් ලෙස කෑමට ගත හැකිය. අද වන විට විසිතුරු මල් පැළෑටි ලෙස නවීකරණය කරන ලද රත්මල් ප්‍රභේද රාශියක් හමුවන නිසා ඔෟෂධ සඳහා භාවිතා කරන රත්මල් ශාකය කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත. Ixora coccinea නමින් අන්තර්ජාලයේ සෙවූ විට ලැබෙන පින්තූර සියල්ලම පාහේ එම විසිතුරු මල් පැල වල ඒවා නිසා ඖෂධ සඳහා රත්මල් භාවිතා කිරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුය. ගෙවත්තේ අලංකාරය සඳහා ද වැවිය හැකි ඖෂධීය රත්මල් ශාකය Rubiaceae කුලයට අයත් ය. 

සමේ රෝග, ළදරුවන්ගේ රත ගාය, රත කුෂ්ඨ, අක්ෂි රෝග, සමෙහි ඇතිවන දිලීර ආසාදන, අවිධිමත් ඔසප්වීම, ආහාර අරුචිය, උගුර වණ වීම, කැස්ස ආදී රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ මල්, පොතු සහ කොළ යොදා ගනී. රත්මල් පිත සහ සෙම ඉවත් කිරීමට උපකාර වේ. මෙරට ජනයා පුරාණයේ සිට කුඩා දරුවන් නාවන ජලයට මෙම මල් එක් කිරීම සිදුකර ඇත. එය ග්‍රාමීය ප්‍රදේශවල අනිවාර්ය අංගයක් ලෙස අදටත් සිදු කරයි. ඒ මෙම මල්වල පවතින සමේ රෝග සුවකිරීමේ හැකියාව සහ විශබීජ නාශක ගුණය පෙර කල සිටම ගැමියන් දැන සිටි නිසා විය යුතුය.

රත්මල් කොළ සහ පොතු තම්බා ගත් වතුරට සීනි දමා බීමට දීම, රත්මල් පොතු ක්වාතය දීම සහ වදමල් කැකුළු, රත්මල්, රත් හඳුන්, වැල්මී තම්බා ගත් වතුරට සීනි, මී පැණි දමා බීමට දීම රත ගායට ප්‍රතිකාරයන්ය. රත කුෂ්ඨ සඳහා රත්මල් කොළ, උඳුපියලි, කැකුළු හාල් ස්වල්පයක් වතුරින් අඹරා රත කුෂ්ඨයේ ගෑමෙන් සුවය ලැබෙයි. එමෙන්ම මල් අබ කොළ, රත්මල් කැකැළු අඹරා තල තෙලින් ගෑම, රත්මල් කැකුළු පමණක් අඹරා ගෑමද ඒ සඳහා ප්‍රතිකාරයන් ය. 

මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්  



Share:

Wednesday, February 4, 2015

දිවුල් (Limonia acidissima)


විශනාශක ගුණයෙන් ඉහළ දිවුල් මීයන් සපා කෑ වීට මී විෂ නැසීමට දිවුල් පංචාංගය කැඳ පානය කිරීටම දී තිබේ. මී මැස්සන් දෂ්ඨ කල විටත්, කෘමී දෂ්ඨ යන්හි විෂ නැසීමටත් දිවුල් මඳ කහ ඉස්ම අමුකහ සමඟ මිශ්‍රකර භාවිතා කෙරේ. මේ සඳහා දිවුල් මද වෙනුවට දිවුල් කොළ ඉස්මද භාවිතා කල හැකිය. කුඩා දරුවන්ට ආහාර නොදිරවන අවස්ථාවේදීත්, පණු රෝග ඇති අවස්ථාවේදීත්, ‍‍ඖෂධයක් වශයෙන් මෙන්ම පළතුරක් වශයෙන්ද දිවුල් ලබාදීම අතීතයේ සිටම සිදුව තිබේ. හොදින් ඉදිණු දිවුල් පළතුරු භාවිතයෙන් ශ‍රී‍රයේ විකෘති  සෛල නිර්මාණය වීම වැලකෙන අතර දිවුල්වල අඩංගු රසායනික ද්‍රව්‍ය හේතු‍වෙන් ශරීරයේ සෛල බෙදීමේදී මුල් සෛලම නිර්මාණය වේ. එම නිසා ශරී‍ර සෛල විකෘති වීමෙන් ඇතිවන පිලිකා කාරකයන්, විශේෂයෙන්ම අක්මගත පිළිකා රෝගයෙන් ඇති වීමේ ප්‍රවනතාව අඩු කිරීමේ හැකියාවක්ද ඉදුණු දිවුල් සතුව පවතී. 

රුධිර පීඩනය, කොලොස්ට්‍රෝල්, දියවැඩියාව (මධූමේහය) ඇල්සයිමර්, ඩීසීස්, නැමති ස්නායුගත රෝගී තත්වයන්ට හෙවත්, බෝ නොවන රෝග වැලැක්වීමටත් දිවුල් පලතුර, භාවිතය ඉහළ ‍ඖෂධීය ඖෂධීය ගුණයෙන් යුක්තවේ. පාලනය නොවනා මධුමේහය (දියවැඩියා) අවස්ථාවේදී දිවල් ශාකයේ මැලියම් ‍ඖෂ්‍ධයක් ලෙස භාවිතා කර තිබේ. නොනවතින වමනය සඳහාද  ඉදුණු දිවුල් මද ඉස්ම ලබා දෙන අතර, ඉක්කාවට දිවුල් කොළ ඉස්ම මී පැණිත්, තිප්පිලි කුඩුත් සමග මිශ්‍රකර වරින් වර පානය කිරීමට දේ. දිවුල් කොළ ඉස්ම පීනස් රෝගීන්ට ‍ඖෂධ ගුණයෙන් ඉහළ ඖෂධයක් වන අතර, සෙම සහිත කැස්ස අවස්ථාවන්හි දිවුල් ‍කොළ ඉස්ම, මී පැණි දමා පානය කිරීම ගුණදායකය. ආමාශගත තුවාල සුවකිරීමේ ඉහළ ගුණයක්ද දිවුල් සතුවේ. සුදු කබර ඇති අවස්ථාවන්හි දී ද පංචාංගයෙන් කැඳ සදා ‍‍ඖෂධයක් වශයෙන් දී ඇත. කාන්තාවන්ගේ සුද යාම පාලනයට කිරීමටද පණු රෝග පාලනය කිරීමටද දිවුල් භාවිත කෙරේ. 

දිලීර බැක්ටීරියා ආසාදන වැලැක්වීමේ ඉහළ ගුණයක් ඇති දිවුල්, රසායනාගාරයන්හි ක්‍ෂුද්‍ර ජීවීණ් වර්ධනය කිරීමේ මාධ්‍යක් ලෙසටද දිවුල් ඵලය භාවිතා කෙරේ. ‍සමේ දිළීර ඇති අවස්ථාවන් හිදී පත්‍ර සහ පොතු ඖෂධ වශයෙන් භාවිතා  කර ඇත. දිවුල් හා බැදුනු තවත් වැදගත්ම කරුණක් වනුයේ ඩෙංගු මදුරු කීට මර්දනය කරීම සඳහා දිවුල් කොළ ඉස්ම ඉස ඇති බවය. ඩෙංගු මදුරුවන් සේම මැ‍ලේරියා, බරවා මදුරුවන් බෝවීම වැළැක්වීමට දිවුල් කොල වේලා දුම් ඇල්ලූ බවද පැරණි ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත. පිපාසය සංසිදුවීමේ ඉහළ ගුණයක් ඇති දිවුල් ඵලය අක්‍ෂි රෝග සදහා ද අතීතයේ දී භාවිත කර තිබේ. 


http://wanawadula.blogspot.com හි පලවූ ලිපියක් ඇසුරිනි. 



Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support